මඩුව ගිනිගනී; සකපෝරුව නවතී! | දිනමිණ

මඩුව ගිනිගනී; සකපෝරුව නවතී!

රන්ජන් අමරරත්න

ගුණසිංහ හෙට්ටිආරච්චි මහතා අපේ කතා කලාවට හුරු ස්වතන්ත්‍ර ශෛලියක් අනුගමනය කරන බව පෙනෙයි. ඔහු කතාව ඉදිරිපත් කරන්නේ නාටකීය විලාසයකින් ය. විස්තර කිරීම් නැත. රඟදැක්වීම් ඇත. එහෙත් උද්වේගකර අවස්ථා මතු කිරීමෙන් වැළකී සිටී. සංවාදවලට මූලිකත්වය ලබා දෙයි.

සැලකිය යුතු කාලයකට පසු; අපේ කතා කලාව සිහිගන්වන නව ප්‍රබන්ධයක් රස විඳින්නට ලැබිණි. එනම්; ගුණසිංහ හෙට්ටිආරච්චි මහතාගේ “කුඹල් මැණ්ඩිය” නවකතාව ය. “කුඹල් මැණ්ඩිය” කියවන කල; නවකතාව සම්බන්ධයෙන් වූ විවරණ කිහිපයක් සිහිපත් වෙයි. එක විවරණයකට අනුව නවකතාව යනු දීර්ඝකාලීන පර්යේෂණයක ප්‍රතිඵලයකි. තව විවරණයකට අනුව නවකතාව යනු කිසියම් සමාජ කණ්ඩායමක යුග පරිවර්තනය විදහා දක්වන ප්‍රබන්ධයකි. චරිත ගණනාවක චර්යා රටා හා ඔවුන්ගේ ජීවිතවලට අදාළ සිදුවීම්වල විශේෂතා ඔස්සේ මනුෂ්‍යත්වය විග්‍රහ කිරීම නවකතාවකින් සිදුවන බව, තවත් විවරණයකින් කියැවේ.

බටහිර විචාරකයන්ගේ පොදු පිළිගැනීමට අනුව ගතහොත්, නවකතාවක මුලික කාර්යය වින්දනය මිස අන් දෙයක් නො වේ. මෙහි ලා වින්දනය යන්න පුළුල් අර්ථයකින් භාවිත වේ. ජීවිතාවබෝධය, සමාජ වැටහීම හා දැනුම් පද්ධති ළඟා කර ගැනීම දක්වා ද එහි අර්ථ විස්තාරණය වෙයි. මේ කුමන විවරණයක් ගත්ත ද, කුමන මතවාදයක් ගත්ත ද, “කුඹල් මැණ්ඩිය” නවකතාව ඒ හා සමපාත කරගත හැකි ය. එහි ඇති එක් විශේෂතාවක් ලෙස එය හඳුන්වා දිය යුතු ය.

මහා බ්‍රිතාන්‍යයේ හා අමෙරිකාවේ ප්‍රකට ප්‍රකාශන සමාගම්වලින් සමහරක් ප්‍රබන්ධකරණයට අදාළ ව්‍යාපෘති වාර්තා සකස් කරයි. නවකතාවක් රචනා කිරීමට පෙර; පසුබිම් වාර්තා, චරිත අධ්‍යයන වාර්තා, සමාජ සමීක්ෂණ, භාෂා අධ්‍යයන ආදිය සිදුකිරීම ප්‍රකාශකයන්ගේ හා රචකයන්ගේ සාමුහිකත්වයෙන් සිදුවේ. එවිට නවකතාවක් ප්‍රකාශයට පත්කිරීම යනු එක්තරා ව්‍යාපෘතියකි. මෙලෙස සමාජගත වන ප්‍රබන්ධ, සමාජයට විශාල බලපෑමක් කරන අතර, අලෙවි වාර්තා තබන බව ද පැහැදිලි ය. ශ්‍රී ලංකාවේ නව කතාකරණය සඳහා එබඳු සාමුහික පරිශ්‍රමයක් දකින්නට නැත. එහෙත්, ඇතැම් රචකයන් ස්වාධීන ලෙස සිදුකරන පර්යේෂණ කලාතුරෙකින් වුව දැකගත හැකි ය. “කුඹල් මැණ්ඩිය” නවකතාව ද ඊට නිදසුනකි.

