උන්මා­ද­නීය වූ ප්‍රේමා­ද­රයට වැල­න්ට­යින් තිළිණ | දිනමිණ

උන්මා­ද­නීය වූ ප්‍රේමා­ද­රයට වැල­න්ට­යින් තිළිණ

ප්‍රේමය බොලිවුඩ සිනමාවේ හදවත බඳුය. එනිසාම ආදරවන්තයන්ගේ දිනයේදී ආදරණීය තිළිණයක් සිනමා ශාලා වෙත ඔවුන් කැන්දා ගෙනවිත් ඇත. ඒ මාවත් ගායකයකු වූ නවීඩ් සීක් (මුරාද්) සහ ඔහු සමඟ පෙමින් බැඳෙන සකීනා අලිගේ කතාවයි.

රියැදුරකුගේ පුතකුවූ විසි දෙහැවිරිදි නවීඩ් සිහින මවන්නේ රැප් ගායකයකු වීමටය. එහෙත් ඔවුනගේ මාපියන්ට නම් අවශ්‍යවූයේ කාර්යාලයක රුකියාවේ නිරත වීමට තරම් උසස් අධ්‍යාපනයක් ඔහුට ලබාදීමටය. ඉන්දියාවේ කොලනිවල ජීවත් වන දුප්පත් ජනයාට කලාව යනු සැබෑ කරගත නොහැකි සිහිනයකි. එවැනි පැලැන්තියක උපත ලබා නවීඩ් මාපියන්ට ද එරෙහිවී මූම්බායි පුරවරයේ රැප් ගායනා කරමින් නිවෙසක් ගාණේ පිය නඟන්නේ ආර්ථික සමාජීය අභියෝග රැසකට මුහුණ දෙමිනි.

සිනමා පටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ පසුගිය වසර රංගන දිවියේ අති සාර්ථක, වාසනාවන්ත වසරක් බව‍ට පත් කරගත් රන්වීර් සිං සහ ආලියා බාත්ය. සිනමා පටය ගෙතී ඇත්තේ සැබෑ රැප් කණ්ඩායම් සාමාජිකයන්වූ නවීඩ් ෂාහික් (නේසි) සහ විවියන් ෆර්නැන්ඩස් (ඩිවයින්) චරිත වටාය. රන්වීර් සහ ආලියා යුගයේ දක්ෂ ජනප්‍රිය තරු යුවළ තිරයේ ප්‍රථම වරට පෙම්වතුන් බවට පත් වන්නේ ගලිබෝයි සිනමා පටයෙනි. මාවත් රැප් කලාකරුවන්ගේ ජීවිතය බොලිවුඩ් සෙලියුලොයිඩ් සිනමා පටයක සටහන් වෙන්නේ ප්‍රථම වරටය. සිනමා පටය‍ට ගීත දහ අටක් අඩංගුය.

රන්වීර් අලුත් සිනමා අත්දැකීමට මුහුණ දීමේදී නවීඩ් සහ විවියන් හමුවී ඇත. රන්වීර් චරිතය සඳහා තෝරා ගැනීම ගැන ඔවුන් සිටින්නේ සතුටිනි. රන්වීර් වෙනත් මාවත් රැප් ගායකයන් හමුවීමෙන් සුපුරුදු ආහාර රටාව ව්‍යායාම රටාව වෙනස් කිරීමෙන් චරිතය සඳහා සුවිශේෂ කැපවීමක් කළේය. ඔහු ආලියාට සහ කල්කිට හාදු දෙන දර්ශන ද සිනමා පටයට ඇතුළත්ය. “ආදරවන්තයනි පෙබරවාරි 14 දා පෙම්වතියන්ට අනිවාර්යයෙන් ගලිබෝයි පෙන්වන්න.“ රන්වීර් පෙම්වතුන්ගෙන් ඉල්ලා සිටින්නේය. ගලිබෝයි සෝයා අක්තාර්ගේ අදියුරුවමකි.

