කර්මාන්තය රැකුනොත් සේවකයත් රැකෙනවා | දිනමිණ

කර්මාන්තය රැකුනොත් සේවකයත් රැකෙනවා

දශක කීපයක් පුරා ගැටලුකාරී තත්ත්වයක් ඉස්මතුවන ක්ෂේත්‍රයන් ලෙස වැවිලි කර්මාන්තය හඳුනාගත හැකියි. කාලගුණ, දේශගුණ ගැටලු, පාරිසරික ප්‍රශ්න, වෙළෙඳපොළ පිළිබඳව මෙන්ම කම්කරු ප්‍රශ්න මෙහිදී මූලික වී තිබේ. මේ පිළිබඳව ලංකා වතු සංගමයේ සභාපති සුනිල් පොහොලියද්ද මහතා සමඟ කළ සංවාදයකි මෙය.

මෙරට වැවිලි ක්ෂේත්‍රයෙහි ලංකා වතු සංගමයේ නියෝජනය කෙබඳුද?

දැනට ලංකාවේ පවතින වතු අතරින් 20% ක පමණ ප්‍රමාණයක් ලංකාවතු සංගමය සතුය. තේ,පොල්, රබර්.ඔයිල් ෆාම් මෙන්ම කුළු බඩු වර්ග මෙම වතුවල ප්‍රධාන ආදායම් මාර්ගයයි. අප සංගමය දැනට වසර 160ක තරම් ඉතිහාසයකට උරුමකම් කියයි. මෙම සංගමයට අයත් වතුවල බිම් ප්‍රමාණය දළ වශයෙන් හෙක්ටයාර 10,000ක් පමණ වන අතර ඒවායින් 60%ක පමණ ඉඩම් ප්‍රමාණය වගාකරන ලද ඉඩම් වේ. මෙම ඉඩම්වලින් 30%ක් පමණ තේ සඳාත් 40%ක් රබර් සඳහාත් යොදාගෙන ඇති අතර මෙරට තේ නිෂ්පාදනයේ 23%ක් පමණ අප සංගමයට අයත් ඉඩම්වලින් නිෂ්පාදිත ඒවා වෙයි.

වතුසංගමයට අයත් ඉඩම් බොහොමයක් රජය සතු ඒවා ලෙසයි හඳුන්වන්නේ?

රජය සතු ඉඩම් මෙන්ම පෞද්ගලික වතු කීපයක් සංගමය සමඟ කටයුතු කරනවා. රජයේ අයිතිය ඇති ඉඩම් වගාකරුවන් මුහුණ දෙන ගැටලු පොදුයි. එම නිසා අපි විශේෂයෙන් ඒවා විසඳීමට මැදිහත් වී කටයුතු කරනවා.

වැටුප් පිළිබඳ සේවක ප්‍රශ්නය තවමත් නිරාකරණය වී නැති බවයි පෙනී යන්නේ?

වතු නඩත්තු කිරීමේදී විශාලම පිරිවැය වන්නේ සේවක වැටුප් දැනට පවතින වැටුප් ප්‍රශ්නයේදී දෙපාර්ශ්වයටම සාධාරණ අයුරින් විසඳුම් ලබාදීමට සංගමය වශයෙන් අපි කැපවී සිටිනවා. වැටුප් සංශෝධන වසර 2කට වරක් සිදුවෙනවා. මෙහිදී කර්මාන්තය වශයෙන් මේ ක්ෂේත්‍රයේ පැවැත්ම පිළිබඳවත් සැලකිලිමත් විය යුතු වෙනවා.