අන්තර්ගතය අතින් ගත් කල; ශ්‍රී ලංකාවේ කුල පීඩනය ගැන සාකච්ඡා කරන ප්‍රබන්ධයක් සේ කෙනකු මේ නවකතාව හඳුන්වන්නට පුළුවන. ඒ බැලූ බැල්මට අපට පෙනෙන සත්‍යය යි. එහෙත් මෙහි අර්ථ-භාව හා සංජානන ඉන් ඔබ්බට ගමන් කර, පුළුල් සමාජ විවරණයක් අප වෙත ඉදිරිපත් කරයි. කෘතියෙන් මතුකරන සමාජ සංවාදය, ප්‍රධාන ශීර්ෂ තුනක් ඔස්සේ විග්‍රහයට ලක් කළ හැකි ය.

I ගම හා ගමේ විපරිණාමය

II කුලභේදය හා එහි සංකීර්ණතා

III නව-සමාජ පන්ති බිහිවීම

ශ්‍රී ලංකාව යනු ගම්මාන තිස්දහසකින් පමණ සමන්විත කුඩා රාජ්‍යයක් බවත්; ගමට ඒකාබද්ධ සංවර්ධනයක් ලබා දීමෙන් සමස්තයක් ලෙස ජාතික ආර්ථිකය නැංවිය හැකි බවත් කලකට පෙර ප්‍රකාශ වී තිබිණි. ගම් වැඩිදියුණු කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වී ඇත්තේ නිදහස ලබාගත් වකවානුවේ සිටම ය. තර්කයක් ලෙස ගතහොත්, 1948 දී ම ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ. ගම සංවර්ධනය සඳහා සමිති සමාගම් බිහිකළ යුතු බව ද, නායකයන් පුහුණු කළ යුතු බව ද ජගත් ආයතන අපට ලබා දුන් උපදේශනය වෙයි. එහෙත්, කරුණු ගණනාවක් නිසා ග්‍රාම සංවර්ධන වැඩසටහන් අසාර්ථක විය.

කතුවරයා මේ කෘතියෙන් ගමත්, ගමේ විපරිණාමයත් ගැන කතා කරයි. සංවර්ධනය හා සංවර්ධනයට ඇති බාධා ගැනත් විග්‍රහ කරයි. ඔහුගේ එක තර්කයක් වන්නේ, නායකයන් තැනිය නොහැකි බව ය. නායකයා පරිසරයට, කාලයට හා අවශ්‍යතාවට අනුව බිහිවන බව කතුවරයා පෙන්වා දෙයි. මෙහි එන රන්සිරිහෙල් අප්පුහාමි එබඳු චරිතයකි. එහෙත් ඔහුට, නූතන ඥානය නැත. වෙළෙඳ පොළ සබඳතා නැත. එබැවින් ඔහුට ද පරාජය භාර ගැනීමට සිදු වේ. ශ්‍රී ලංකාවේ ග්‍රාම සංවර්ධනය තුළ අත්විඳින්නට ලැබුණු එක් යථාර්ථයක් කෘතියෙන් උකහාගත හැකි ය.

රජවරුන්ගේ පාලන සමය තුළ කුල සාධකය රටේ ඒකාබද්ධ සංවර්ධනය සඳහා යොදාගනු ලැබ ඇතැ’යි තර්කයක් නැගුවහොත්; එය සනාථ කළ හැකි ප්‍රබල සාධක තිබේ. එහෙත් වර්තමානය වනවිට තත්ත්වය වෙනස් ය. අද වනවිට කුල සාධකයේ තවත් සංකීර්ණ පැතිකඩ ගණනාවක් දකින්නට ලැබේ. ගමේ ප්‍රභූත්වය හා නායකත්වය හැමවිට ම ගොවිගම කුලයට ලැබී නැත. ගොවිගම කුලයේ ම ඉඩම් අහිමි, ආර්ථිකය දුර්වල අය සිටිති. මේ අය ප්‍රභූ පන්තියේ සේවකයෝ වෙති. ගෝලයෝ වෙති. ජීවන අරගලයේ දී ඔව්හු කුලහීනයෝ හා සමපාත වෙති. “කුඹල් මැණ්ඩිය” රන්සිරිහෙල් අප්පුහාමිගේ චරිතයෙන් ද ඒ බව සනාථ වෙයි.

