පෙරළිකාර සී.එච්.පිලට හැව්ලොක්ස් පරදී | දිනමිණ

පෙරළිකාර සී.එච්.පිලට හැව්ලොක්ස් පරදී

ෆවුස් මොහොමඩ්

මෙවර අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි කිරුළ හඹා යන හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අන්දමන්ද කළ පෙරළිකාර සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය දෙවැනි වටයේ තීරණාත්මක තරගයෙන් ලකුණු 40-33ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත්විය.

කොළඹ තුරඟ තරග පිටියේ පෙරේදා පස්වරුවේ පැවැති මේ තරගයේ ආරම්භයේදී සී.එච්.පිලට පීඩනයක් ගෙනදෙමින් පළමු භාගය නිමාවනවිට ලකුණු 26-22කින් ඉදිරියට යාමට පසුගිය සතියේදී ලකුණු සටහනේ පෙරමුණ ගත් හැව්ලොක්ස් පිල සමත්වූවත් දෙවැනි භාගයේදී තරගයේ පාලනය සියතට ගත් සී.එච්.පිලේ ක්‍රීඩකයෝ තරගය ජයගත්තේ සුදම් සූරියආරච්චිගේ උත්සාහක දිනුමත්, සැමුවෙල් මධුවන්ත සාර්ථක කරගත් දඬුවම් පහර 2ත් සමගිනි.

අවසන් භාගයේදී ලකුණු 33-29කින් ඉදිරියට යාමට සමත්වූ හැව්ලොක්ස් පිලට දැඩි අභියෝගයක් එල්ල කළ සැමුවෙල් මධුවන්ත දඬුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු පරතරය 33-32 දක්වා අඩු කරගැනීමෙන් පසුව සුදම් සූරියආරච්චි සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ අතර අවසන් මොහොතේ ලැබුණු දඬුවම් පහරත් සාර්ථක කරගත් තරගය පුරා සී.එච්.පිල ලැබූ ලකුණු 40න් 15ක්ම රැස් කළ මධුවන්ත සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

සී.එච්.පිල තරගය පුරා ගෝල් 3ක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහර 3ක් වාර්තා කරද්දී හැව්ලොක්ස් පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝල් 4ක් සහ උත්සාහක දිනුමක් පමණි.

නැවියන්ට ජය

මේ අතර ගුවන් හමුදා පිල සමග වැලිසර පැවැති තරගයෙන් ලකුණු 18-17ක තියුණු ජයක් අත්කර ගැනීමට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත්විය. පළමු භාගය නිමාවනවිට ලකුණු 6-5කින් පසුබැසීමට ලක්වූ නැවියෝ තරගය පුරා උත්සාහක දිනුම් 3ක් සහ දඬුවම් පහරක් රැස් කළ අතර ගුවන් හමුදා පිල උත්සාහක දිනුමක්, දඬුවම් පහර 3ක් සහ ඩ්‍රොප් ගෝලයක් රැස් කළේය.

නව අදහස දක්වන්න