යෞවනය කොයිබට ද? | දිනමිණ

යෞවනය කොයිබට ද?

අපට අසන්නට හා දකින්නට ලැබෙන්නේ යෞවනය කුල්මත් කරවන සටන් පාඨ හා දර්ශන ය. ඒවායින් කියැවෙන්නේ යෞවනයාගේ අනාගතය සන්තෘප්ත කරන වැඩසටහන් ගැන ය. ආදරය, විවාහය, රැකියාව, වින්දනය සම්බන්ධයෙන් යෞවන සමාජ ආකර්ෂණය කර ගැනීමට විවිධ ආයතන හා සංවිධාන උත්සුක වෙති. ඒ අතර රජය ද යෞවනයන් උදෙසා වූ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. මේ අනුව ඇත්තට ම ශ්‍රී ලංකාවේ යෞවනයා සුරක්ෂිත ද? ඔහුට යහපත් අනාගතයක් තිබේ ද? මේ සම්බන්ධයෙන් සංවාදයක් ඇතිකිරීමට හොඳම දිනය අද යැයි සිතන්නට පුළුවන.

වැලන්ටයින් දිනය හෙවත් ආදරවන්තයන්ගේ දිනය අදට යෙදී තිබේ. මීට අදාළ ඉතිහාස කතා අද විවිධ මාධ්‍ය ඔස්සේ විග්‍රහයට හා විවරණයට ලක්වනු ඇත. එබැවින් ඉතිහාස කතා අමතක කර දමන්නට අපි තීන්දු කළෙමු. ඒ වෙනුවට යෞවනයා හා සමාජ යථාර්ථය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් දක්වන්නට අද මේ තීරය වෙන් කරනු ලැබේ. අද යෞවනයා හෙට ලෝකය භාරගන්නා මහා පුරවැසියා ය. එම පුරවැසියාට ශක්තිමත් ආර්ථිකයක් තිබිය යුතුය. ජීවත්වීම සඳහා නිදහස් වටපිටාවක් තිබිය යුතුය. ජීවිතය විඳීමට අවස්ථාවක් ද තිබිය යුතුය.

ලෝකය වෙනස් කරනු ලබන්නේ ආර්ථිකය හා දේශපාලනය විසින් යැයි කතාවක් තිබේ. ආර්ථිකය හා දේශපාලනය සමපාත වන විෂයයන් දෙකකි. මේ අතර සමාජය වෙනස් කරනු ලබන්නේ අධ්‍යාපනය හා ආර්ථිකය විසින් යැයි තවත් කතාවක් තිබේ. නව සමාජ පන්ති බිහිවන්නේ ද අධ්‍යාපනය හා ආර්ථිකය පදනම් කරගෙනය. අධ්‍යාපනයට අවස්ථා තිබිය යුතුය. පහසුකම් හා ඉඩ ප්‍රස්ථා තිබිය යුතුය. ආර්ථිකයට සහභාගිවීමේ හැකියාව තිබිය යුතුය. එලෙස ම ආර්ථිකය තුළ බලපෑම්කාරී පුද්ගලයකු වීමට අවස්ථාව ද තිබිය යුතුය. මේවා අපේ යෞවනයන් හා ගළපාගත ‍හැක්කේ කෙසේද යන්න සොයා බැලිය යුතුය.

රෝස මලක් හා කවියක් තිබූ පමණින් ආදරය සම්පූර්ණ වන්නේ නැත. මල් උයන්, ලියගොමු, දිය දහරා ආදරයේ චමත්කාරය දෙගුණ - තෙගුණ කරන්නට පුළුවන. එහෙත් ආදරයේ හා විවාහයේ පැවැත්මට ඒවායින් ලැබෙන දෙයක් නැත. ආදරය හා විවාහය ස්ථාවර වන්නේ ආර්ථිකය සවිමත් නම්; පමණි. ආර්ථිකය ශක්තිමත් වීමට නම්; සාර්ථක ජීවනෝපාය මාර්ග තිබිය යුතුය. යෞවනයා සාර්ථක වෘත්තියක් සඳහා යොමුකළ හැක්කේ කෙසේ ද? ඔහුට මූලික අධ්‍යාපනයක් තිබිය යුතුය. දෙවනුව වෘත්තීය අධ්‍යාපනයක් තිබිය යුතුය. තෙවනුව ඔහු සමාජානුගත දක්ෂ පුද්ගලයකු විය යුතුය. මේ ආකාරයේ පරිපූර්ණ යෞවනයකු බිහිකරන ආකාරය ගැන සියලුදෙනාගේ අධානය යොමුවිය යුතුව තිබේ.