ඉස්න්ට් ඉට් රොමැන්ටික්

ප්‍රේමය‍ට වයස, රැකියාව, ස්ථුලභාවය මේ කිසිවක් ගැටලුවක් නොවේ. නෙටලි 2019 පෙබරවාරි 14 දිනට යෙදෙන වැලන්ටයින් දිනයේදී (ආදරවන්තයන්ගේ දිනයේදී) දෙන පණිවිඩය එයයි. නෙටලි නිව්යෝර්ක් නගරයේ ජීවත්වන ගෘහ නිර්මාණ ශිල්පිනියකි. තම වෘත්තියේ ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට ඇය වෙර දැරුවත් නගරයේ අහස සූරන මැඳුරු ඉදි කිරීමට වඩා ඇය උනන්දුවක් දැක්වූයේ කෝපි සහ බේගල්ස් (ඩෝනට් වැනි රවුම් පිටි කෑමක්) බෙදා දීමටය. කුඩා වියේ සිට ප්‍රේමය මුසු හාස්‍යෝත්පාදක සිනමා කතා නැරඹූ ඇය සියල්ල කල්පිතයන් බව විශ්වාස කළාය. එහෙත් සියල්ල කණපිට හැරුණේ උමං මඟකදී හදිසි ප්‍රහාරයකට ලක්වී ඇය සිහිසුන්වීම නිසාය.

අවදි වන විට නෙටලිගේ සිතිවිලි පුදුමාකාර ලෙස වෙනස්වී තිබිණි. ඇයට හැඟුණේ ඇය විශ්වයේ වෙනත් ‍තැනක ජීවත් වන බවයි. සැමවිටම ඇය ජීවත්වූයේ ආදර නුරුස්සන ලෝකයකය. එහෙත් නොදැනුවත්වම තමන් ද ආදරවන්තියකවී සිටින බව අවසන ඇය වටහා ගත්තාය. සිනමා පටය ප්‍රේක්ෂකයන්ට කෙතරම් දුරට තාත්වික අත්දැකීමක් බවට පත් කිරීමට අධ්‍යක්ෂ ටොඩ් ස්ට්‍රවුස් වෙහෙසී තිබේද කිවහොත් ඔහු ප්‍රේම ප්‍රහසන හැට පහකට වඩා සති දෙක තුනකදී නරඹා තිබේ. ඒ ඒවාට වඩා උසස් වින්දනයක් තම නිමැවුමෙන් රසිකයන්ට ලබා දීමටයි. තිරගත වීමට පෙර සිටම ‘ඉස්න්ට් ඉට් රොමැන්ටික්‘ ප්‍රේක්ෂක සෙනහස දිනාගෙන අවසන්ය.

ඔස්ට්‍රේලියානු නිළි රිබෙල් විල්සන් නෙටලිගේ චරිතය නිරූපණය කරන අතර ඇය හොලිවුඩ් සිනමා පටයක ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ප්‍රථම වරටය. ස්ථුල සිරුරක් හිමි කාන්තාවන් ප්‍රේම ප්‍රහසන සිනමා නිර්මාණවල ප්‍රධාන චරිත නිරූපණය කරනු බටහිර සිනමාව් දැකිය හැක්කේ කලාතුරකිනි. නෙටලිගේ හොඳම මිතුරා සහ පෙම්වතකු වන ජොෂ් ලෙස චරිත නිරූපණයේ යෙදෙන්නේ වර්කහොලික් ටෙලි නාට්‍ය මාලාවේ සහ පිච් පර්ෆෙක්ට් සිනමා පට මාලාවේ රුඟූ ඇඩම් ඩිවයින්ය. ඇඩම් වෘත්තීය බිරිය ලෙස නෙටලිට රංගනයේ යෙදෙද්දී නමක් ද පට බැඳ තිබේ.

