මේ වසර ආර්ථිකයේ හැරවුම් ලක්ෂය කරමු | දිනමිණ

මේ වසර ආර්ථිකයේ හැරවුම් ලක්ෂය කරමු

රක්ෂණ ශ්‍රියන්ත

මේ වසර මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂය බවට පත් කර ගැනීමට එකට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමස්ත රාජ්‍ය සේවයට ආරාධනා කළේය.

පරිසරය සංරක්ෂණය කිරීමේ වැදගත් පියවරක් ලෙස යාන්ත්‍රික දම්වැල් කියත් භාවිත කරන්නන් සඳහා දැඩි නීති-රීති මෙන්ම, ඒ සඳහා බලපත් ගැනීම අනිවාර්ය කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

තමන් උතුරට ගියවිට තම දරුවන් ඉල්ලූ අම්මාවරු දැන් තමන්ගෙන් ඉල්ලන්නේ උතුරේ විෂ මත්ද්‍රව්‍ය, කසිප්පු ඇතුළු මත්ද්‍රව්‍ය උවදුර ඉවත් කර දෙනලෙස යැයි ද, දැන් එය මුළු රටම නඟන හඬක් බවට පත් වී ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ඊයේ (11) බණ්ඩාරණායක අණුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ග්‍රාම ශක්ති මෙහෙයුම් වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන අමතමිනි.

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක කර ඇති ග්‍රාමශක්ති ජාතික වැඩසටහන සහ ඒ ආශ්‍රිතව පොදු ජනතා සුබසිද්ධිය උදෙසා ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාවට නංවා ඇති විශේෂ ව්‍යාපෘතිවලට අදාළ 2019 ඉලක්ක පිළිබඳ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම හමුව කැඳවා තිබිණි.

ග්‍රාමීය දරිද්‍රතාව පිටුදැකීමේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය අද සාර්ථකව දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබේ. නිෂ්පාදන ක්‍රියාවලියෙන් දුගීබව තුරන් කර ස්වශක්තියෙන් නැගී සිටින පුද්ගලයකු නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ විශේෂත්වය වන අතර, මේ වසරේ දී එය තවදුරටත් පුළුල් කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාවයි.

එම අරමුණ පෙරදැරිව මෙම පෙබරවාරි 18 දා සිට 24 දා දක්වා සතිය ග්‍රාමශක්ති ජාතික සතිය ලෙස ද ප්‍රකාශයට පත්කර තිබේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන, පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන, දරුවන් සුරකිමු ජාතික වැඩසටහන, තිරසර පාසල් වැඩසටහන, ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහ, ජාතික පෝෂණ වැඩසටහන, ආබාධ සහිත සහ වැඩිහිටි පුද්ගලයන් සවිබල ගැන්වීමේ වැඩසටහන, සංස්කෘතික පුනර්ජීවන වැඩසටහන ඇතුළු ජාතික වැඩසටහන් පොදු ජන සුබසිද්ධිය උදෙසා ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාවට නංවා තිබෙන අතර එම වැඩසටහන්හි ක්‍රියාකාරීත්වය මෙම වසරේ දී තවදුරටත් පුළුල් කිරීම අපේක්ෂාවේ.

එක්සත් ජාතින්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අනුව යමින් තිරසර සංවර්ධන අරමුණු ජයගත් සහ 2025 වන විට දිළිඳුබවින් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අපේක්ෂාව පෙරදැරිව ජනාධිපතිතුමාගේ පූර්ණ මඟපෙන්වීමෙන් මෙම ජාතික වැඩසටහන් ක්‍රියාවට නංවා තිබේ.

මෙම ජාතික වැඩසටහන් පිළිබඳ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය යාන්ත්‍රණය තවදුරටත් දැනුවත් කරමින් 2019 නව ඉලක්ක සහිත වැඩපිළිවෙළ හඳුන්වාදීම ඊයේ පැවැති හමුවේ දී සිදු විය.

මැතිවරණ වර්ෂයක් වන මෙම වසරේ දේශපාලනඥයන් තම තම මැතිවරණ සටන්වල නිරතව සිටින අතරතුර, රටක් ලෙස අප මෙම වසරේ ඉටුකරගත යුතුම අරමුණක් වන මෙරට ආර්ථික වර්ධන වේගය ඉහළ නංවා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින්, මෙම වර්ෂය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කර ගැනීමට එකට එක්වන ලෙස ජනාධිපතිවරයා සමස්ත රාජ්‍ය සේවයන් මෙහිදි ආරාධනා කළේය.

එසේ නොවුණහොත් රටක් ලෙස ආර්ථික වශයෙන් අපට මුහුණ දීමට සිදුවන්නේ ඉතා කනගාටුදායක තත්ත්වයකට බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මැතිවරණ ව්‍යාපාර හේතුවෙන් කිසි විටෙකත් සංවර්ධනය සහ මහජන සේවාවන් අඩ පණ නොවිය යුතු බව ද අවධාරණය කළේය.

එමෙන්ම රට මුහුණ දී ඇති ව්‍යසනයන්ගෙන් ජනතාව ගලවා ගනිමින්, යහපත් සමාජයක් සහ නීතිගරුක රටක් ගොඩනැගීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළ ද කිසිසේත් පසුබෑමකට ලක් නොකළ යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේ ය.

 

නව අදහස දක්වන්න