සයිබර් සාහිත්‍ය බලවත් | දිනමිණ

සයිබර් සාහිත්‍ය බලවත්

ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා

ප්‍රවීණ ගත්කතුවර ටෙනිසන් පෙරේරා “සූරිය කන්ද පාමුල”, “මහා රාවණ”, “සසර දිගන්තය” ඇතුළු ජීවිතයේ යථාර්ථය රැගත් නවකතා රැසක් පාඨකයාට තිළිණ කළ නිර්මාණකරුවෙකි.“උන්මාද මන්දිර” ඔහු අතින් ලියැවෙන තිස්වැනි නවකතාවයි. ඒ පිළිබඳ, ඔහු හා කෙරුණු සංවාදයකි මේ.

“උන්මාද මන්දිර” රචනා කිරීමට මුල් වූ වස්තු බීජය ගැන කතා කළොත්?

මේ මගේ තිස් වැනි නවකතාව. උන්මාද මන්දිර පිළිබඳ මට අදහසක් ඇති වුණේ, මීට අවුරුදු දෙකකට පමණ ඉහතදී. මේ නිර්මාණය තුළදී, බුවනෙක වැනි චරිතයක් යොදාගන්න මට අවශ්‍ය වුණා. මෙහි එන මේ වගේ අසරණ චරිත, බොහොමයක් ම මම දැකලා තියෙනවා. සසිරානි වැනි චරිතයක් මගේ “මහා රාවණ” නම් නවකතාවෙත් එනවා. ඇය මෙහිදී නියෝජනය කරන්නේ දමිල සමාජය. අපි විවිධ ජාති එක්ක ජීවත් වෙන ජාතියක්. ඒත්, ඒ අයගේ සංස්කෘතිය අපේ ජීවිතවලට ආලෝකයක් වෙනවාද? අපේ සංස්කෘතිය ඒ අයට ආලෝකයක් වෙන්නෙ කොහොමද? කියන කාරණා, බොහෝ නවකතාවල කතා වෙන්නෙ නෑ. බහු ජාතීන් අතර සහයෝගය ඇතිකර ගැනීමට නම්, අපි ඒ ඒ සංස්කෘති හඳුනාගත යුතුයි. ඒ මිත්‍රත්වය ගොඩනැඟීමට නම්, මෙවැනි සබඳතා අපේ නවකතාවලට ඇතුළත් විය යුතුයි. මෙවැනි දේ අත්හැරලා දාලා නවකතා ලියනවා නම් වෙන්නෙ, අපේ සමාජයේ ඇතැම් පැතිකඩ නැතිව, නවකතා ලිවීමක් තමයි වෙන්නෙ. මේ නවකතාව මම ලිව්වේ පරිසරවාදී නවකතාවක් විදිහටයි. අපට මේ පේන පරිසරයට අමතරව, සංස්කෘතික පරිසරය කියලත් එකක් තියෙනවා. ඔය කියන සංස්කෘතික පරිසරය ගැන බොහෝ ප්‍රබන්ධවල කතා කරන්නෙ නෑ. හැම ජාතියකට ම අයිති සංස්කෘතික ජීවිත එක්වෙලා, සංස්කෘතික පරිසරයක් හැදෙනවා. දෙමළ ජනතාවගේ සංස්කෘතියත් එක්ක, ඒ අයගේ අධ්‍යාත්මයට එක් වූ බොහෝ දේ තිබෙනවා. සිංහල, මුස්ලිම්, බර්ගර් සියල්ලන්ටමත් එහෙමයි. ඒත්, අපේ මානව බන්ධනය එකයි. අපෙන් ඒ බන්ධනය ගිලිහෙන්නෙ, අභ්‍යන්තර සංස්කෘතික විෂමතා නිසයි. ඒ නිසා, ඒ දේ අවබෝධ කර ගැනීම අතිශයින් ම වැදගත්.