ශ්‍රී ලංකාවේ දෙමළ හා සිංහල සමාජ ගතහොත්; කුල-සාධකය තදින් ම පවතී. කුල සාධකය මේ සමාජ දෙකෙහි ම සංස්කෘතික කාරණයක් බවට ද පත්ව තිබෙනු දැකගත හැකි ය. 1960 – 1970 ගණන්වල දිස්ත්‍රික් සංවර්ධන වාර්තාවලින් ද, සමාජ සංවර්ධනය පිළිබඳ වාර්තාවලින් ද පෙනීයන්නේ, කුල සාධකය සංවර්ධනය සඳහා වූ විශේෂ බාධකයක් ලෙස පවතින බව ය. කුලීනයන් ග්‍රාම සංවර්ධනය සඳහා වූ වැඩසටහන් කඩාකප්පල් කර ඇති බව ද, ගමේ කුලහීන නායකත්වය හා එකමුතුව විවිධ උපායමාර්ග ඔස්සේ විනාශ කර ඇති බව ද, ඉහත වාර්තාවලින් පැහැදිලි වෙයි. එහෙත්, මේ තත්ත්වය වෙනස් වූ අවස්ථා තිබේ. ඇතැම් ගම්වල කුලහීනයන්ගේ දියුණුවට ප්‍රභූ පන්තිය සහයෝගය දී ඇත. එහි යම් යටි අරමුණක් තිබුණේ ද යන්න පැහැදිලි නැත. එහෙත්, එබඳු උත්සාහයන් තිබූ බව සත්‍යයෙකි. එම සත්‍යය ගුණසිංහ හෙට්ටිආරච්චි මහතා මේ කතාවෙන් නිරූපණය කරයි. රන්සිරිහෙල් අප්පුහාමිගේ සමිති සංවිධානය හා ලොකු ඉස්කෝලෙ මහත්තයා කුඹල් සමාජයට දක්වන කරුණාවත්, ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය.

නව සමාජ පන්ති බිහි වීම සමාජ විපරිණාමයේ කැපී පෙනෙන ලක්ෂණයකි. මේ සඳහා බලපාන ප්‍රධාන සාධක දෙකක් හැටියට ආර්ථිකය හා අධ්‍යාපනය හඳුන්වා දිය හැකි ය. නව සමාජ පන්ති බිහිවීමට අදාළ සිදුවීම් කෙරෙහි ද කතුවරයාගේ අවධානය යොමුවී ඇත. අමරදාස හා රත්නේ ආර්ථිකය මූලික කරගත් නව සමාජය බිහි කරති. ඔවුන්ගේ චර්යා රටා අතරට චණ්ඩිකම හා සූරාකෑම ඇතුළත් ය. සුනිමල් මේ දක්ෂ දරුවා අධ්‍යාපනය ඔස්සේ බිහිවන නව සමාජය නියෝජනය කරයි. සුනිමල් පිළිබඳ අපේක්ෂාව කතාව පුරාම පවතී. ඔහු කුඹල් සමාජයෙන් නික්ම අලුත් මාවතක් දිගේ ගමන් කරයි.

මේ කතාවේ එන අමුතු මහත්තයා, තවත් සමාජ කණ්ඩායමක් නියෝජනය කරයි. බැලූ බැල්මට නම්; ඔහුට ඇත්තේ සංචාරක ජීවිතයකි. එහෙත් ඔහුගේ පැවැත්ම, ගනුදෙනු හා ක්‍රියාකාරකම් ඉන් ඔබ්බට ගමන් කරයි. ඔහු සතු අන්තර්ජාතික සබඳතා, ජනමාධ්‍ය සබඳතා හා තවත් දේ නිසා, අමුතු මහත්තයා බලපෑම්කාරී පුද්ගලයකු බවට පත්ව සිටී. එක අතෙකින් ඔහුගේ ජීවනෝපාය ද එය ම වෙයි. සංචාරය, ගවේෂණය, ඉදිරිපත් කිරීම හා අලෙවිය ඔහු අතින් සිදුවන බව පෙනෙයි. ගමට කඩාවදින තවත් බලවේගයක් ලෙස අමුතු මහත්තයා හැඳින්විය හැකි ය. එය ද අප අත්විඳින සමාජ යථාර්ථයකි.

“කුඹල් මැණ්ඩිය” කෘතිය පුළුල් සමාජ විවරණයක් සහිත නවකතාවක් ලෙස විග්‍රහයට ලක් කළ හැකි ය. ගම, ගමේ විපරිණාමය, ගැමියන්ගේ චර්යා රටා හා මානව සබඳතා පිළිබඳ තථ්‍යාවබෝධයකින් යුතුව නවකතාව රචනා වී තිබේ. සමාජ හා මානව විද්‍යාව හදාරන විද්‍යාර්ථියකුට වුව මේ කෘතිය අධ්‍යයනය කිරීම වැදගත් යැයි සිතේ.

