නීතිය - මානසික ගැටලු සහ පෙම්වතුන් | දිනමිණ

නීතිය - මානසික ගැටලු සහ පෙම්වතුන්

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය - ධනුෂිකා අබේරත්න

ශ්‍රී ලංකාවේ නීතියට අනුව විවාපත් විය හැකි වයස් සීමාව අවුරුදු 18 ය. නමුත් අවුරුදු 16 ඉක්මවූ තරුණියකට හෝ තරුණයෙකුට තමන් කැමති අයෙකු සමග ලිංගිකව එක් වීමට නීතියෙන් බාධාවක් නොමැත.

ප්‍රසිද්ධ ස්ථානයක හෝ ලැගුම්හලකදී වයස අවුරුදු 16 ඉක්මවූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ නිශ්චිත නීතියක් නොමැති නමුත් ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය නීති කිහිපයක් යොදා ගනු ඇත.

  • 1841 බලාත්මක කෙරුණු පාදඩ ආඥා පනත/ අයාල ආඥා පනත
  • දණ්ඩ නීති සංග්‍රහයේ 350 සහ 352 යන වගන්ති
  • දණ්ඩ නීති සංග්‍රහයේ 261 වගන්තිය

පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාදඩ ආඥා පනත යොදා ගත හැකි දැයි යන්න ප්‍රශ්නයක් වුව ද "මෙය තිබෙන්නේ වීදියේ සැරිසරන ගණිකාවන් හෝ යාචකයන් තව පුද්ගලයන්ට කරදර කරනවා නම් එය වැළැක්වීමටයි.

නමුත් මෙවැනි අයට වඩා පෙම්වතුන් මෙහි ඉලක්ක බවට පත් වීම ප්‍රශ්නයක්," 

ඉහත කී චෝදනා යටතේ පෙම්වතුන් අත්අඩංගුවට ගනු ලැබුවත් අධිකරණයට ඉදිරිපත් නොකර ඔවුන් දෙමව්පියන් වෙත භාර දීමට හෝ සමථයකට ඒමට පොලිසිය බොහෝ අවස්ථාවල කටයුතු කරනු ඇත.

ඔබගේ අයිතීන් මොනවාද ?

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පුරවැසියන් සතු මූලික අයිතිවාසිකම් 14 කි.

ඕනෑ ම පුද්ගලයෙකුට ඕනෑ ම ස්ථානයක ගැවසීමට ඇති අයිතිය එනම් යාමේ ඒමේ නිදහස ඉන් එකකි.

"හැබැයි එහෙම කියලා යම් ස්ථානයක 'අශෝභනව' ලෙස හැසිරෙනවා නම් හෝ ලිංගික කර්තව්‍යක යෙදෙන්නේ නම් එවැනි අවස්ථාවක ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකියි,"

"එහෙත් අදටත් 'අශෝභන ලෙස' හෝ 'අසංවර ලෙස' කියන දේ කිසි ම ස්ථානයක අර්ථ නිරූපණය වී නැහැ. අඩු ම තරමේ පාදඩ ආඥා පනත හෝ අයාල ආඥා පනතෙවත් එය අර්ථ නිරූපණය කර නැහැ"

"නඩු තීන්දුවක් දක්වා දුර ගිහින් නැති නිසා අධිකරණයේවත් මේ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් නැහැ," 

නිර්දෝෂීභාවය ඔප්පු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද ?

තමන් ප්‍රසිද්ධ ස්ථානයක "අශෝභන" ලෙස හැසිරී නොමැති නම් අත්අඩංගුවට ගැනීමට එරෙහි වීමට අයිතියක් ඇත. "එසේ නැති නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට අත්තනෝමතිකව සිර භාරයට ගැනීමක්. ඊට එරෙහිව නැගී සිටීමට තමන්ට අයිතිවාසිකමක් තිබේ," 

ඉන් නොනැවතී පොලිසිය වෙත රැගෙන යන්නේ නම් පැමිණිල්ල ලිවීමට පෙර සිය නිර්දෝෂීභාවය ඔප්පු කළ හැකි බවත් එසේ නොමැති විටක මූලික අයිතිවාසිකම් කඩ වීමේ නඩුවක් දක්වා දුරකට යා හැක.

"අශෝභන අයුරින් හැසිරුණු" බවට චෝදනා කරමින් පෙම්වතුන් පිරිස් වශයෙන් අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවකදී තමන් "මහ ජනතාවට කරදරයක් කර නොමැති නම් හෝ අශෝභන අයුරින් හැසිරී නොමැති නම්" ඊට එරෙහිව නැගී සිටීමට අයිතියක් ඇත.

"අශෝභනව හැසිරී නැති නම් රංචු පිටින් අත්අඩංගුවට ගන්න කිසි ම නීතිමය ප්‍රතිපාදනයක් නැහැ. නමුත් ප්‍රශ්නය තියෙන්නේ එවැනි අවස්ථාකදී කිසි ම කෙනෙක් ඊට විරුද්ධ වෙන්නේ නැහැ,"

"විවාහ විය යුතු වයස අවුරුදු 18 කියලා අපේ නීතියේ තියෙනවා. හැබැයි ආදරය කරන්න පටන් ගත යුතු නිසි වසරක් දීලා නැහැ. ඒක හැඟීමක්. අවුරුදු 18 වෙනකම් ආදරය කරන්න බැහැ කියලා කොතැනකවත් සඳහනක් නැහැ,"

කෙසේ නමුත් පාසල් වැනි ආයතන තුළ ඒ සම්බන්ධයෙන් විනය පද්ධතියක් තිබිය හැක.

පෙම්වතුන්ට එළිමහනේ ගැවසීමට ඇති නිදහස සීමා කිරීමේ අවසන් ප්‍රතිඵලය "කාමරයකින් අවසන් විය හැකි" බව නීතිවේදිනී ධනුෂිකා අබේරත්නගේ අදහසය.

(උපුටා ගැනීමකි)

නව අදහස දක්වන්න