දෘශ්‍ය කාව්‍යකරණයේ උපාය ශාස්ත්‍ර | දිනමිණ

දෘශ්‍ය කාව්‍යකරණයේ උපාය ශාස්ත්‍ර

රසවින්දනය වනාහී එක් එක් පුද්ගල මනෝභාවයන්ට අනුව, විවිධ පරාස ඔස්සේ විහිදෙන පුළුල් හැඟීමකි.

පුද්ගලයන් රසඥතාව ඔස්සේ ග්‍රහණය කර ගන්නා ආකාරය වෙනස් වුව ද, නිර්මාණය උසස් වන තරමට ඕනෑම පරාසයක රසවින්දනය තීව්‍ර කිරීමට සමත් වේ.

ලෝක සාහිත්‍යයට මහඟු මෙහෙයක් ඉටුකළ නිර්මාණකරුවන් බිහි වූ යුරෝපා මහද්වීපයේ, විසිවැනි සියවසෙහි රන් අකුරෙන් නම තබන්නට හැකි වූ 'බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්' විශිෂ්ට නිර්මාණකරුවෙකි.ඔහු මියගොස් කාලයක් ගතවී ඇති නමුත්, ඔහුගේ නිර්මාණ විවිධ භාෂාවලට පරිවර්තනය වෙමින් ඇත. ලොව පුරා ජනතාව අදටත් නොවෙනස්ව වැළඳගන්නේ, ඒවායේ ඇති නිර්මාණශීලී ගුණාත්මක භාවය නිසා ය. නාට්‍ය නිර්මාණ ශිල්පීන් විසින් ප්‍රගුණ කළ යුතු ගුණාංග රැසක් එක් කරමින් ඔහු විසින් රචනා කරන ලද Short Organum for the theatre නම් කෘතිය, ලෝකයේ විවිධ භාෂාවලට පරිවර්තනය වුව ද, මෑතක් වනතුරු සිංහල භාෂාවට පරිවර්තනය වී තිබුණේ නැත. එය අසීරු සහ දුෂ්කර කාර්යයක් ලෙස නාට්‍යවේදීන් හෝ පරිවර්තකයන් දුටුවා වන්නට ඇතැයි සැලකිය හැකි නමුත්, කාලයකට පසුව ලාංකේය නාට්‍ය නිර්මාණකරුවන්ට එම කෘතිය පරිශීලනය කිරීමට අවස්ථාව දැන් උදාවී තිබේ.

එම කාර්යය යථාර්ථයක් බවට පත්කළ නාට්‍යවේදී ධර්මජිත් පුණර්ජීව මහතා,

"බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කියන්නේ 21 වැනි සියවසට වඩාත්ම උචිත නාට්‍ය ක්‍රමයක් නිර්මාණය කළ සහ සමාජ දේශපාලනික වශයෙන් බොහොම වැදගත් නාට්‍යකරුවෙක්. ඔහු නාට්‍යකරුවෙක්, කවියෙක් ලෙස ලොවපුරා බොහෝ ප්‍රසිද්ධයි. ඒත් සමඟම, ඔහු විසින් හඳුන්වාදුන් යම්කිසි ක්‍රමවේදයක් තිබෙනවා. ඔහුගේ නාට්‍ය රචනා අනුසාරයෙන් අපි නාට්‍ය නිර්මාණය කළත්, ඔහුගේ ක්‍රමවේදය නිවැරැදිව වටහාගෙන තිබේද කියන ගැටලුව ඇතැම් අවස්ථාවල මතුවෙනවා.

බ්‍රෙෂ්ට්ගේ දුරස්ථීකරණ අංගරීතිය (Alienation methad) කියන මේ ක්‍රමවේදය පිළිබඳ නාට්‍යකරුවන්ගේ යම්කිසි දැනුවත්භාවයක් තිබුණත්, එය ප්‍රායෝගිකව භාවිත කිරීමට උත්සාහ දැරීමේදී, ඔවුන් ගැටලු සහගත අවස්ථාවන්වලට මුහුණ දෙනවා.

