හොලිවුඩයට ජවය දුන් රෙස්ලින් තරු | දිනමිණ

හොලිවුඩයට ජවය දුන් රෙස්ලින් තරු

සුජීව තේවහෙට්ටිගේ

ලෝක ශූරතාව 16 වතාවක් දිනූ ජෝන් සීනා

රෙස්ලින් ලොව ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ ජෝන් ෆීලික්ස් ඇන්තනි සීනා (කනිෂ්ඨ) 1977 අප්‍රේල් 23 දා උපත ලැබුවා. ඔහු රෙස්ලින් ක්‍රීඩාවට එක්වූයේ 2000 දශකයේ මුල් භාගයේදීයි. එම කාලයේ දැක්වූ දක්ෂතා නිසා ඔහුට ලෝක රෙස්ලින් ආයතනයේ නිත්‍ය සාමාජිකයකු ලෙස ක්‍රීඩා කිරීමට අවකාශ සැලසුණා.

ඉන් පසුව ඔහු සහභාගි වූ රෙස්ලින් තරග අතරින් 25 වතාවක් ශූරතාව දිනා ගන්නටත් 16 වතාවක් ලෝක ශූරතාව දිනා ගන්නටත් සමත් වූවා.

ජෝන් සීනා ගේ රංගනයන් ඇතුළත් මුල්ම චිත්‍රපටය, ‘ද මරයින්’. එය නිෂ්පාදනය කළේ ලෝක රෙස්ලින් ආයතනයට අයත් WWE චිත්‍රාගාරයයි.

2006 ඔක්තෝබර් 13 දා තිරගත කිරීම ඇරැඹූ මෙම චිත්‍රපටය, මුල් සතියේ ඇමරිකා එක්සත් ජනපදය තුළදී පමණක් ඩොලර් මිලියන 7 ක ආදායමක් ඉපයූවා. සති 10 ක් ගත වෙද්දී චිත්‍රපටය ලද ආදායම ඩොලර් මිලියන 18.7 ක් දක්වා ඉහළ ගියා.

ජෝන් සීනා ගේ රෙස්ලින් හපන්කම් පෙන්වූ ඊළඟ චිත්‍රපටය, ‘ට්වෙල් රවුන්ඩ්ස්’. එය 2009 මාර්තු 27 දා සිට තිරගත කිරීම ඇරැඹුණා. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේත් WWE චිත්‍රාගාරයයි.

‘ලෙජන්ඩරි’ ඔහුගේ දක්ෂතා එක්වුණු තවත් චිත්‍රපටයක්. 2010 සැප්තැම්බර් 10 දා ප්‍රදර්ශනය ඇරැඹුණු, WWE චිත්‍රාගාරය නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය, එක්සත් ජනපදයේ තෝරා ගත් සිනමා හල් කිහිපයක තිරගත වුණා.

එම වසරේදී ම ඔහු ‘ෆ්‍රෙඩ් : ද මූවී’ නම් වූ ළමා චිත්‍රපටයේ රඟපෑවා. 2015 දී තිරගතවූ ‘ට්‍රේන්ව්රෙක්’, ‘සිස්ටර්ස්’ සහ ‘ඩැඩීස් ‍හෝම්’ යන චිත්‍රපටවලට ද ඔහුගේ රංගනයන් මුසුවුණා. ජෝන් සීනා 2017 දී ‘ෆර්ඩිනැන්ඩි’ නම් වූ කාටුන් චිත්‍රපටයේ චරිතයක් වෙනුවෙන් තම කටහඬ එක් කළා. මෑතකදී තිරගතවූ ‘ට්‍රාන්ස්ෆෝමර්ස්’ චිත්‍රපට මාලාවේ 6 වැන්නවූ ‘බම්බ්ලී’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් ද, හාස්‍යමය චිත්‍රපටයක් වූ ‘බ්ලොකර්ස්’ හි ද ඔහු රඟපෑවා.

වැඩිම ගාස්තුවක් අය කරන ඩ්වේන් ජොන්සන්

‘ද රොක්’ යන ආරූඪ නමින් හැඳින්වෙන ඩ්වේන් ඩග්ලස් ජොන්සන්, රෙස්ලින් ක්‍රීඩාවෙන් සිනමා රංගනයටත් චිත්‍රපට නිෂ්පාදනයටත් පිවිසුණු තරුවක්. ඔහු උපත ලැබුවේ 1972 මැයි 2 දායි.

මියාමි විශ්ව විද්‍යාලයීය පිල වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කළ ඩ්වේන්, 1991 දී පාපන්දු ශූරතාව දිනා ගත්තා.

ඔහුගේ සීයා, පීටර් මයිවියා සහ පියා, රොකී ජොන්සන් ද ප්‍රවීණ රෙස්ලින් ක්‍රීඩකයන්. ඔවුන්ගේ අඩිපාරේ යමින් රෙස්ලින් ක්‍රීඩාව ප්‍රගුණ කළ ඩ්වේන්, ලෝක රෙස්ලින් ආයතනය තුළ නමක් දිනා ගත්තා.

