මදූෂ් ගැන පොලිස් ලොක්කෙකු තැබූ සටහන | දිනමිණ

මදූෂ් ගැන පොලිස් ලොක්කෙකු තැබූ සටහන

නම :- සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත 
වෙනත් නම් :- මාකදුරේ මදූෂ්
ලිපිනය :- මාතපාන වත්ත, ගතාර, කඹුරුපිටිය
උපන් දිනය :- 1979.02.24
ගැවසෙන තැන් :- ගාල්ල, මාතර, මීගමුව, ගම්පහ, මාවරල, මිනුවන්ගොඩ,
වාරියපොල.
 
මේ දිනවල සියළුම විද්‍යුත්, මුද්‍රිත මෙන්ම සමාජ ජාලා වෙබි අඩවි අරක් ගෙන ඉන්නේ මදූෂ් ගැන. දිනපතා ජාතික පුවත්පත් වල මුල් පිටුවේ සිරස්තලය සැරසෙන්නේ මදූෂ්ගේ නමින්.
 
ඒක හරියට එක කාලයක් සක්විතිගේ මුදල් ආයෝජනය ගැන පිටු ගනන් දැන්වීම් පල කරලා මුදල් උපයාගෙන ඊට පස්සේ සක්විති මුදල් වංචා කිරීම ගැන තවත් සති ගානක් පත්තරවල සිරස්තල සරසවපු ජාතියේ වැඩක්.
 
මාකදුරේ මදූෂ් අවසන් වරට අත්අඩංගුවට ගත්තේ මම. ඒ 2005 ජුලි මාසේ 25 වන දින වාරියපොලදී ගිණි අවි 02 ක් සන්තකයේ තබා ගෙන සිටියදියි. ඒ අවස්ථාවේ ඔහුට විරුද්ධව මීගමුව, ගාල්ල ප්‍රදේශ වල ලීසිං සමාගම් 03 ක් ආයුධ සන්නද්ධව කොල්ලකෑම සම්බන්ධව චෝදනා එල්ල වුනා.
 
මදූෂ් අත්අඩංගුවට ගත්තේ පාන්දර යාමයේ වාර්යපොල ප්‍රදේශයේ වත්තක ගල් ගුහාවක සැගව සිටියදී. මෙම කොල්ලකෑම සිදු කල කණ්ඩායමේ මදූෂ් එක් සාමාජිකයෙක් පමණයි. 2005 දී අත්අඩංගුවට ගද්දි මදූෂ් සම්බන්ධ වෙලා හිටියේ අයුධ සන්නද්ධ කොල්ලකෑම් කිහිපයකට සහ මිනීමැරුම් 02 කට පමණයි.
 
ඒත් මේ වන විට මදූෂ්ගේ අපරාධ ඉතිහාසය මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් 50 කට අධික සංඛ්‍යාවකගෙන් සමන්විතයි. 
 
මේ හැම එකකටම වැඩියෙන් ඔහු ප්‍රසිද්ධ ඩුබායි රටේ සිට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතවීම සම්බන්ධවයි.
 
ඔහු සිය අපරාධ ජීවිතයේ කූඨප්‍රාප්තිය සටහන් කලේ 2016 විතර. එතකොට මම පොලිස් මාධ්‍ය ප්‍රකාශක. ඒ වන විට පිළියන්දල ප්‍රදේශයේ සිදුවූ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍ර.පො.ප. නියෝමාල් රංගජීව මහතා ඝාතනය කිරීමට තැත් කිරීම හා පොලිස් නිළධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියට ඔහුගේ නම ඈදිලා තිබුනා. 
 
ඊට අමතරව දකුණු පළාතේ සේවය කල පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුට මදූෂ් දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල කර තිබෙනවා. මේ පිළිබඳව සමාජ ජාලා වෙබ් අඩවියක මාධ්‍යෙව්දියෙක් මගෙන් ප්‍රශ්න කලා. මම ඔහුට දුන්නේ මේ වගේ උත්තරයක්.
 