මෙහි ප්‍රධාන චරිත විදිහට මතු වී පෙනෙන, අකලංක සහ සත්‍යාදේවි කතාවට ප්‍රවිශ්ට වන්නෙ, කතාව බොහෝ දුරක් ගලාගෙන ගිය පසුවයි. ඒ වන තුරු පාඨකයා නවකතාව වෙත ඇදබැඳ තබා ගැනීමට, කීර්ති දිසානායකගේ සහ ප්‍රසාද්ගේ ඝට්ඨනය පමණක් ප්‍රමාණවත් නැතැයි පැවසුවොත්?

මේ නවකතාව මම ලියන්නේ පරිසරවාදී නවකතාවක් විදිහටයි. මෙහි මුඛ්‍ය පරමාර්ථය චරිත විස්තර කිරීම වුණත්, ප්‍රධාන වශයෙන් ම මතු කෙරෙන්නෙ, පරිසරය තුළ මනුෂ්‍ය ජීවිතය කොයි ආකාරයෙන් ක්‍රියා කරනවාද? පරිසරයෙන් මනුෂ්‍ය ජීවිතයට මොන තරම් හිතකර, අහිතකර බලපෑම් ඇතිවෙනවාද කියන කාරණාවයි. දියළුම ඇල්ල, ඒ අවට ඇති කඳු යායවල්, ලෝකාන්තය වැනි ප්‍රදේශ ආවරණය වන විදිහටයි මේ නවකතාව ලියැවිලා තියෙන්නෙ. මෙහි ඇතැම් චරිත හසුරවන්නෙ, ඒ පරිසරය මඟිනුයි. තේ වතුවල වැඩ කරන ජනතාව සහ පාලකයන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ කතාබහක් මේ තුළ දිගහැරෙනවා. මෙහි වඩාත් මතු වන අකලංකගෙත්, සත්‍යාදේවිගෙත් අනුවේදනීය ප්‍රේම කතාවේ ප්‍රවිශ්ටය සිද්ධ වෙන්නෙ, නවකතාවේ මැදදියි. කතාවේ මුල තියෙන්නෙ අකලංකගේ පවුලෙ චරිත පිළිබඳ විස්තරයක්. කීර්ති දිසානායක කියන්නේ අකලංකගේ පියා. ඔහු ඒ ප්‍රදේශයේ යම් බලයක් ඇති තේවතු හිමියෙක්. ඔහුගේ දරුවන් විවිධයි. ලොකු පුතා ප්‍රසාද් දේශපාලනඥයෙක්. දෙවැනි පුතා අකලංක ඉන්දියාවට ගිහින් කෘෂිකර්මය හදාරලා, නැවත ශ්‍රී ලංකාවට එනවා. තුන්වැනි පුතා බුවනෙක. යම් මානසික ව්‍යාධියකින් පෙළෙන අයෙක්. කාමරේක හිරකරලා හදන බුවනෙකගේ ආධ්‍යාත්මය අවදි වෙන්නෙ, වතු කම්කරුවකුගේ දුවක් වූ සසිරානිගේ ප්‍රේමයත් සමඟිනුයි. ඔයාකාරයෙන් විවිධ සිදුවීම් හා චරිත, කතාවේ හැරවුම් ලක්ෂය ළඟා වන තුරු, ප්‍රේක්ෂකයා රඳවා තබා ගැනීමට සමත් බව මා සිතනවා.

බුවනෙකගේ මානසික ව්‍යාධිය, මෙහි එන ඇතැම් සිදුවීම් සහ චරිත, සියුම් ලෙස උපහාසයට ලක් කිරීමට යොදාගත් උපායක් බවයි පෙනෙන්නෙ?