ඩ්වේන් ජොන්සන්, සිනමා ලොවට පිවිසුණේ 2001 දී තිරගතවූ ‘ද මමි රිටර්න්ස්’ චිත්‍රපටයේ රඟපෑමෙන්. ඔහුගේ රංගනයන් අතරින් කැපී පෙනෙන්නේ ‘ද ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ චිත්‍රපට මාලාවේ 7 වැනි චිත්‍රපටයේ ඔහු රඟපෑ චරිතයයි.

මේ වන විට හොලිවුඩ් සිනමාවේ වැඩිම ගාස්තුවක් අය කරන නළුවා බවට පත්ව සිටින්නේ ඩ්වේන් ජොන්සන්. 2002 දී තිරගත වූ ‘ද ස්කෝපියන් කිං’ චිත්‍රපටයේ ඔහු මුල් වරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළා. මෙහි රඟපෑම වෙනුවෙන් ඔහුට ඩොලර් මිලියන 5.5 ක මුදලක් ලැබුණා. එවැනි විශාල මුදලක් රෙස්ලින් ක්‍රීඩකයකු තම රංගනය වෙනුවෙන් ලබාගත් මුල්ම අවස්ථාව හැටියටයි සැලකෙන්නේ.

ඉන්පසුව ‘ද රන් ඩවුන්’ (2003) ‘වෝකින් ටෝල්’ (2004), ඇතුළු චිත්‍රපට රැසක රඟපෑවා. ඔහු රඟපෑ මෑතකදී තිරගතවූ චිත්‍රපට වන්නේ ‘රෑම්පේජ්’, ‘බේ වොච්’, ‘ස්කයික්‍රේපර්’. ෆයිටින් විත් මයි ෆැමිලි’, ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් ප්‍රිසන්ට්ස්’! හොබ්ස් ඇන්ඩ් ෂෝ’ සහ ‘ජන්ගල් කෲස්’ ඔහුගේ රැඟුම් ඇතුළත් වන දැනට රූගතවන චිත්‍රපටයි.

හොලිවුඩ් නිළි ඩැනි ගාර්ෂියා සමඟ විවාහ දිවියට පිවිසුණු ඩ්වේන් ජොන්සන්, 2008 ඇගෙන් වෙන් වූවා. දැන් ඔහුගේ සහකාරිය වී සිටින්නේ ලොරේන් හෂියාන්.

මෑතකදී හොලිවුඩ් මාධ්‍ය වාර්තා කර තිබුණේ 2020 දී පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයට තරග වැදීමට ඩ්වේන් ජොන්සන් බලාපොරොත්තු වන බවයි. නමුත් තමන් තුළ එවැනි අපේක්ෂාවක් නැතැයි ඔහු පසුව ප්‍රකාශ කර තිබුණා.

විශ්‍රාම ගියත් ජනප්‍රිය ජෙසී වෙන්ටුරා

ජනප්‍රිය වූ හොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපෑ ජෙසී, මේ වන විට රෙස්ලින් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටිනවා. ඔහු මාධ්‍යවේදියකු, ග්‍රන්ථ කර්තෘවරයකු සහ දේශපාලන කටයුතුවල නියැළී සිටි අයකු ලෙස ප්‍රකටයි.

1999 සිට 2003 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළා. වියට්නාම් යුද කාලයේදී ඔහු එක්සත් ජනපද නාවික හමුද‍ාවේ ද සේවය කළා. ජෙසී, රෙස්ලින් ක්‍රීඩාවට එක්වූයේ හමුදා සේවයෙන් ඉවත් වූ පසුවයි. ඔහු, 1975 සිට 1986 දක්වා රෙස්ලින් තරග වලට සහභාගි වූවා.

ජෙසී, හොලිවුඩ් සිනමා නළුවකු වූයේ 1987 දී තිරගතවූ ‘ප්‍රිඩේටර්’ චිත්‍රපටයේ රඟපෑමෙන්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ සුපිරි නළු ආනෝල්ඩ් ස්වසනෙගර්.

‘ප්‍රිඩේටර්’ රූගත කරන දිනවලදී ජෙසී සහ ශ්වසනෙගර් අතර පැවතුණේ දැඩි මිත්‍රත්වයක්. ‘සෝරෝ’ චිත්‍රපට මාලාවේ චිත්‍රපට දෙකකද රඟපෑ ජෙසී, 1990 දී තිරගත වූ විද්‍යා ප්‍රබන්ධ කතාවක් රැගත් ‘ඇබ්රැක්සස්, ගාඩියන් ඔෆ් ද යුනිවර්ස්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑවා.

ලෝක ප්‍රකට ‘එක්ස් ෆයිල්ස්’ රූපවාහිනී කතා මාලාවේ එක කොටසකට ද තම රංගන දායකත්වය ලබා දුන් ජෙසී, හොලිවුඩ් චිත්‍රපට රැසකද රඟපෑවා.

නව අදහස දක්වන්න