නවකතාව ආරම්භ වන්නේ අතිශය ප්‍රාණවත් වාක්‍යයකින් ය.

“සකල සරීරයෙන් ම මැටි නාගත් මිනිහෙක් මහ පොළොවෙන් මතු වුණේ ය.”

(පිටුව 09)

ප්‍රබන්ධකරණයේ භාෂාව පිළිබඳ කෘතියක් සම්පාදනය කරන මහාචාර්ය ස්ටැන්ලි ෆිෂ් “වාක්‍යයක් ලියන්නේ කෙසේද?” නම් සිය මාහැඟි කෘතියෙහි අටවැනි පරිච්ඡේදයේ ලා සටහන් කර ඇත්තේ, නවකතාවක ආරම්භය සේ ම, එහි පළමු වාක්‍යය ද ඉතා වැදගත් බව ය. ඔහුගේ එක් අදහසක් වන්නේ, සාර්ථක නවකතාවේ පළමු වාක්‍යය සමස්ත වෘත්තාන්තයෙහි පෙර නිමිත්තක් සේ පවතින බව ය. මඩ නා ගෙන මහ පොළොවෙන් මතුවන්නේ ජිනදාස නම් කුඹලා ය. ඔවුන්ගේ ජීවන අරගලය හා වීර්යය පිළිබඳ පර්යාලෝකනයක් ඉහත වාක්‍යයෙහි සටහන් ව තිබේ.

මේ කතාවේදී ජීවමාන චරිත සමූහයක් අපට මුණ ගැසෙති. ජිනදාස, මිසිලිනා, චුක්කිනියා, රන්සිරිනෙල් අප්පුහාමි, සාදු අප්පුහාමි, අමරදාස රත්නේ, බෙලෙක්කයා, කෝටුවා, අමුතු මහත්තයා, සුනිමල්, තීක්ෂණ, ලොකු ඉස්කෝලේ මහත්තයා, ජෝකීනු ඒ අතර සිටිති. එකිනෙක චරිතවල චර්යා රටා වෙනස් ය. ඔවුන්ගේ අරමුණු ද වෙනස් ය. කතුවරයා ඒ ඒ චරිත සූක්ෂම ලෙස අධ්‍යයනය කරමින් සාර්ථක චරිත නිරූපණයක නිරත වෙයි. අර්නස්ට් හෙමිං වේ පෙන්වා දෙන ලෙස ප්‍රබන්ධයක දී වඩා වැදගත් වන්නේ, ජීවමාන චරිත නිරූපණය යි. චරිත නිරූපණය දුෂ්කර කාර්යයෙකි. කතුවරයා එම අභියෝගය ජයගෙන ඇත. නවකතාව කියවනවිට ඒ ඒ චරිත පිළිබඳ සජීවි චිත්‍රයක් අප සිත්හි මැවෙයි.

නවකතාවකට අවශ්‍ය පසුබිම් නිරූපණය ද, ශිල්පීය ලක්ෂණයක් සේ සලකති. මේ අනුව කතාවට උචිත භූමි ප්‍රදේශය, පරිසරය, කාලය ආදී සාධක මනාව සංයෝග කරමින්, පසුබිම් නිරූපණයට කතුවරයා උත්සුක විය යුතුව තිබේ. “කුඹල් මැණ්ඩියේදී” අපූරු ගමත් මැවෙයි. ගමේ සීමා ලෙස ඔය, මූකලාන, මිටියාවත් ආදිය තිබේ. කුඹුරුයායක් හා හේන්යායක් ද තිබේ. මේවා මිනිසුන්ගේ පරිහරණයට ලක්වන ආකාරය සේ ම, ඔවුන්ගේ දුක සැප ඉදිරියේ ස්වභාව ධර්මය දක්වන ප්‍රතිචාරයත් කතුවරයාගේ නිරීක්ෂණයට ලක් වෙයි.