බොලිවුඩයේ ප්‍රියංකා චොප්රාගේ හොලිවුඩ ගමන ඇරැඹුණේ බේවොච් සිනමා පටයෙනි. ඉස්න්ට් ඉට් රොමැන්ටික් ඇයගේ හොලිවුඩ් සිනමා චාරිකාවේ සුවි‍ශේෂ මං සලකුණකි. ඇය අමෙරිකානු ප්‍රහසන සිනමා පටයකට එක්වන්නේ පළමු වරටය. ප්‍රියංකා සැබෑ දිවියේදී නික් ජොනාස්ට පෙම් බැන්දේ සිනමා පටය රූගත කරමින් පවතින කාල වකවානුවේය. නික් සම්බන්ධ ආගිය කතා රැසක් සිනමාවට සම්බන්ධ නළු නිළියන් ආශ්‍රිතව පවතී. නෙටලිට පෙම් කරන්නකු ලෙස රඟන ලියම් හෙම්ස්වර්ත් සහ ඇඩම්ගේ මිතුරියන් නික් ඇසුරු කරන අයයි. වරක් ලියම්ගේ සහකාරිය, නිළි මිලේ සයිප්‍රස් සමඟ නික් පෙමින් වෙළී සිට ඇත. ඇඩම්ගේ පෙම්වතිය චෝලි බ්‍රිජර්ස් කෑම්ප් රොක් 2 සිනමා පටයේ නික්ගේ හද දිනූ තරුණිය ලෙස රැඟුවාය. ප්‍රියංකා මෙහි රඟන්නේ යෝගා උපදේශකයකු වන ඉසබෙලාගේ චරිතයයි.

සිනමා පටයේ සංගීතය ජෝන් ඩෙබ්නිගේය. වෝනර් බ්‍රදර්ස් පික්චර්ස් බෙදා හැරීමක් වන ඉස්න්ට් ඉට් රොමැන්ටික් සිනමා පටය අමෙරිකාවේ පෙබරවාරි 13 වැනිදාත් අන්තර්ජාතිකව පෙබරවාරි 28 වැනිදාත් රස විඳීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා කර දී තිබේ.

100% කාදල්

ආදරවන්තයන්ගේ දිනයේදී සියයට සියයක්ම ආදරය රැගෙන එන්නේ කොලිවුඩයයි. 2011 දී 100% කාදල් නමින්ම තිරගතවූ තෙළිඟු සිනමා පටයේ ප්‍රති නිර්මාණයක් වන මේ ආදර වෘත්තාන්තය නව යොවුන් වියේ ආදරය, තරගකාරී බව, අධිෂ්ඨානශීලී බව කැටි කළ කතා පුවතකි. මලයාලම් බසින් ද සිනමා පටය තිරගතවී තිබේ.

සිනමා පටයේ වීරයන් වන්නේ බාලු (ප්‍රකාශ් කුමාර්) සහ මහාලක්ෂ්මීය (ශලිනි පාණ්ඩේ). දෙදෙනාම පාසලේ ඉහළම ලකුණු ගැනීමේ තරගයක යෙදී සිටින අතර වරෙක බාලු පරයමින් මහාලක්ෂ්මී පෙරමුණ ගනී. මෙයින් බාලු මහත් සිත් වේදනාවට පත් වේ. ඔහු කපටි ලෙස මහාලක්ෂ්මී මඟ හරී. එහෙත් බාලු පුදුමයට පත් කරමින් ඊළග වාරයේ අජිත් ප්‍රථමයා බවට පත් වෙයි. පියා මහාලක්ෂ්මී‍ට ගෙනෙන විවාහ යෝජනාවට ඇය අකැමැති වන අතර බාලු ඒ විවාහය අවලංගු කිරීමට ඇයට සහාය වන්නේ තමන් වෙනුවෙන් අජිත් ඉගෙනීමෙන් ඈත් කරන ලෙස පොරොන්දු කරවා ගනිමිනි. එහෙත් බාලුගේ සිත මහාලක්ෂ්මී වෙත ඇදී යයි. මේ තිදෙනාගේ ඉරණම ආදරවන්තයන්ගේ දිනයේදී හදවත් සංවේදී කරනු ඇත. මේ සිනමා පටය එම්. එම්. චන්ද්‍රමෝලිගේ අධ්‍යක්ෂණයකි.

තෙළිඟු සිනමා පටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ තම්මන්නා භාතියා සහ නාගා චෛයිතන්යාය.

නව අදහස දක්වන්න