ගුවන් අනතුරෙන් මියගිය පාපන්දු ක්‍රීඩකයාගේ මරණය හා මුදල් අර්බුදය | දිනමිණ

ගුවන් අනතුරෙන් මියගිය පාපන්දු ක්‍රීඩකයාගේ මරණය හා මුදල් අර්බුදය

ප්‍රංශයත් - එංගලන්තයත් අතර ඇල්ඩර්නී දූපත් ආසන්න මුහුදු තීරයේදී ගුවන් අනතුරකට පත්වූ ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක එමිලියානෝ සාලාගේ මළ සිරුර හඳුනා ගැනීමත් සමග දෙපාර්ශ්වයක් මුදල් අර්බුදයක පැටලී ඇත. 28 හැවිරිදි එමිලියානෝ සාලා ක්‍රීඩා කළ ප්‍රංශයේ නැන්ටෙස් පාපන්දු කණ්ඩායමේ බලධාරීන් සාලා අලුතින් එක්වූ එංගලන්තයේ කාඩිෆ් සිටි කණ්ඩායමෙන් තමන්ට ලැබිය යුතු පවුම් මිලියන 15ක් වහාම ගෙවන ලෙස බලකර සිටීම ක්‍රීඩකයාගේ වියෝව මෙන්ම ඛේදනීය සිදුවීමක් බවට පත්ව තිබේ.

මහ මුහුදේ මීටර් 67ක් යට තිබී හමුවූ ගුවන් යානයේ සුන්බුන් අතර එමිලියානෝ සලාගේ බවට හඳුනාගත් සිරුර තිබුණද ගුවන් නියමු ඩේවිඩ් ඔබට්සන්ගේ සිරුර සොයා ගැනීමේ මෙහෙයුම තවමත් සිදුවෙමින් පවතී. දෙ‍දනකුට පමණක් ගමන් කළ හැකි මේ සැහැල්ලු ගුවන් යානයේ අනතුර පිළිබඳ විමර්ශන කටයුතු නිමා කිරීමට තවත් සාධක කිහිපයක් අවශ්‍ය බව පොලිස් නිලධාරීන් පවසා ඇත.

එමිලියානෝ සාලා වසර 2015 සිට ප්‍රංශයේ නැන්ටෙස් පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කළ අතර ගුවන් අනතුර සිදුවූදාට දින තුනකට පෙර එංගලන්තයේ කාඩිෆ් සිටි කණ්ඩායමට එක්වීමේ කොන්ත්‍රාත්තුවට අස්සන් තබා තිබිණි. පවුම් මිලියන 15කට කාඩිෆ් සිටි පාපන්දු කණ්ඩායම එමිලියානෝ සාලා මිලදී ගත් බව දැනුම්දීමත් සමග ඔහුගේ සුපුරුදු නැන්ටෙස් පාපන්දු කණ්ඩායමේ සහෝදර ක්‍රීඩකයන් හමුවී සිප වැළද ගෙන කාඩිෆ් වෙත පියාසර කරද්දී මේ ගුවන් අනතුර සිදු විය.

කාඩිෆ් සිටි කණ්ඩායම වෙනුවෙන් එක් දිනක් හෝ ක්‍රීඩා කිරීමට නොහැකි වුවද, නැන්ටෙස් පාපන්දු කණ්ඩායමට ගෙවිය යුතු මුදලින් පළමු වාරිකය ඉල්ලා බලකරමින් සිටින අතර දින 10ක් ඇතුළත එම මුදල නොගෙවන්නේ නම් නඩු පවරන බව නැන්ටෙස් ක්‍රීඩා සමාජ බලධාරීහු කාඩිෆ් සිටි පිලට තර්ජනය කරමින් සිටින බව මාධ්‍ය වාර්තා පළ කරති. දිගින් දිගටම මුදල් ඉල්ලා යැවෙන ඊමේල් පණිවිඩවලට පිළිතුරු ලෙස කාඩිෆ් සිටි කණ්ඩායම පවසන්නේ මුදල් ගෙවීම පිළිබඳ ගැටලුවක් නොමැති බවත්, එමිලියානෝ සාලාගේ මළ සිරුර පිළිබඳ විමර්ශන කටයුතු අවසන් වනතුරු ඉවසා සිටින ලෙසත්ය.

මේ වියෝවෙන් කම්පනයට පත් කාඩිෆ් සිටි පාපන්දු සමාජය එමිලියානෝ සලාගේ පවුල වෙත හද පිරි සංවේගය පළ කරමින් ශෝක පණිවිඩයක් ද යවා ඇත. පසුගිය ජනවාරි 19වැනිදා අතුරුදහන් වූ ගුවන් යානයේ සුන්බුන් මෙයට දින හතරකට පමණ පෙර සොයාගත් අතර මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ වැඩිදුර විස්තර තවමත් හෙළිවී නැත. ගුවන් අනතුර සිදුවූයේ කෙසේද? ඒ පසුපස කුමන්ත්‍රණයක් ඇත්ද? සියල්ල ඉදිරි දිනවදී හෙළි වනතුරු පාපන්දු ලෝකයම විමසිල්ලෙන් පසුවේ.

සටහන - ප්‍රින්ස් ගුණසේකර

 


නව අදහස දක්වන්න