විදේශ රැකියා පෙන්වා මුදල් ගැරූ සැකකරු දැලේ | දිනමිණ

විදේශ රැකියා පෙන්වා මුදල් ගැරූ සැකකරු දැලේ

කටාර්හි රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් රැසකගෙන් මුදල් වංචාකළ අයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ. 
 
කටාර් රැකියා ලබාදෙන බවට පොරොන්දු වී මුදල් ලබාගෙන එරටට රැකියාව සදහා ගිය පසු පොරොන්දු වූ පරිදි රැකියාව නොලැබීම හේතුවෙන් නැවත මෙරටට පැමිණි පුද්ගලයින් විසින් කාර්යාංශයට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය මෙහෙයවා ඇත.
 
ඒ අනුව, 2019.02.07 දින සමන්තුරේ, නින්දවූර්, 3 වන හරස්වීදිය, නො. 95 B දරන ලිපිනයේදී මුහමුදු හසීම් නැමැති 26 හැවිරිදි මෙහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඔහුගේ නිවසේ මෙම නිතිවිරෝධි රැකියා නියෝජිත ආයතනය පවත්වාගෙන ගොස් තිබෙන අතර,  ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි තිබී ගුවන් ගමන් බලපත්‍ර 12ක් හා වෙනත් ලිපි ලේඛන රාශියක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවීමේදී මෙම සැකකරු රැකියා ලබාදෙන බව පවසා එක් පුද්ගලයෙකුගෙන් රු.250,000.00ක් බැගින් මුදල් ලබාගෙන ඇති බවත්, මීට පෙර පුද්ගලයින් 60 දෙනෙකු පමණ කටාර් රැකියා සදහා පිටත් කර ඇතත් එහි රැකියා නොමැතිවීම හේතුවෙන් ඔවුන් නැවත දිවයිනට පැමිණ තිබෙන බවත් හෙළිවිය. 
 
මෙම සැකකරු 2019.02.07 දින සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2019.02.26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කරන ලදී. මෙහි වැඩිදුර නඩු විභාගය 2019.02.26 දින කැදවීමට නියමිතය.
 

නව අදහස දක්වන්න