මානසික ව්‍යාධිය හේතුවෙන් කුඩා අවධියේම බුවනෙකගේ පාසල් ගමන නවත්වලා, මාපියන් ඔහු කාමරයක කොටු කර හදනවා. ඒත් ඔහුට නිවෙසේ අන් අයට වැඩියෙන්, මනුෂ්‍ය ජීවිතය පිළිබඳ යම් අවබෝධයක් තියෙනවා. පවුලේ ප්‍රශ්නවලට බොහෝ විට විසැඳුම් ලැබෙන්නෙත් ඔහුගෙන්. ඔහු, මානව දයාවෙන් පිරි චරිතයක්. සියල්ලන් දෙස ඔහු සානුකම්පිතව බලනවා. එතැනයි උපහාසය තියෙන්නේ. ඒ මහා ප්‍රභූ සමාජයට ආලෝකයක් ලැබෙන්නෙ, මානසික ව්‍යාධියකින් පෙළෙන බුවනෙක වැනි අයකුගෙනුයි.

මේ කතාවට, ප්‍රසාද් දිසානායක වැනි තමන්ගෙ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට පවුල සහ ඡන්දදායකයන් බිල්ලට දෙන දේශපාලන චරිතයක් ඈඳා ගත්තෙ කුමන අරමුණකින්ද?

අද කාලේ නවකතාවක් ලියනකොට අපට බොහෝ විට මේ දේශපාලන චරිත සම්බන්ධයක් නැතිව ලියන්න අමාරුයි. අද වෙනකොට දේශපාලකයා කියන්නේ, සමාජයේ කැපී පෙනෙන චරිතයක්. ඔහුගේ ක්‍රියාකාරීත්වය, හැසිරීම් රටාව හැම තැනම දකින්න ලැබෙනවා. නවකතාකරුවා හුවා දැක්විය යුත්තේ, එහි ඇති යථාර්ථයයි . ප්‍රසාද් දේශපාලනයට මුවා වී කැලෑ කපනවා. දුරාචාරයේ යනවා. බිරියට නොසලකා හරිනවා. ඔහු විෂමාචාර චරිතයක් බවට පත් වන්නේ, ක්‍රමානුකූලවයි. මේක වර්තමාන දේශපාලන චරිත පිළිබඳ ගවේෂණය කරනකොට දකින්න ලැබෙන එක්තරා යථාර්ථයක්. ප්‍රසාද් කියන්නෙ වර්තමානයේ ඇතැම් දේශපාලන චරිතවල පිළිබිඹුවක්.

මේ නවකතාව ඉදිරියට ගලාගෙන යෑම වෙනුවෙන් දිස්නා හසාරි, ඩයනා, සසිරානි වැනි අවශේෂ චරිත, ප්‍රබල චරිත බවට පත් කර තිබෙනවා?

දිස්නා, ප්‍රසාද් දිසානායකගේ බිරිඳ. ඇය මාපියන් අහිමි ධනවත් තරුණියක්. මේ දේශපාලනඥයාගේ ග්‍රහණයට හසුවෙලා සිරකාරියක් බවට පත්වෙනවා. ඇය සිය මාමණ්ඩිය සමඟ කුළුපග වීමෙනුයි ජීවිතය ගලවා ගැනීමට උත්සාහ ගන්නෙ. සසිරානි ගැන කිව්වොත්, ඇය මේ සම්පූර්ණ නවකතාවේ ම නොකඩවා ගලායන චරිතයක්. පැල්පතක ජීවත් වෙන ඉතා ම අසරණ තරුණියක්. ඒත් ඇය බුවනෙකගේ ජීවිතයට ආලෝකයක් වෙනවා. ඇයත් අසරණයි. ඇය හා පෙමින් බැඳෙන බුවනෙකත් අසරණයි. කොච්චර ධනයක් තිබුණත්, බුවනෙකට ධනය හසුරවන්න බලයක් නෑ. මෙහිදී පෙන්වන්නෙ ඒ අසරණ චරිත දෙක දෙන්නට දෙන්නා පෝෂණය කරන ආකාරයයි. කතාව අවසානයේ ඔවුන් අන් සියල්ලන්ට වැඩියෙන් ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්නවා. මෙහි එන ප්‍රභූවරුන්ට ප්‍රශ්න විසඳගන්න බැරුව, ව්‍යාකූල තත්ත්වයකට පත්වෙලා, පවුල් කඩාකප්පල් වෙලා, විනාශ වෙන අතරතුරේ, පහන් එළියක් විදිහට මේ නවකතාව තුළ මතුවෙලා එන්නෙ බුවනෙක සහ සසිරානි. මගේ නවකතාවලදී මම බොහෝවිට අතුරු චරිත ළං කර ගන්නවා. අතුරු චරිතවලින් ඕන ම නවකතාවක අභ්‍යන්තරය පෝෂණයට ලැබෙන රුකුල වැඩියි. ශ්‍රී ලංකාවේ නවකතාවල අතුරු චරිත බොහෝ වෙලාවට අඩුවෙන් තමයි ප්‍රයෝජනයට ගන්නෙ. ඒත් මගේ කතාවේ අතුරු චරිත පවා, කතාවේ මුඛ්‍ය පරමාර්ථය හසුරවන ප්‍රබල චරිත බවට පත් වෙනවා.

