ලෝක ක්‍රිකට් පිටිය සීතල කළ ‘කැප්ටන් කූල්’ | දිනමිණ

ලෝක ක්‍රිකට් පිටිය සීතල කළ ‘කැප්ටන් කූල්’

වසර 1996දි මෙරට ක්‍රිකට් වංශ කතාව අලුතින් ලියා තැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූයේ අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේය. එවකට ලොව නොම්මර එකේ ක්‍රිකට් පිල බවට පත්වී සිටි ඔස්ට්‍රේලියාව පරාජය කරමින් පාකිස්තානයේ ලාහෝර් නුවරදී අර්ජුන රණතුංග ලෝක එක්දින ක්‍රිකට් කුසලානය සියතට ගෙන ජයග්‍රහණය වෙනුවෙන් උරදුන් සෙසු ක්‍රීඩකයන්ට එය බාරදෙමින් ජයග්‍රහණයේ සතුට බෙදා හදා ගත්තේය. ‘කැප්ටන් කූල්’ නමින් ජාත්‍යන්තර පිටියේ ගෞරවාදරයට පාත්‍රවූ මේ නිහතමානී ක්‍රිකට් නායකයාට එවැනි පසුබිමක් නිර්මාණය වූයේ පාසල් වියේ සිටම එවැනි මහත්මා ගුණාංගවලින් ජීවිතය හැඩගස්වා ගැනීමට ලැබුණු ආභාෂයෙනි.

ක්‍රිකට් ක්‍රීඩාව යනු ශ්‍රී ලාංකේය ජනතාවට ආගමක් බඳු ක්‍රීඩාවක් බව ඊයේ පෙරේදා යළි යළිත් කියා සිටි මේ විශිෂ්ට ක්‍රිකට් නායකයා වර්තමානයේදී ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස භාරදූර රාජකාරියක නිරතව සිටී. එසේ වුවත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් නිරතුරුවම ඇපකැපවී ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අදාළ පාර්ශ්ව නිවැරැදි මාර්ගයේ ගමන් කරවීමට දැඩි උත්සාහයක ද නිරතව සිටී.

වසර 2000 අගෝස්තුවේ දකුණු අප්‍රිකාව සමග එස්.එස්.සී.පිටියේ පැවැති ටෙස්ට් තරගයෙන් ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගනිද්දී ටෙස්ට් තරග 93කට ක්‍රීඩා කරමින් ලකුණු 5105ක් ද, එක්දින තරග 269කට ක්‍රීඩා කරමින් ලකුණු 7456ක් ද රැස් කර සිටි අර්ජුන රණතුංග පන්දු යවන්නකු ලෙසත් දස්කම් පාමින් ටෙස්ට් කඩුලු 16කටත්, එක්දින කඩුලු 79කටත් හිමිකම් කීවේය.

ක්‍රීඩාවෙන් සමුගනිද්දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයකුට ලැබිය හැකි ඉහළම කීර්තියත්, ගෞරවයත් දිනා සිටි අර්ජුන ආනන්දයේ දීප්තිමත් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දෙවතාවක්ම දිනාගැනීමට සමත්විය. ඔහු 1980දීත්, 1982දිත් මේ ගෞරවනීය සම්මානය දෝතට ගත්තේ එවැනි වාර්තාවක් තැබූ පළමු ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

අදූරදර්ශී ක්‍රිකට් පරිපාලනයකින් ක්‍රීඩාව පරිහානිය කරා ගමන් කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩකයන් සහ නිලධාරින් දූෂණ වංචාවලට නැඹුරුවූ බවත් ඔහුගේ අදහස වී ඇත. මේ සියළු බාධක දුරු කරමින් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව නැවත ඉහළට ඔසවා තැබීමට සියළු බලාපොරොත්තු පොදි බඳින අර්ජුන රණතුංග මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ස්වර්ණමය යුගයක් කරා ගෙන යා හැකි බවට තරයේම විශ්වාස කරයි.

ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දෙවතාවක්ම දිනාගනිමින් පාසල් ක්‍රීඩකයකු ලෙස ජාතික කණ්ඩායමට එක්වූ එවකට 19 හැවිරිදි වියෙහි පසුවූ අර්ජුන ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ ගෞරවය අත්කරගත්තේය. ඉන් නොනැවතී එංගලන්තය සමග පැවැති මංගල ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් සියළු ගෞරව අත්කර ගත්තේය.