“මදූෂ් කියන්නේ තුන්වන පන්තියේ අපරාධකාරයෙක්.විශේෂයෙන් කොල්ලකරුවෙක්. 2005 දී මම ඔහුව කන් ගැට්ටෙන් අල්ලගෙන පොලීසියට ගෙනල්ලා උසාවි දැම්මා. කවදා හරි මදූෂ්ගේ ජිවිතය කෙළවර වෙන්නේ හිර ගෙදර. එහෙම නැත්තම් පොලීසිය අතින් මහ මගදී වෙඩි කාලා . එතකන් ටිකක් ඉවසන්න”
 
මෙම ප්‍රකාශය මුද්‍රිත, විද්‍යුත් මෙන්ම සමාජ ජාලා මාධ්‍ය වල ප්‍රචාරය වුනා. ඒ අද වෙනකම් මදූෂ්ගෙන් ඒ ගැන නම් මට කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. සමහරු මගෙන් ඇහුවා තුන්වන පන්තියේ අපරාධකාරයෙක් කියලා කියන්නේ ඇයි කියලා. මම එහෙම කිව්වේ ඔහු කරන අපරාධ වල කෘරත්වය සලකලා නෙමෙයි. 
 
අපරාධකාරයෙක් වුනත් යම් කිසි මනුස්සත්වයක් හා සංයමයක් තියෙන්න ඕනේ. සමහර දරුණු අපරාධ වල නිරත අපරාධකරුවන් තුල පවා මනුස්සකම, සංයමයක් තිබුනා. ඒ නිසයි ඔවුන්ව පළවෙනි පන්තියේ අපරාධකරුවන් කියලා හදුන්වන්න පුළුවන්. ඔවුන් අපරාධකරුවන් වුනත් ඔවුන් තුල ඇති මනුස්සකම ගැන සැලකිය යුතුයි.
 
විශේෂයෙන් “චීනා” වගේ අපරාධකරුවන් තුල මෙම තත්වය පැහැදිලිව තිබුනා. මම මීට පෙරත් මේ පිළිබදව මුහුණු පොතේ සදහන් කරා.
 
අපේ අපරාධ ඉතිහාසයේ සුප්‍රකට අපරාධකරුවන් රාශියක් ඉන්නවා. ඔවුන් අතර, “මරුසිරා”, “මරදන්කඩවල යකඩයා”, “චීනා”, “අග්ගොන චන්දරේ”, “අම්පාරේ සුදා”, “පොඩි විජේ”, “උක්කුවා”, “චොප්පේ” ප්‍රසිද්ධයි. 
 
මේ අය හුග දෙනෙක් තමන්ගේ බාහු බල‍යෙන් අපරාධ ක්‍රියාවල යෙදුනු අය. ඔවුන් සෑම කෙනෙක්ම අපරාධකරුවන් වුනත් සමහරුන්ට ඔවුන් ජීවත් වුන සමාජය තුල විශාල ගෞරවයක්, සැලකීමක් ලැබුනා මේ ගැන ඕන තරම් අපි කතා අහලා තියෙනවා.
 
උතුවන්කන්දේ සරදියෙල් සුද්දෝ හැදින්වුවේ අපරාධකරුවෙක් විදියට. ඒත් සාමාන්‍ය ජනයා අතර ඔහු වීරයෙක් වුනේ “ලංකා රොබින්හුඩ්” හැටියට.
 
ඒත් මදූෂ් වගේ කෙනෙක් ගැන එහෙම කතා කරන්න ඉඩක් තියෙනවාද ?. මදූෂ් සිදු කල මනුෂ්‍ය ඝාතන කිසිම එකකට ඔහු පැමිණ තිබුනේ නැහැ. ඒ හැම එකක්ම සිදු කලේ පසුබිමේ ඉදගෙන.
 
කුඩු සල්ලිවලින් පාපතර කුලී මිනීමරුවන් ලවා මදූෂ් සිදු කල සුප්‍රකට ඝාතනයක් තමයි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රභලයෙක් මෙන්ම දකුණු පළාත් සභාවේ අමාත්‍යවරයෙක් වූ ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කිරීමේ සිද්ධිය. 
 
මෙම ඝාතනය සදහා ඔහු භාවිතා කලේ වෙනත් වරදකට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි පලාගිය හුදා භටයෙකු වූ “කමාන්ඩෝ නිශ්ශංක” නැමැත්තායි. ඔහු දරුණු අපරාදකරුවෙක්. කුලී මිනිමරුවෙක්. මෙම අපරාධකරුව මදූෂ් ඇප තියලා එළියට අරගෙන තමයි මෙම අපරාධය ඔහු ලවා සිදු කෙරෙව්වේ.
 