නවකතාවකින් සැබෑවටම විය යුත්තේ කුමක්ද?

ඒ පිළිබඳ විවිධ මත තිබෙනවා. බොහෝ වෙලාවට කියැවෙන දෙයක් තමයි, නවකතාවකින් සමාජය ශෝධනය විය යුතු බව. ඒ වගේ ම නවකතාවක් හරහා සමාජය පිළිබඳ විවරණයක් ඉදිරිපත් කළ යුතුයි කියලා මතයකුත් තිබෙනවා. නවකතාව තියෙන්නේ, හුදෙක් මිනිසුන්ගේ වින්දනය සඳහා පමණක් යොදා ගන්නා දෙයක් කියන එක තව මතයක්. ඔය ආකාරයෙන් නවකතාව පිළිබඳ නොයෙකුත් මතවාද තිබෙනවා. මම විශ්වාස කරන්නේ, මානව වර්ගයාගේ වින්දන පරාසය පුළුල් කරන අතර ම, මිනිසාගේ ජීවන යථාර්ථ ඉස්මතු කර දැක්වීම, නවකතාවේ කාර්යභාරයක් විය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ සයිබර් සාහිත්‍ය ගැන ඔබ දරන අදහස කෙබඳුද?

මම සයිබර් සාහිත්‍ය සමඟ නිරන්තරයෙන් ගැවසෙනවා. මේ සයිබර් සාහිත්‍ය තුළ ඇත්තේ ආවේගශීලී ක්ෂණික භාවයක්. ඒ තුළ, ගැඹුරකට යන ස්වභාවයක් නෑ. බොහෝ සයිබර් සාහිත්‍ය තුළ ප්‍රකාශ කරන යම් යම් දේ, සයිබර් සාහිත්‍යකරුවන් පවා හරියාකාරව දැනගෙන නෙමෙයි ලියන්නෙ. ඇතැම්විට ඔවුන් ලිවීමෙන් නඟන්නේ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නවලට සයිබර් අවකාශය හරහා උත්තර බඳින අය පවා, ඒ පිළිබඳ හරියාකාරවා දැනගෙන නෙමෙයි එයට සම්බන්ධ වෙන්නෙ. බොහෝවිට ශ්‍රී ලංකාවේ සයිබර් සාහිත්‍යයේ, හරවත් භාවයක් හෝ ගැඹුරක් නෑ.නොයෙකුත් දුබලතා සහිතයි. යථාර්ථයට නොගිහින්, ඉස්මතු වන පුද්ගලවාදි අදහස් තිබෙන්නේ. මගේ අදහස, අපේ සයිබර් සාහිත්‍ය තවම පරිණත වෙලා නෑ කියන එකයි . ඒත්, සයිබර් සාහිත්‍ය බලවත්. ඒ හරහා සමාජ බලවේගයක් නිර්මාණය කරන්න පුළුවන්.

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න