ලකී තේ කර්මාන්ත ශාලාවට SDEA විශිෂ්ටතා සම්මානය | දිනමිණ

ලකී තේ කර්මාන්ත ශාලාවට SDEA විශිෂ්ටතා සම්මානය

ඉහළ ගුණාත්මකභාවයෙන් සපිරි තේ නිෂ්පාදනය කරන ලකී කොට්ටව තේ කර්මාන්තශාලාව කම්කරු අමාත්‍යංශය සංවිධානය කළ සමාජ කතිකා සහ වැඩපොළ සහයෝගිතා 2018 සම්මාන උළෙලේදී සුළු පරිමාණ කාණ්ඩයේ නිෂ්පාදන අංශයේ ජාතික මට්ටමේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල පසුගියදා කොළඹදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ආර්ථික ඉලක්ක ජය ගැනීම සඳහා යහපත් වැඩ පරිසරයක් තිබීම අත්‍යවශය කරුණක් වන අතර සේව්‍ය සේවක සබඳතා වැඩි දියුණු කිරීමට වැඩපොළ සහයෝගිතාව විශාල රුකුලක් වේ. සමාජ කතිකා ක්‍රමවේද ආයතන තුළ ක්‍රියාත්මක කිරීමෙන් නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීමට මෙන්ම සේව්‍ය සේවක සුහදතා සහ බැඳීම් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ. මෙම සම්මාන උළෙලේදී ඇගැයීමට ලක් වූයේ සමාජ කතිකා හා වැඩපොළ සහයෝගිතා ක්ෂේත්‍රයේ විශිෂ්ටයන්ය. මෙම සම්මානය ආයතනයේ කළමනාකාරිත්වය හා සේවකයන් අතර බැඳීම තහවුරු කරන්නක් බව ලකී තේ පෞද්ගලික සමාගමේ සභාපති ලක්‍ෂ්මන් ගමගේ මහතා පැවසීය.

මාසිකව දළු කිල ෝ කිලෝ 160,000ක් පමණ අඹරා නිමි තේ කිලෝ 32,000ක් පමණ නිෂ්පාදනය කරන ලකී කොට්ටව තේ කර්මාන්ත ශාලාව කුඩා තේ වතු හිමියන් දහසක් පමණ තම නිෂ්පාදනයට හවුල් කර ගනී. අතරමැදියන්ගෙන් තොරව තම ආයතනය සතු ප්‍රවාහන පද්ධතිය හරහා කුඩා තේ වතු හිමියන්ගෙන් දළු මිලට ගෙන අතරමැදියන් ලබන ලාභය ඔවුන්ට හිමි කර දීම සුවිශේෂත්වයක් බව ලක්‍ෂ්මන් ගමගේ මහතා පවසයි. සියලුම තේ වතු හිමියන් වෙනුවෙන් පිහිටවූ සුභ සාධක සමිතියක්ද කර්මාන්ත ශාලාව සතු අතර එමඟින් ඔවුන්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර, හදිසි ආපදා ආධාර, අවමංගල්‍යාධාර ආදියද සපයයි. ලකී හිනිදුම, ලකී මීගහතැන්න, ලකී පින්නදූව, ලකී වීරපාන යන තේ කර්මාන්ත ශාලා ලකී තේ පෞද්ගලික සමාගමට අයත් අනෙකුත් තේ කර්මාන්ත ශාලා වන අතර එමගින් කුඩා තේ වතු හිමියෝ 7600ක් පමණ ප්‍රතිලාභ ලබති.

නව අදහස දක්වන්න