“කමාන්ඩෝ නිශ්ශංක” මිනුවන්ගොඩ ප්‍රදේශයේ මා විසින් මෙහෙයවන ලද පොලිස් කණ්ඩායමක් සමග සිදු කල වෙඩි හුවමාරුවකදී මිය ගියා. මෙම සිද්ධියේ ඉදලා මදූෂ් සැලසුම් කරන සෑම අපරාධයක්ම සැළසුම් කරේ පසුබිමේ ඉදලා කුලී මිනීමරුවන් යොදවලයි. මෙවැනි අයෙකු තමයි තුන්වන පන්තියේ පාපතර අපරාධකරුවෙකු ලෙස හදුන්වන්න පුළුවන්. 
 
ඒ වගේම මදූෂ් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එව්වා. ඒ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ කළු සල්ලි වලින් ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කලා. යහළුවන්ට, දේශපාලඥයන්ට මෙන්ම පන්සල් පල්ලි වලටත් අත දිගහැරලා වියදම් කල බවට තොරතුරු තියෙනවා. 
 
මදූෂ් මෙරටට එවපු මත්ද්‍රව්‍ය භාවිතා කරලා විනාශ වුන හැම ජීවිතයකටම මෙම පාපතර අපරාධකරු වග කිවයුතුයි.
මේ කතාවේ තවත් පැත්තක් තියෙනවා.
 
පෙබරවාරී මාසේ 04 වෙනිදා වෙනකම් අපේ මාධ්‍යෙව්දීන් බහුතරයක් මදූෂ් ගැන ලිව්වේ ජාතික වීරයෙක් ගැන ලියන විදයට. ඔහු ගැන ලියවුනු ලිපි වලින් ඔහු වීරයෙක් කරා විතරකුත් නෙමෙයි ඔහුව අනුගමනය කිරීමට අපගේ තාරුණයන් අතර උත්තේජනයක් ඇති කලා.
 
මදූෂ් වගේ අපරාධකරුවෙකු හමුවේ ශ්‍රී ලංකා පොලීසිය කියන්නේ මහමේරු පර්වතයක් වගේ නොසැලී ඉන්න සංවිධානයක්. නින්දා, ගැරහුම්, ප්‍රසංශා මේ හැම එකක්ම උපේක්ෂා සහගතව විදගන්න ශක්තිය තියෙන සංවිධානයක්. වසර 36 ක් වූ මගේ සේවා කාලය ඇතුලත “මරුසිරා”, “මරදන්කඩවල යකඩයා”, “චීනා”, “අග්ගොන චන්දරේ”, “අම්පාරේ සුදා”, “පොඩි විජේ”, “උක්කුවා”, වගේ අපරාධකරුවන් සමග ගැටෙන්න පොලීසියට සිද්ද වුනා.
 
ඒත් අද ඒ අපරාධකරුවන් කොහෙද ඉන්නේ කියන එක තීරණය කිරීම මෙම සටහන කියවන පාඨකයින්ට භාරයි. මදූෂ්ට අයිති වෙන්නෙත් ඒ ඉරනමම තමයි. ජීවිත දහස් ගානක් බිලිගත් සයිනයිඩ් සංස්කෘතිය හදුන්වාදුන් වේලු පිල්ලේ ප්‍රභාකරන් පවා අවසාන මොහොතේ දැල්වුනු ජීවත් වීමේ ආශාව දරාගෙන අවසානයේ අමුඩය පිටින් වෙල්ලමුල්ලි වයික්කාල්හි කඩොලාන අතරේ සැගවෙන තත්වයට පත්වුනා.
 
ප්‍රභාකරන්ගේ ලගින්වත් තියන්න බැරි මදූෂ්ටත් අද වෙලා තියෙන්නේ ඒකම තමයි. මොන තරමි අපරාධ කලත්, මොන තරම් ජීවිත විනාශ කලත් හැම අපරාධකරුවෙක්ම විනාඩියක් හරි ජීවත් වෙන්න ආසයි. වැලිකතර චිත්‍රපටයේ ASP රන්දෙනිය හා ගෝරිං මුදලාලි අතර ඇතිවූ දෙබසකින් මම මෙම සටහන අවසාන කරනවා.
 
“උඹ ජීවත් වෙන්න ආසයි මිනිහෝ. උඹ බයගුල්ලෙක්, උඹ ආසයි උඹේ සල්ලි වලට, උඹේ කාර් වලට, උඹේ බලයට, ලස්සන මාලිගාවලට ඒ හින්දා තමයි උඹ මේ සේරම කරන්නේ. ගෑනියෙක්ට මුවා වෙලා වීරයෙක් වෙන්නේ නැතුව බැහැපන් යකෝ එළියට”.

 

අදහස් 1ක් ඇත

welldone priyantha-great De mazenod boy-Dr sampath from london

නව අදහස දක්වන්න