1947 බ්‍රෙෂ්ට් විසින් ලියන ලද වගන්ති 77 කින් යුක්ත ‘Short Organum for the theatre නමැති ශාස්ත්‍රීය නාට්‍ය ග්‍රන්ථය තුළ, ඔහුගේ ක්‍රමවේදය අන්තර්ගත වුණා. දශක හතක් ගතවන තුරුත් මේ කෘතිය සිංහලට පරිවර්තනය වුණේ නැහැ. බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය ප්‍රතිනිර්මාණය කළ හෝ ඒ ඇසුරින් නාට්‍ය නිර්මාණය කළ සෑම දෙනාම පාහේ මෙය, ඉංග්‍රීසි භාෂාවෙන් කියවූ නමුත්, එය ඔවුන් නිවැරැදිව ග්‍රහණය කරගත්තාද යන සැකය මෙය පරිවර්තනය නොවීමට හේතුව ලෙස මම දකිනවා.

මම මෙයට පෙර බ්‍රෙෂ්ට් ගේ කෘති 3ක් පරිවර්තනය කර පළ කළා. ඔහුගේම නාට්‍ය 2ක් නිර්මාණය කළා. ඒ ඔස්සේ මේ පොතත් හොඳ අධ්‍යයනයකින් පසු පරිවර්තනය කර එළි දක්වන්නට මට අදහසක් ඇතිවුණා. එහි ප්‍රතිඵලයක් ලෙසයි. ‘දෘශ්‍ය කාව්‍යකරණයේ උපාය ශාස්ත්‍ර’ නමින් මේ කෘතිය නිකුත් වන්නේ.”

නාට්‍යයක් තුළ අන්තර්ගත විය යුතු බොහෝ දේ එක් එක් රාමු ඔස්සේ වෙන වෙනම ඉදිරිපත් කරමින් සම්පාදනය කර ඇති මේ කෘතිය, උසස් පෙළ සහ සරසවි සිසුන් ඇතුළු නාට්‍යකරනයේ යෙදෙන සෑම අංශයක්ම නියෝජනය කරන පිරිස් සඳහා බෙහෙවින් වැදගත් වේ.

“මේ කෘතිය ග්‍රහණය කර ගැනීම පහසු‍ වන්නේ, මෙය වගන්තිවලට බෙදා නිර්මාණය කර තිබීම හේතුවෙන්. බෙදා වෙන්කර තිබුණත් මෙහි වගන්ති අතර අන්තර් සම්බන්ධතාවයක් තිබෙනවා. මෙය හරියාකාරව හැදෑරීමෙන් උසස් ගණයේ නිර්මාණයක් බිහි කරන්නට හැකියාව ලැබෙනවා. නමුත් මෙය අධ්‍යයනය කිරීම පමණක් සෑහෙන්නේ නෑ.‘රෙසිපි එක ඉගෙනගෙන විතරක් මදි කෑම හදන්නත් ඕන’. ඒ වගේ ‍මෙය අධ්‍යයනය කර ඉන්පසු ප්‍රායෝගිකව අත්හදා බැලිය යුතුයි."

‘උපාය ශාස්ත්‍ර’ ග්‍රන්ථය කෙටිකාලීන උත්සාහයක ප්‍රතිඵලයක් නොවේ. එය වසර ගණනාවක් කාලයත් සමඟ වර්ධනය වී තවත් පුද්ගල සහයෝගීතාවයන් සමඟ එළි දැක්වුණු කෘතියකි.

"මෙහි මුල්ම පරිවර්තන කාර්ය කළේ වසර හතකට පමණ පෙර. මෑතකදී මම මෙය රැගෙන නැවත කියවා බැලීමේදී මට වැටහුණා මේක තනිවම කරනවාට වඩා, මේ සම්බන්ධයෙන් දැනුමක් ඇති තවත් කවුරුන් හෝ මෙයට සම්බන්ධ වුණොත් වඩා සාර්ථකව මෙය නිමාකළ හැකියි කියලයි. ඒ අනුව Horizon College international හි මහා බ්‍රිතාන්‍ය විෂය නිර්දේශයේ විෂය ධාරා හදාරමින් සිටින ප්‍රියංවදා තෙපුළි මෙයට සම්බන්ධ කර ගත්තා. ඇය මේ සම්බන්ධයෙන් හොඳ දැනුමක් වගේම, තවත් විශේෂ කුසලතා බොහොමයකින් හෙබි තරුණියක්. මෙය සම පරිවර්තනයක් ලෙස එළි දැක්වීම මඟින් පොදු දුර්වලතා මකාගෙන, පාඨකයාට නිවැරැදිම දේ දෙන්නට හැකියාව ලැබුණා කියා මම හිතනවා.”

දිල්රූ ජයසේකර


නව අදහස දක්වන්න