දශක 4ක ඔබ්සර්වර් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන ඉතිහාසයේ කිසිදිනෙක නොබිඳෙන අසමසම වාර්තාවක් අර්ජුන රණතුංග තබා ඇති බව දන්නේ අතලොස්සකි. එනම් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඔබ්සර්වර් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් දෙවැනි වතාවට 1982දී පිදුම් ලබද්දී අර්ජුන රණතුංග ජාතික ටෙස්ට් කණ්ඩායමේ සාමාජිකයකු වී සිටීමය. ඒ අනුව ටෙස්ට් පිතිකරුවකු ලෙස ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගත් පළමු හා එකම පාසල් ක්‍රීඩකයා ලෙස අර්ජුන රණතුංග තැබුවේ කිසිදින නොබිඳෙන ඓතිහාසික වාර්තාවකි. එය ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ සංවිධායකයන් ලෙස ලේක්හවුස් ආයතනයටත්, අර්ජුන රණතුංග නමැති සුවිශේෂී ක්‍රිකට් ක්‍රීඩකයා බිහිකළ ආනන්ද විදුහලටත් එක ලෙස ආඩම්බර විය හැකි සිදුවීමකි.

1982 පෙබරවාරි මස 17 වැනිදා සිට 21 දක්වා එංගලන්ත පිල සමග කොළඹ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කිරීමට අර්ජුන පිටියට පිවිසෙද්දී ශ්‍රී ලංකා පිලේ කඩුලු 4ක්ම බිඳ වැටී තිබුණේ ලකුණු 34කටය. නායක බන්දුල වර්ණපුර, සිදත් වෙත්තමුණි, රෝයි ඩයස් සහ දුලිප් මෙන්ඩිස් වැනි ප්‍රබල පිතිකරුවන් සිවුදෙනාම ඒ වනවිට ක්‍රීඩාගාරයට ගොස් සිටියේය.

අර්ජුන සිය මංගල ටෙස්ට් ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට යද්දී අනික් පස සිටියේ 1979 වසරේ පැවැති ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා මංගල සම්මාන උළෙලේ කුසලානයට හිමිකම් කී රන්ජන් මඩුගල්ලය. 1980 දෙවැනි සම්මානය උළෙලේදී කුසලානයට හිමිකම් කී අර්ජුන ඔහු සමග එක්වී ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට පටන් ගත්තේය.

ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ මේ පිතිකරුවන් දෙදෙනා එවකට එංගලන්ත පිලේ සිටි ලෝක පුජිත වේගපන්දු යවන්නන් වන බොබ් විලිස්, ඉයන් බෝතම් ඇතුළු පන්දු යවන්නන් හමුවේ නොබියව පිත්ත හසුරුවමින් පස්වැනි කඩුල්ලට ලකුණු 99ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූයේ වාර්තාගත අර්ධ ශතක දෙකකට හිමිකම් කියමිනි. එදා තරගයේදී රන්ජන් මඩුගල්ල ලකුණු 65ක් රැස් කිරීමට සමත්වූවත් ඔහුගේ අර්ධ ශතකයට පෙර සිය අර්ධ ශතකය රැස් කළ අර්ජුන රණතුංග ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ අර්ධ ශතකයක් රැස් කළ පළමු පිතිකරුවා ලෙස වාර්තාපොතට එක්විය.

ආනන්ද විදුහල, එස්.එස්.සි. ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙහෙයවීමේ ගෞරවය දිනාගත් අර්ජුන රණතුංගගේ නායකත්වය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රවීණ විචාරකයන්ගේ මෙන්ම ක්‍රීඩකයන්ගේ ද ගෞරවයට පාත්‍ර වූ එකකි. ඔහු 1996 වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේ දී කාසිය වාසිය දිනාගත්තේය. ඒ වනවිට පැවැති ලෝක කුසලාන තරගාවලි 5දීම ශූරයන් වූයේ පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායමය.

ලකුණු හඹා ගිය කණ්ඩායම්වලට අත්වූයේ පරාජයේ වේදනාවය. එහෙත් තමා ඉතිහාසය පසුපස දුවන මිනිසකු නොවන බව කී අර්ජුන රණතුංග එදා ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරවමින් පන්දුවට පහරදීමේ වාරය ඔස්ට්‍රේලියාවට පිරිනැමුවේය. මුලු ක්‍රිකට් ලෝකයම විමතියට පත් කරමින් එදා අර්ජුන රණතුංග ගත් තීරණය නිවැරැදි බව පසුව තහවුරු විය. ඔහු තම කණ්ඩායම ගැන පැහැදිලි අවබෝධයක් සහිත නායකයකු විය. ඔහු සිය ක්‍රීඩකයන් කෙරෙහි විශ්වාසය තැබුවේය. ඒ වනවිට ඔහු ඇතුළුව ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනූ ක්‍රීඩකයන් 6ක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටියහ. රොෂාන් මහනාම (1983-1984), අසංක ගුරුසිංහ (1985), කුමාර් ධර්මසේන (1989), මාවන් අතපත්තු (1990) සහ මුත්තයියා මුරලිදරන් (1991) ඒ අතර සිටියහ. මීට අමතරව ලෝක කුසලාන තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත්වූ සනත් ජයසූරිය 1988 දී ඔබ්සර්වර් පිටපළාත් වසරේ පාසල් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබා තිබිණි.

-ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න