ලේඛකයෙක්ට නිරවුල් මනසක් අවශ්‍යයි | දිනමිණ

ලේඛකයෙක්ට නිරවුල් මනසක් අවශ්‍යයි

ලොව පුරා පාඨකයන් බොහෝ පිරිසකගේ ආකර්ෂණය දිනා ඇති, කැනේඩියානු ජාතිකයකු වන රබීන්ද්‍රනාත් මහරාජ්, මේ වනවිට කෙටිකථා මාලා තුනක් සහ නවකතාවක් නිර්මාණය කර ඇත. මෑතකදී එළිදැක්වුණු නවකතාව වන ‘ද ඇමේසින් ඇබ්සෝබින් බෝයි’(The Amazing Absorbing Boy) කෘතිය, වඩාත් නිර්මාණශීලි, හදවතට දැනෙන බව, බොහෝ දෙනා පවසති. මේ එම නවකතාව පිළිබඳ, www. abebooks.com වෙබ් අඩවිය ඔහු සමඟ කළ සාකච්ඡාවක පරිවර්තනයකි.

‘ද ඇමේසින් ඇබ්සෝබින් බෝයි’හි කතාව කෙටියෙන් කියන්න පුළුවන්ද?

මේ කථාව ගෙතෙන්නේ, ට්‍රිනිඩෑඩියන් හි පිරිමි දරුවෙක් වෙන ‘සැමුවෙල්’ වටායි. ඔහුගේ මවගේ හදිසි වියෝවත් සමඟ ඔහුට ටොරොන්ටෝ හි ජීවත් වන පියා ළඟට යාමට වෙනවා. එතැනින් පසුව ඔහුගේ ජීවිතයේ වන වෙනස් වීම සහ ඔහු ඒ සඳහා මුහුණ දෙන ආකාරය, පැරැණි මතක සමඟ අලුත් ජීවිතය ආරම්භ කරන්න දරන උත්සාහය, මේ කතාව පුරා පැහැදිලි කරනවා. සතුට, දුක ආදී සෑම දේම මේ කතාව පුරා ම අන්තර්ගතව තිබෙනවා.

‘ද ඇමේසින් ඇබ්සෝබින් බෝයි’ කියන්නේ ඔබේ හතරවැනි කෘතිය. ඊට පෙර "හෝමර් ඉන් ෆ්ලයිට්", "ද ලගාහූ’ස් ඇප්රෙන්ටිස් " සහ "අ පර්ෆෙක්ට් ප්ලෙඩ්ජ්" වැනි නිර්මාණ ඔබ අතින් බිහි වුණා. මේ අතරින් ඔබ කැමැත්තෙන්ම ලියපු නව කතාව කුමක්ද ?

‘ද ඇමේසින් ඇබ්සෝබින් බෝයි’ තමා මම වැඩියෙන් ම ලෙහෙසියෙන් ලියපු නිර්මාණය. ඒකට මම කුඩා කාලේ කරපු වැඩ, අත්දැකීම් වගේ දේ ඇතුළත් කළා. මම පොඩි කාලේ බලපු චිත්‍ර කතා, කාටුන්, කියවපු එක එක විස්තර ආදිය වගේ දේ අන්තර්ගත කළා. ඒ වගේම, ඒ කතාව ටොරොන්ටෝවලටත් සම්බන්ධයි. මම දැන් ජීවත් වෙන්නේ ටොරොන්ටෝවල නිසා, මට අලුතෙන් පර්යේෂණ කරන්න, විස්තර සෙවීමට අවශ්‍ය වුණේ නෑ.

