ව්‍යවස්ථා සභාව ගැන පරීක්ෂණ කරන්න යෝජනාවක් ගේනවා | දිනමිණ

ව්‍යවස්ථා සභාව ගැන පරීක්ෂණ කරන්න යෝජනාවක් ගේනවා

අනුර ප්‍රේමලාල්

ව්‍යවස්ථා සභාව ගැන පරීක්ෂණයක් කිරීමට විශේෂ කාරක සභාවක් පත් කරන්න කියා තමා ළඟදීම යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (11) කොළඹ 08, බොරැල්ල පිහිටි ඇන්.ඇම්. අනුස්මරණ මධ්‍යස්ථානයේ පැවති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. 19 වෙනි සංශෝධනයෙන් සැදු ව්‍යවස්ථා සභාව තියෙනවා. රටේ ඉහළ තනතුරුවලට වගේම අධිකරණය, අභිවාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන් පත් කරන්නේ ව්‍යවස්ථා සභාවෙන්.මේ වන විට මේ සභාවට චෝදනා එල්ලවෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ලිපියක් යවා තියෙනවා. ව්‍යවස්ථා සභාව හා ශ්‍රේෂ්ඨාධිකරණය යන දෙකම පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. එය 19 වෙනි සංශෝධනයේ සඳහන් වෙනවා. මේ ව්‍යවස්ථා සභාවට තිබෙන යෝජනා පරීක්ෂා කරන්න විශේෂ කාරක සභාවක් පත් කළ යුතුයි. මම ඉදිරි දිනවල ඒ යෝජනාව ගෙන එනවා. දැනට මේ ගැන වාර්තා කරන්න සිටින්නේ කතානායකවරයා පමණයි.ඔහුම තමයි ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා. මේක ද්විත්ව චරිත නිරුපණයක්. ඉකුත් පාර්ලිමේන්තු සභා වාරයකදි මම මේ ප්‍රශ්න මතු කිරීම සඳහා උත්සාහ දැරුවා. නමුත් කතානායකවරයා සියලු දෙනාට එම අවස්ථාව දුන්නා. මට දුන්නේ නැහැ. මම මේ පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා. එහිදි මම නගන ප්‍රශ්නය තමයි. කතානායකට තිබෙන අයිතිය කුමක්ද? එම තනතුරේ සිට ව්‍යවස්ථා සභාවේ කටයුතු ආරක්ෂා කරන්න. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ලිපියෙන් කියන්නේ මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලයි. මම කියන්නේ විශේෂ කාරක සභාවක් පත් කරන්න කියලයි. ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියන අර්ථය එයයි.

ෆේස් බුක් එකේ තියෙනවා ලොකු රචනාවක්. ඒ රචනාවෙන් කියන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රඥාවන්ත අදහස් නැතිව සිදුවු පාඩු තමයි දැන් සිදුවෙලා තියෙන්නේ කියලා. ඒ මහතා මේ සියලු ජයග්‍රහණ මෙහෙය වු පුද්ගලයායි. ඒ අනුව රනිල් මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම වැරැදියි. ඒ විශ්වාස භංගයෝජනාවත් සමඟ දහසය දෙනෙක් අපිත් සමඟ එකතුවීම වැරැදියි. ඒ නිසා ආණ්ඩුවේ බලය දුර්වලවීම වැරැදියි. ඒ නිසා ආණ්ඩුව දෙදරීම් තත්ත්වයකට පත්වීම වැරදියි. ඊළඟට ඔක්තොම්බර් (26) මහින්ද මහතා අගමැතිවීම වැරදියි. ඒ ආණ්ඩුව කැඩීමට මෛත්‍රී මහතා පියවර ගැනීම වැරැදියි. මේවා කෙටිකාලීනව අසාර්ථක වුණා. මේ සියල්ල බැසිල් මහතා කියු බව ඒ රචනාවේ තියෙනවා. මම හිතන්නේ නැහැ බැසිල් මහතා මේ කිසිම දෙයක් කිව්වා කියලා. මේක බැසිල් මහතාට වන්දි බට්ටකම් කරන අයකුගේ වැරැදි රචනාවක්. මම බැසිල් මහතාට නොවේ දොස් කියන්නේ. මේ රචනා කාරයාටයි. අපේ ඒ කටයුතු අක්‍රීය වුණේ නඩු තීන්දු දෙකකින්. එක නඩුතීන්දුවකින් කැබිනට් එක තහනම් කළා. අනෙක් තීන්දුවෙන් කිව්වා මැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තහනම් කියලා. රචනාවේ හැටියට බැසිල් මහතා මේ කියන නඩු දෙක දැනගෙන සිටිය යුතුයි.

ලංකා සමසමාජ පක්ෂයේ නායක මහචාර්ය තිස්ස විතාරණ මහතා-

මම වෛද්‍යවරයෙක් හැටියට දන්නවා කිරිපිටි නිෂ්පාදනයේදි නොයෙකුත් දේවල් ඊට එකතු කරන බව. අපි මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කර කර ඉඳලා වැඩක් නැහැ. එම සමාගම් අපි කියන දේ අහන්නේ නැහැ. මීට විසඳුම වන්නේ අපේ කිරිපිටි නිෂ්පාදනය වැඩිකරන්නයි. නමුත් දැන් සිදුවෙලා තියෙන්නේ අපේ කිරිපිටි නිෂ්පාදනය අඩාල කරන එකයි.

මෙහිදී දේශවිමුක්ති ජනතා පක්ෂයේ උප සභාපති ගලගම ධම්මරංසි හිමි, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නාගරික මන්ත්‍රී එල්.ආර්.ස්ටීවන් හා ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ උපසභාපති ජි.වි.ඩි. තිලකසිරි මහත්වරුද මේ මාධ්‍ය හමුවට එක්වූහ.


නව අදහස දක්වන්න