ශ්‍රී ලංකාවේ නූතන යෞවනය දෙස බලන විට සතුටුවිය හැකි කරුණු මෙන්ම කනගාටු විය හැකි කරුණු ද තිබේ. ආදරය වෙනුවෙන් හඬා වැටෙන හා ඒ වෙනුවෙන් දිවිනසා ගන්නා පරපුරක් අපට සිටිති. අනෙක් පැත්තෙන් බලන විට ආදරය වෙනුවෙන් මිනී මරාගන්නා යෞවනයෝ ද අපට සිටිති. සිය ආදරවන්තිය ඝාතනය කරන යෞවනයෝ ද අපේ රටේ සිටිති. මෙබඳු අය සමඟ ආදරවන්තයන්ගේ දිනය සමරන්නේ කෙසේද යනු ගැටලුවෙකි. යෞවනයට අවශ්‍ය උපදේශන ලැබී නැත. යෞවනයට අවශ්‍ය පහසුකම් හා පසුබිම ලැබී නැත. මේ නිසා ඔව්හු අයාලේ යති. ඇතැම් විට ජීවිත විනාශ කර ගනිති. මෙය බලවත් අපරාධයෙකි. මේ අපරාධය සිදුවීමට ඇති ඉඩ ප්‍රස්ථා වැළැක්වීම රටේ බලධාරීන්ගේ යුතුකම හා වගකීම වෙයි.

ශ්‍රී ලංකාවේ ජනගහනය හා එහි සංයුතිය ගතහොත් සමාජ ප්‍රශ්නයක් බවට පත් වී ඇත්තේ වැඩිහිටි ජනගහනය යැයි කිව හැකිය. වැඩිහිටි ජනගහනයේ ශීඝ්‍ර වර්ධනය සමාජ අර්බුදයක් බවට පත් වී ඇතැ’යි ඇතැම් විශේෂඥයෝ පෙන්වා දෙති. වැඩිහිටි ජනගහනය ලෙස සලකනු ලබනුයේ අවුරුදු හැටට වැඩි පිරිස් ය. එලෙස හැටට වැඩි ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වන බව ද ඊළඟ වර්ෂ කිහිපය තුළදී එය මුළු ජනගහනයෙන් 18% දක්වා වර්ධනය වන බව ද පුරෝකථනය වී ඇත. මේ වැඩිහිටි ජනගහනය පිළිබඳ ප්‍රශ්නයට මුහුණදිය යුත්තේ ද යෞවන ජනගහනය යැයි කිව යුතුය. ඔවුන් ඉදිරියේ ඇති අභියෝගයක් ලෙස එය සැලැකිය හැකි ය.

මීට දසක තුනකට පෙර යෞවනය හා තාරුණ්‍යය ගැන සංවාද කළ විශේෂඥයෝ විශේෂ මාතෘකා දෙකක් සභාවට ගෙන ආවෝය. එනම්; තරුණ අසහනය හා තරුණ විරැකියාව යන ගැටලු දෙක ය. මෙය රටේ බරපතළ ප්‍රශ්නයක් වූ බව ඉතා පැහැදිලි අතර ප්‍රසිද්ධ විභාගවල රචනා මාතෘකා දෙකක් ලෙස ද ඒවා පැවැතිණි. තරුණ අසහනය පුපුරා ගියේ උතුරේ ත්‍රස්තවාදයෙන් හා දකුණේ අරගල දෙකකින් යැයි ද සමහරු පෙන්වා‍ දෙති. මේ සියල්ල සමාලෝචනය කරන විට පෙනී යන්නේ රටක පාලකයන් යෞවන පරපුර ගැන මහත් අවධානයකින් පසුවෙමින් ඔවුන්ගේ ජීවිත හා අනාගතය ගැන සොයා බැලිය යුතු බව ය. අද යෞවනයන් වෙනුවෙන් බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. ඒවා බොහෝවිට සංවිධානගත වී ඇත්තේ යෞවනයාගේ ආර්ථිකය කෙරෙහි බලපෑම් කිරීමටය. එහෙත් ඔහුගේ සදාචාරය, ඔහුගේ පරිපූර්ණත්වය ගැන සොයා බලන වැඩසටහන් නැති ගණන ය.

නූතන යොවුන් පරපුර තාක්ෂණය අතින් මෙන් ම දැනුම අතින් ද බොහෝ ඉදිරියට ගොස් සිටිති. ඉන්දියාවේ හෝ අමෙරිකාවේ හෝ තරුණයකු තරමටම ඒ අතින් අපේ තරුණයා දක්ෂ ය. එහෙත් තාක්ෂණයෙන් පමණක් මිනිසා පරිපූර්ණ වන්නේ නැත. ඔහු මනුෂ්‍යයකු වන්නේ තවත් හේතු - සාධක හා නිපුණතා රැසක් සමඟය. ඒ ගැන සොයා බලන්නට අපේ තරුණ පරපුර මෙන් ම වැඩිහිටි පරපුර ද අවධානය යොමු කරත්වා!

 


නව අදහස දක්වන්න