ඒත්, "අ පර්ෆෙක්ට් ප්ලෙඩ්ජ්" වගේ නිර්මාණය ගැන කතා කළොත්, එය 1960 ට්‍රිනිඩෑඩියන්වල කතාවක්. එය මට කලින් පරම්පරාවක කතාවක්. මට ඒ සඳහා නම් වැඩි පර්යේෂණ ප්‍රමාණයක් කරන්නට සිදු වුණා. කොහොම වුණත් මට කාලෙක පටන් ටොරොන්ටෝ ගැන ලිවීමට අවශ්‍යතාවක් තිබුණා. ටොරොන්ටෝ නගරය ගැන විස්තර කරන්න බැහැ . එහි තත්ත්වය නිතරම වෙනස් වෙනවා. හැම වෙලේම විවිධ විවිධ සංක්‍රමණිකයන් පැමිණෙනවා. මට ‘ද ඇමේසින් ඇබ්සෝබින් බෝයි’ මගින් ටොරොන්ටෝ ගැන කතා කරන්න අවස්ථාව ලැබුණා. ඒක මට මගේ ජීවිතයේ ලැබුණු සුවිශේෂී අවස්ථාවක් කියන්න පුළුවන්.

ඔබගේ කෘති සඳහා කර ඇති පර්යේෂණ අතරින්, වඩාත් ම සිත්ගන්නා සුළු පර්යේෂණය කුමක්ද ?

"අ පර්ෆෙක්ට් ප්ලෙඩ්ජ්" කෘතියේදී මම කතාව ගොඩනැගුවේ වසර 1940 සහ 1950 අතර කාලසීමාව තුළ, තම වෘත්තීය ආරම්භ කළ ගොවියකු සහ ඔහුගේ අමුතුම විදියේ ට්‍රැක්ටරය වටායි. මට අනෙක් සැමට වඩා මේ ට්‍රැක්ටරය ගැන ලියන්න නම් අමාරු වුණා. එම කතාවේ සමහර සිදුවීම් සඳහා මට ට්‍රැක්ටරය ගැන හොඳින් ම, තාත්විකව ලිවීමට සිදු වුණා. මට ඒ පිළිබඳ තිබුණේ බොහොම අඩු දැනුමක්. අන්තර්ජාලයේ පිහිටෙන් තමා මම ට්‍රැක්ටරය ගැන සොයා ගත්තේ. මම පරණ යාන්ත්‍රික බඩු වෙන්දේසියකින් ඒ වගේ ට්‍රැක්ටරයක් මිලදී ගත්තා. එම කෘතිය තමා මම කැමැත්තෙන්ම කරපු නිර්මාණය. ඒ මඟින්, වෙනස්ම ආකාරයේ අත්දැකීම් සමුදායක් මගේ ජීවිතයට එක් කර ගන්න අවස්ථාව ලැබුණා. ඒ ට්‍රැක්ටරය අදටත් මං ළඟ තියෙනවා.

ඔබ නවකතා සහ කෙටිකතා දෙවර්ගයේම නිර්මාණ කර තිබෙනවා.වැඩියෙන්ම කැමැති මින් කුමන වර්ගයටද?

මම වැඩියෙන්ම කැමැති නවකතා නිර්මාණයටයි. ඒත්, මම කෙටිකතා ලිව්වේ, කාලය නොමැති වීම පිළිබඳ ගැටලු ඇති වූ නිසයි. මම පුර්ණ කාලීන ගුරුවරයෙක් නිසා, රැකියාවේ කටයුතු සමඟ ලිවීම සඳහා කාලය සොයා ගැනීම බොහොම අපහසු වුණා . මම සාමාන්‍යයෙන් නිර්මාණයක් කරද්දී, ඒ ඒ චරිත ගැන වෙන වෙනම හිතනවා. එම චරිත අවට ලෝකය ගැන සිතන ආකාරය , අනෙක් චරිත අතර ඇති බැඳීම් ආදී දේ මට කතාව තුළට ඇතුළත් කිරීමට අවශ්‍යයි. මට ඒ සඳහා කාලය සහ නිරවුල් මනසක් අවශ්‍යයි.

නිර්මාණ හතරකට පසුව ඔබට ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතන්නේ ?

