හැත්තෑ දෙකක් පටවාගෙන ‘ප්‍රශංශා’ ප්‍රංශයට ගිහින් | දිනමිණ

හැත්තෑ දෙකක් පටවාගෙන ‘ප්‍රශංශා’ ප්‍රංශයට ගිහින්

ප්‍රසාද් පුර්ණමාල් පුත්තලම දිසා සමූහ

මීගමුව ධීවර වරායෙන් මුහුදු ගිය ජේ .ප්‍රශංශා නමැති බහුදින ධීවර යාත්‍රාව හලාවත මුහුදේ දී මිනිසුන් හැත්තෑ දෙකක් පටවාගනිමින් ප්‍රංශයට අයත් රියුනියන් නමැති දුපතට ළඟා වී ඇති බව වාර්තා වේ. මේ යාත්‍රාව මීගමුව ධීවර වරායෙන් මුහුදු ගොස් ඇත්තේ පසුගිය ජනවාරි 9වැනි දිනයි.

ඒ අනුව දින විසිපහක කාලයක් තුළ මේ යාත්‍රාව රියුනියන් දුපතට ළඟා වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ බහුදින යාත්‍රාව සුදර්ශන් පෙරේරා නමැති හලාවත ධීවර ව්‍යාපාරිකයකුට අයත් අතර මෙහි නියමුවා ලෙස කටයතු කර ඇත්තේ මහවැව තොඩුවාව පදිංචි එම්.සී.කේ.ප්‍රනාන්දු නමැති අයෙකි. මේ නියමුවා ඇතුළු කාර්ය මණ්ඩලය මේ ජාවාරම පිටුපස සිටින බවට බහුධින යාත්‍රාවේ හිමිකරු මේ වන විට මීගමුව පොලිසීයට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.

පසුගිය නවවැනි දින යාත්‍රාවේ හිමිකරු යාත්‍රාවට අවශ්‍ය ඉන්ධන, අයිස් ඇතුළු අහාර ලබා දී යාත්‍රාව පිටත් කර ඇත. ඉන් අනතුරුව, මේ ජාවාරම සිදුවී ඇති බවට මේ වන විට තොරතුරු ලැබී තිබේ.

මේ යාත්‍රාවේ නියමුවාගේ පවුලේ සියලු දෙනා ඇතුළු කාර්ය මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ද සිට ඇති බවට තොරතුරු ලැබී ඇත. කාර්ය මණ්ඩලයේ හැර අනෙක් සියලු දෙනාගෙන් රුපියල් ලක්ෂ හයේ සිට ලක්ෂ දහය දක්වා මුදල් එකතු කර ඇති බවට ද තොරතුරු ලැබී ඇත. මේ අතර කුඩා දරුවන් හා කාන්තාවන් ද සිට ඇත.

තම යාත්‍රාව මේ සියලු දෙනා සමඟ නැවත මෙරටට ගෙන්වා දෙන ලෙස හිමිකරු මෙරට රජයෙන් හා ප්‍රංශ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

නව අදහස දක්වන්න