තේ අපනයනයේදී අප මුහුණ දෙන ගැටලුව වන්නේ මිල උස් පහත් වීමයි. වසර 4කට පෙර තේ මිල පැවතියේ 375කට . ඉන් අනතුරුව එය රුපියල් 700 දක්වා වැඩි වී වර්තමානයේ රු.450 බවට පත්වී තිබෙනවා. රබර් මිල උච්චාවචනය මීටත් වඩා සංකීර්ණය රුපියල් 600ක මට්ටමක පැවති රබර් මිල මේ වනවිට රුපියල් 200 දක්වා පහත වැටී තිබෙනවා. ඔයිල් ෆාම් වසර කීපයකට පෙර ටොන් එකකි. ඇමරිකානු ඩොලර් 1000ක් පමණ හිමි වුවද මේ වනවිට එය ඇමරිකානු ඩොලර් 500 දක්වා පහත බැස තිබෙනවා. මෙලෙස අධික ලෙස මිල උස් පහත් වුවද අප මෙම කර්මාන්තය පවත්වාගෙන යා යුතුයි. කෙසේ වෙතත් දැනටමත් වතු ක්ෂේත්‍රයේ ආදායමෙන් 80%ක් පමණ වැටුප් සඳහායි වැය කරනුයේ. මෙම තත්ත්වය සැලකීමේදී සේවක ප්‍රශ්නය පිළිබඳව මෙන්ම කර්මාන්තයේ පැවැත්ම සලකා කටයුතු කළ යුතු වෙනවා. මෑතකදී ලබාදුන් වැටුප් වැඩිකිරීමට සේවක පාර්ශවයේ විරෝධතා එල්ලවී තිබෙනවා. සේවක සංගම් ඉල්ලීම වූයේ මූලික වැටුප් වැඩිකිරීම පිළිබඳවය. මූලික වැටුප 40%කින් වැඩිකර විශේෂ දීමනාවක් එක්කර තිබෙනවා. මෙම වැටුප් මෙම සියලු වැටුප් ගෙවනුයේ දිනක පැය 6ක කාලයක් සඳහාය. මීට අමතරව ඔවුනට වෛද්‍ය පහසුකම් නිවාස, සනීපාරක්ෂාව මෙන්ම ඔවුන්ගේ දරුවන්ට දිවා සුරැකුම් මධ්‍යස්ථාන, මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන ආදිය පවත්වාගෙන යමින් සුභසාධන වැඩසටහන් බොහොමයක් ක්‍රියාත්මක කෙරෙනවා. කර්මාන්තය මුහුණ දෙන ගැටලුවලට හේතුව නවීකරණය නොවීම නිසා බව විද්වතුන්ගේ අදහසයි. මෙම කර්මාන්ත වැඩිදියුණු කිරීම සඳහාවූ ප්‍රධාන බාධකය ඉඩම් හිඟයයි. නාගරීකරණය හේතුවෙන් රබර් වතු කට්ටි කිරීම තවත් හේතුවක්. ග්ලයිපොසේට් තහනම නිසා කර්මාන්තයේ පසුබෑමක් ඇතිවුණා. එය කිසිදු විද්‍යාත්මක පදනමකින් ගත් තීරණයක් නොවේ. මහා පරිමාණයේ කර්මාන්තයේ නියැලී සිටින අපවැනි කර්මාන්තකරුවන්ට එහි බලපෑම විශාලයි. ග්ලයිපොසේට්වලට සමාන වෙනත් රසායනික ද්‍රව්‍යයන් වෙළෙඳපොළේ නොතිබීම නිසා වල් පැළ පාලනය සඳහා ශ්‍රමකයන් යෙදවීමට සිදු වුණා. ශ්‍රමිකයන් හිඟය මෙන්ම අමතරව වැටුප් ගෙවීමට වීමෙන් නඩත්තු වියදම ඉහළ ගියා. රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් වල්පැළ පාලනය කිරීමට වහා ශ්‍රමිකයන් යෙද වූ විට වියදම 6 ගුණයක් ඉහළ ගොස් තිබෙනවා. මෙවැනි හේතු නිසා කර්මාන්තයේ පසුබෑමක් ඇති වී තිබෙනවා. ග්ලයිපොසේට් වෙනුවට යෙදිය හැකි කෘෂි රසායනයන් වෙළෙඳපොළේ නොතිබීම නිසාම වෙනත් විවිද වර්ගයේ රසායනික වල් නාශක රටතුළට පැමිණියා. ඒ වාගේ බලපෑම මේ නව රසායනික ද්‍රව්‍ය නිසා සිදු වූ බලපෑම පෙර පැවති තත්ත්වයට වඩා බරපතල බවයි පෙනී ගොස් තිබෙන්නේ. ඊට හේතුව සිලෝන් Tea වලට ලෝකයේ පැවති කීර්තියටද ඉන් ඇති වී තිබෙන බලපෑම නිසයි.

ලංකාවේ තේ සඳහා සිටින ගැනුම්කරුවන් අතරින් ජපානය ප්‍රමුඛ රටක්. ජපානයේ ග්ලයිපොසේට්වලට තහනමක් නැතත් එරට තහනම් කරන ලද වෙනත් රසායනික ද්‍රව්‍ය පවතිනවා. පසුගිය සමයේ මෙරටින් ජපානයට අපනයනය කළ තේ වල රසායනික තත්ත්වය පිළිබඳ සෑහීමකට පත් නොවූ නිසා ඒවා නැවත හරවා එවීමක් සිදු වුණා. මෙම තත්ත්වය නිරාකරණය කිරීමට වැවිළි කර්මාන්ත ඇමැතිවරයා ජපානයට ගිය විට ඔවුන් පවසා සිටියේ නැවත ග්ලයිපොසේට් භාවිතයට ගන්න ලෙසයි. මෙම තත්ත්වය වෙනස් කිරීමට වසර 3ක කාලයක් ගතවීම කනගාටුවට හේතුවක්.

දේශගුණික වෙනස්වීම් සහ ශ්‍රම හිඟය හමුවේ කර්මාන්තයක් ලෙස පැවැත්ම තහවුරු කරගත හැකිද?

ඒ තත්ත්වයට මුහුණදීම සඳහා විශාල වශයෙන් ආයෝජන කළ යුතු වෙනවා. වතු ක්ෂේත්‍රය සඳහා ඔයිල් ෆාම් වගාව හඳුන්වා දී තිබෙන්නේ මීට පිළියමක් වශයෙන්. නමුත් ආරම්භයේ සිටම මේ සඳහා සීමාවන් පැන වී තිබෙනවා. පැළ සඳහා බීජ ආනයනය කිරීම තහනම් කර තිබෙනවා. රජය සමඟ ඇතිකරගත් ගිවිසුමට අනුව අවසර ලැබී ඇත්තේ වී හෙක්ටයාර 20000 වගා කිරීම සඳහා පමණි. දැනටමත් හෙක්ටයාර 110000 පමණ වගාව සම්පූර්ණ කර තිබේ. නමුත් ගැටලුව වන්නේ කර්මාන්ත කරුවන් විසින් ආනයනය කළ බීජ රෝපනය කර පැළ තවාන් වල 400,000 000 පමණ පැළ තවාන් නඩත්තු කරමින් පැවතීමයි. මේ සඳහා සිදුකරණ ලද ආයෝජනයේ පාඩුවද වැවිලි කර්මාන්තය විසින් දැරිය යුතුව තිබේ. මේ කර්මාන්තයේ පැවැත්ම සඳහා පරිසරය සුරැකීම අත්‍යවශ්‍ය කරුණක් නමුත් කර්මාන්ත මෙන්ම පරිසරයද සුරැකීම සඳහා විද්‍යාත්මක වැඩපිළවෙළක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වෙනවා.

සටහන
චානක ද සිල්වා

 


නව අදහස දක්වන්න