මට හොඳ වගේම නරක ප්‍රතිචාරත් ලැබෙනවා. මම බොහෝ වෙලාවට සමාජ මාධ්‍යවල ලැබෙන ප්‍රතිචාරත් කියවනවා. සියල්ලම නෙමෙයි, එහි මුලින් ම තිබෙන කිහිපයක්. මට ඒවා බෙහෙවින් වැදගත්. මොකද මට එම ප්‍රතිචාර මගේ ඉදිරි නිර්මාණ සඳහා බෙහෙවින් වැදගත් වෙනවා. පාඨකයන්ගේ වැඩි ආකර්ෂණය තියෙන්නේ මොකටද? ඔවුන්ගේ බලාපොරොත්තු මොනවද? කියලා මට ඒකෙන් දැනගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කථාව ලියද්දි, කොයි තරම් හිතුවත්, ලියන්නේ අපේ කෝණයෙන් දකින ආකාරයට. එය වෙනත් අයට දැනෙන අකාරය හාත්පසින්ම වෙනස්. ඒ නිසා ම තමයි, එක ම කතාව එක එක්කෙනාට විවිධ රසකින් දැනෙන්නේ.

ඔබ, ‘ද ඇමේසින් ඇබ්සෝබින් බෝයි’ සඳහා ඔබේ කුඩා කාලයේ වීර චිත්‍ර කතා කියවපු අත්දැකීම් යොදා ගත්තා කියලා පැවසුවා. ඒවා මොනවද ?

මම Marvel ආයතනයෙන් නිෂ්පාදනය කළ චිත්‍රපටවල සියලු ම චරිතවලට කැමැත්තක් දැක්වූවා. වැඩියෙන්ම කැමැත්තක් දැක්වූයේ, ‘ග්‍රීන් ලැන්ටන්’(Green Lantern) සහ ‘බැට්මෑන්’(Batman) නිර්මාණවලටයි. කෙමෙන් තරුණ වියට එද්දි නම්, ‘එක්ස්-මෙන්( X-Men), ඉන්හියුමන්ස්(Inhumans), ෆැන්ටෑස්ටික් ෆෝ(Fantastic Four) හි චරිතවලට කැමැත්තක් දැක්වූවා. මම ඒ කාලේ , කාටුන් වීරයන්ගේ ඇඳුම් පවා නිර්මාණය කරගෙන සෙල්ලම් කළා. එම අත්දැකීම් මට මේ නිර්මාණ කටයුතු සඳහා බෙහෙවින් ඉවහල් වුණා.

ලියන්න පෙලඹුණු, ඔබ වඩාත් ප්‍රිය කළ නවකතාව කුමක්ද ?

මට තවමත් මතක තිබෙන, මගේ හදවතට තදින් ම දැනුණු කතාවක් තමා ‘ගලිවර්ගේ චාරිකා’(Gulliver’s Travels). ඒක මම කියෙවුවේ මගේ කුඩා කාලයේදී. මට මගේ කුඩා අවදිය ඒ පොතත් සමඟ මතක් වෙනවා. මට එතැනින් පස්සේ තමා ලියන්න කැමැත්තක් ඇතිවූයේ. පොඩි පොඩි වීර කතා ලියලා, අම්මටයි, තාත්තාටයි පෙන්නවා මට මතකයි. අම්ම හරි, තාත්තා හරි ඒක කියවල ඉවරයක් වෙනකල්, මම කරදර කරනවා.

ඔබට ලැබී තිබෙන සම්මාන මොනවාද?

ටොරොන්ටෝ ග්‍රන්ථ සම්මානය, ට්‍රිලියම් ග්‍රන්ථ සම්මානය මට හිමිවී තිබෙනවා.

ඔබ ඊ ළඟට කරන්න සැලැසුම් කරන්නේ කුමක්ද ?

මගේ ඊ ළඟ සැලැසුම “Quick Reads Canada” ව්‍යාපෘතිය දියත් කිරීමයි. මම එහිදී තරුණ නවකතා, කෙටිකථා කතුවරයන් යොදා ගෙන, ලිවීමේ වැඩමුළු සහ පාඨකයන්ගේ රසාස්වාදය වැඩි කරවීම සදහා වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කරනවා. මම මේ දිනවල ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටිනවා.

යශෝදා ඉන්දීවරී


අදහස් 1ක් ඇත

namuth karyabahulathwaya,, gatalu sahitha jeewitha aragalaya, samajeeya gataluwalin bata kama , jeewithaye parajaya lada kenekuta daksa lekakayek weemata hoda pannarayakda wanneya!

පිටු

නව අදහස දක්වන්න