මේ කාලයේ පළවන ස්වතන්ත්‍ර සිංහල නවකතා බොහොමයක ප්‍රධාන දුර්වලතාව ලෙස පෙනී යන්නේ, සාර්ථක කතා වස්තුවක් නොමැතිකම ය. සාර්ථක කතා වස්තුවක් යනු මනාව සිද්ධි ගළපා ගොඩනඟන ලද අපූරු සැකිල්ලකි. නැතහොත් රාමුවකි. ප්‍රකට නවකතාකරුවෝ සාර්ථක කතා වස්තුවක් ගොඩනඟා ගැනීම සඳහා සැලකිය යුතු කාලයක් ගත කරති. නවකතාවේ දුෂ්කරම කාර්යය, කතාවස්තු ගොඩනැඟීම යැයි සමහරු කියති. ගුණසිංහ හෙට්ටිආරච්චි මහතා අඩු වැඩි නැති අපූරු කතා වස්තුවක් ගොඩනඟයි. අපේ කතා කලාවේ හැඩය එහි ඇත. සුළු සිදුවීම් ඔස්සේ චරිත හඳුන්වා දීම, කෙමෙන් ගැටුමක් නිර්මාණය කිරීම, ගැටුමේ උච්ඡතම අවස්ථාව නිරූපණය හා ගැටුම නිරාකරණය යන ක්‍රමවේදය එහි තිබේ. සංස්කෘත නාට්‍යකරුවා ද, පැරැණි ඉංග්‍රීසි නවකතාකරුවා ද කතාවස්තු නිර්මාණය සඳහා මේ ක්‍රමවේදය අනුගමනය කරති.

කුඹල් මැණ්ඩිය නවකතාවේ දී පළමුව පාඨකයා ඉදිරියේ දිගහැරෙන්නේ, වළං කර්මාන්තයෙහි යෙදෙන මිනිසුන්ගේ ජීවන අරගලය පිළිබඳ දර්ශන පෙළකි. දෙවනුව, ඔවුනට බලපාන සූරාකෑම නිරූපණය කෙරේ. තෙවනුව, සූරාකෑමට එරෙහිව ගනු ලබන සාමුහික ප්‍රයත්නය දැක් වේ. සමිතියක් ගොඩනැඟීම, ඊට අදාළ මුදල් ඒකරාශී කිරීම අපූරු සිදුවීම් පෙළකි. ඔව්හු මුදල් ආධාර ලබා ගැනීම සඳහා නාට්‍යයක් රඟදක්වති. නාට්‍යයේ පුහුණුව, පූර්ව ප්‍රචාරණය හා නාට්‍ය රඟදැක්වීම තවත් අපූරු සිදුවීම් පෙළකි. මේ සිද්ධි නිරූපණයේ දී කතුවරයා දක්වන සජීවි බව හා අව්‍යාජ බව, අප විස්මයට පත්කරවන සුලු ය.

ගුණසිංහ හෙට්ටිආරච්චි මහතා අපේ කතා කලාවට හුරු ස්වතන්ත්‍ර ශෛලියක් අනුගමනය කරන බව පෙනෙයි. ඔහු කතාව ඉදිරිපත් කරන්නේ නාටකීය විලාසයකින් ය. විස්තර කිරීම් නැත. රඟදැක්වීම් ඇත. එහෙත් උද්වේගකර අවස්ථා මතු කිරීමෙන් වැළකී සිටී. සංවාදවලට මූලිකත්වය ලබා දෙයි. 2017 මෑන් බූකර් සම්මානය දිනූ මහාචාර්ය ජෝර්ජ් සැන්ඩර්ස් මහතා අප සිහියට නැගේ. ඔහුගේ “ලින්කන් ඉන් ද බ්‍රාඩෝ” කෘතිය ගැන අදහස් දක්වන ඇතැම් විචාරකයකුගේ මතය වන්නේ, එය සිනමා තිරනාටකයකට සමාන බව ය. ඔහු කතා කියන්නේ ද සංවාදවලට මූලිකත්වය දෙමින් ය.

කතුවරයා භාෂා භාවිතය කෙරෙහි දක්වන උනන්දුව දැක්වීම සඳහා, එක ම එක නිදසුනක් දක්වන්නට කැමැත්තෙමු.

“මටත් දීපියව් කො! තොපිම පැළෙන්නෙ!”

(පිටුව 154)

කතාවක යථාර්ථ නිරූපණය සඳහා ද, සජීවි ගුණය රැකගැනීම සඳහා ද භාෂාව භාවිත කරන ආකාරයට ඉහත සංවාදය කදිම උද්ධෘතයකි. “කුඹල් මැණ්ඩිය” රසවත් සේ ම අර්ථවත් නවකතාවකි.


නව අදහස දක්වන්න