බුදුදහමේ ආලෝකය නිව්යෝර්ක් නුවරට | දිනමිණ

බුදුදහමේ ආලෝකය නිව්යෝර්ක් නුවරට

කොට්ටාවේ නන්ද හිමි

බුදු දහම තුළින් සැබෑ සතුටත් සැනසීමත් ගවේෂණය කිරීමේ මාර්ගය පෙන්වා දෙන උන් වහන්සේ බොහෝ දෙනාගේ හිත සුව පිණිස, සැප පිණිස, ලෝ වැසියන්ට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත, හිත හා සැප පිණිස චාරිකාවේ හැසිරෙන්නැයි, බුද්ධ දේශනාව අනුව යමින් ධර්ම ප්‍රචාරයේ යෙදෙති. ඒ මග යන බාල, තරුණ, වැඩිහිටි පිරිස් සදාතන සත්‍ය හා සාමය වෙනුවෙන් බුදු දහම තෝරා ගනිති. බුදු දහමේ මෙන්ම ලෞකික ජීවිතයේ සැබෑ අරුත ද ඒ අයුරින්ම දකින්නට ඔවුහු උන්වහන්සේගේ ගුරු හරුකම් ලබා ගනිති. උපදෙස් ලබා ගනිති. ඔවුන්ට අනුව උන්වහන්සේ විශිෂ්ට ගුරුවරයෙකි.

වතුරුවිල ශ්‍රී ඥානානන්ද වංශාවතංස දේශාන්තර ශාසනාභිමානී විශ්ව කීර්ති විභුෂණ, මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා වනවාස නිකායේ අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝනායක, අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි ලෝන්ග් අයිලන්ඩ් බෞද්ධ මධ්‍යස්ථානාධිපති අතිපූජ්‍ය කොට්ටාවේ නන්ද හිමියෝ මෙවර මව්බිමට වැඩම කරන්නේ තවත් සුවිශේෂ පිරිසක් කැටුවය. ඔවුහු සුදු ජාතිකයෝය. ඔවුන් විවිධ ක්ෂේත්‍රයන්හි නිපුණ අමෙරිකානුවන්ය. ඔවුන්ගේ මාර්ගෝපදේශකයාණන් වන්නේ නන්ද හිමියෝය.

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා වනවාස නිකායේ වතුරුවිල ශ්‍රී ඤාණානන්ද නායක ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි කොට්ටාවේ නන්ද හිමි, මූලික අධ්‍යාපනය වතුරුවිල ආරණ්‍යයෙන් ලබා උසස් අධ්‍යාපනයෙන් පසු කලක් ගුරු සේවයේ යෙදුනහ. 2001 වසරේ අමෙරිකාවේ නිව්යෝර්ක් හි ක්වීන්ස් මහ විහාරයේ රාජකීය පණ්ඩිත කුරුණෑගොඩ පියතිස්ස නායක ස්වාමින් වහන්සේගේ ඇරයුමකට අනුව නන්ද හිමියෝ අමෙරිකාවට වැඩම කළහ. “2007 වන තුරු උන් වහන්සේ සමග ධර්ම ප්‍රචාරක කටයුතුවලට සෘජුව සම්බන්ධ වූහ. අමෙරිකාවේ ප්‍රාන්ත 52 කම පන්සල් 52ක් ආරම්භ කිරීම උන්වහන්සේගේ බලාපොරොත්තුව විය. ඒ අනුව නායක හාමුදුරුවන් ගේ ආශිර්වාදය ඇතුව 2008 වර්ෂයේ දී ස්ටෙට්න් අයිලන්ඩ් ‍බෞද්ධ භාවනා මධ්‍යස්ථානය ආරම්භ කළහ.

ඒ සඳහා නිව්යෝර්ක් හි ලෝන්ග් අයිලන්ඩ් ප්‍රදේශයේ පදිංචි දොන් ලක්ෂ්මන් ජයමහ ඇතුළු ගිහි පින්වතුන්ගේ සහය ලැබුණි. මුලින්ම එතුමා ගේ නිවසේ භාවනා වැඩසටහන්, ධර්ම සාකච්ඡා සංවිධානය කළ අතර වෛද්‍ය ෂාමිණී ජයමහ ඇතුළු ඔවුන් ගේ හිත මිතුරන් විශේෂයෙන් වෛද්‍යවරු මීට සහභාගි වුණි. එහිදී භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ යෝජනාව ඉදිරිපත් විය. එතුමාම ඒ සඳහා නිවසක් ලබා දුන් අතර, ලෝන්ග් අයිලන්ඩ් බුඩිස්ට් මෙඩිටේෂන් සෙන්ටර්” තාවකාලිකව එම නිවසේ පවත්වාගෙන ගියහ. ආරම්භයේ සිටම සෑම සතියකම සිකුරාදා සහ අඟහරුවාදා දින දෙකේ භාවනා වැඩසටහන් පැවැත්වුවද ටික කාලයක් ගත වන විට අසල්වැසි අමෙරිකානුවෝ භාවනා කිරීමට එක් වුණි. පිරිස වැඩි වීම නිසා ඉඩ කඩ මදි වීමත් සමඟ ඉඩකඩ තිබෙන පෞරාණික ගොඩනැගිල්ලක් ඒ සඳහා ලබා ගැනීමට පියවර ගැණිනි. ඊට අක්කරයක පමණ ඉඩමකුත් තිබුණ අතර ආසන්නයේ අක්කර 360ක පොදු උද්‍යානයකි. මේ පරිසරය භාවනා වැඩසටහන් සඳහා ඉතා සුදුසුය. බොහෝ සුදු ජාතිකයන් මෙහි වැඩසටහන්වලට සම්බන්ධ වේ.

මීට අමතරව ඇමෙරිකානු සමාජයේ පවතින පුද්ගලික, පවුලේ හා අධ්‍යාපන ගැටලු සඳහා ධර්මානුකූලව විසඳුම් ලබා ගැනීමට උදවු ලැබෙන නිසාම ඔවුන් බුද්ධාගමට වඩා එහි පවතින සැබෑ සතුට, සැනසීම වැළඳ ගන්න උනන්දු වේ.

අතිපූජ්‍ය කොට්ටාවේ නන්ද හිමියෝ සමඟ පළමු වතාවට ශ්‍රී ලංකාවේ සංචාරය කළ අමෙරිකානු ජාතිකයන් පිරිස ආපසු සිට රට බලා ගියේ නැවත නැවතත් මෙරට සංචාරය කිරීමේ අරමුණෙනි. එම කණ්ඩායමට වයස අවුරුදු 21ත් 74ත් අතර වන කාන්තා පිරිමි දෙපිරිසම ඇතුළත් විය. ඔවුහු එරට විවිධ ක්ෂේත්‍රයන්හි උසස් රැකියාවල නියුතු වූවෝ වෙති. තරුණ වූත් වැඩිහිටි වූත් සියලු දෙනාගේ අදහස වූයේ කාර්ය බහුල ආතතියෙන් පිරි ජීවිතය බුදු දහමෙන් නිසංසල හා සාමකාමී එකක් වූ බවයි. ඒ සඳහා අතිපූජ්‍ය නන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මග පෙන්වීම විශිෂ්ට බවත් එය අගය කළ යුතු බවත් ඔවුහු පවසති.

 

සටහන
ක්‍රිසන්ති විතාරණ
ඡායාරූප
වාසිත පටබැඳිගේ

 

නව අදහස දක්වන්න