2005-2015 යාපනයේ හිරිහැරයට පත් මාධ්‍යවේදීන්ට සහන | දිනමිණ

2005-2015 යාපනයේ හිරිහැරයට පත් මාධ්‍යවේදීන්ට සහන

ජයසිරි මුණසිංහ යාපනය සිට

වසර 2005-2015 දක්වා කාල සීමාවේ විවිධ හිරිහැරයන්ට පත් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම හා වන්දි ලබා දීම පිළිබඳ රජයට කරුණු නිර්දේශ කිරීමට පත්කළ ඉහළ පෙලේ නිලධාරී කමිටුව ඊයේ (13) උදේ යාපනය දිස්ත්‍රික් ලේකම් එන්.වෙදනායක හා කමිටුවේ සභාපතිනී හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් යාපන දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේ දී රැස් විය.

යාපන දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේ පැවැති මෙම කමිටු රැස්වීමට උතුරේ ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයෝ , ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් , ආරක්ෂ අංශ ප්‍රධානීහු එක්ව සිටියහ.

එහිදී සිය කමිටුවේ අරමුණ පැහැදිලි කළ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සහ කමිටු සභාපති තිලකා ජයසුන්දර මහත්මිය ,

වසර 2005- 2015 කාලසීමාවේ රටපුරා විවිධ හිරිහැරයට පත් වූ ජනමාධ්‍යවේදීන්ට සහන සැලසීම පිළිබඳ සොයා බලා වන්දි ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඇමැති මණ්ඩලයට ගෙන ආ යෝජනාවට එහි අනුමැතිය ලැබුණා. ඒ අනුව අනු කමිටුවක් පත් කලා. ඒ අනුව ඇමැති අනු කමිටුවේ ප්‍රධානී මංගල සමරවීර මහතාගේ උපදෙස් මත නිලධාරී කමිටුවක් පත් කළා. මේ කටයුත්ත ඉතා ඉක්මනින් සොයා බලා හිරිහැරයට පත් මාධ්‍යවේදීන්ට සහන ලබා දීම අපේ අරමුණ යි. ඒ අනුව අපි අද යාපනයේ ඔබේ නියෝජිතයන්ව පිළීබඳ තොරතුරු ලබා ගැනීමට අපේක්ෂා කරනවා. ඒ තොරතුරු අප වෙත ලබා දීමට ඔබ දක්වන උනන්දුව සහයෝගය ඉතාම අගය කරනවා. අපි ඔබේ තොරතුරු මත ස්ථානීය පරීක්ෂණ , විපතට පත් අයගේ ඥාතීන්ගේ අදහස් මත වන්දි ලබා දීමට නිර්දේශ ඇතුලත් වාර්තාව මාස එකහමාරක් ඇතුලත රජයට ඇමැති මණ්ඩලයට ලබා දීමට කටයුතු කරනවා.

අද ආරම්භ කල මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට යාපන දිස්ත්‍රික් ලේකම් හිතවත් එන්. වෙදනායගම් මහතා දක්වන උනන්දුව , සහයෝගය විශිෂ්ඨ යි. ඒවාගේම යාපනයේ මාධ්‍ය සංවිධාන වල , මාධ්‍ය ආයතන වල ක්‍රියාකාරී පිරිස් දක්වන උනන්දුව , කැමැත්ත ඉතාම අගය කරනවා. අප සමග ශ්‍රී ලංකා පොලීසිය , ශ්‍රී ලංකා යුධ හමුදාව , ඉහළ පෙලේ නිලධාරීහු එක්ව සිටිනවා. ඔවුන් මේ කටයුත්තට උපරිම සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී සිටිනවා.

අපේ අපේක්ෂාව ඉක්මනින් ඔබට මේ සහන ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම යි.

යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. ‍වෙදනායගම් මහතා ,

මෙවැනි වැඩපිළිවෙලක් ආරම්භ කිරීම ඉකාම වටිනවා. අපි මෙය වේගවත්ව ක්‍රියාවට නැංවීමට කමිටුවට අවශ්‍ය තොරතුරු හා අදහස් ලබා දෙන්න ඕනේ.

යාපන මාධ්‍ය සංගමය “ උදයන් “ පුවත්පතේහිටපු ප්‍රධාන කර්තෘ හා වර්තමාන කර්තෘවරයා ඇතුළු මාධ්‍ය නියෝජිතයෝ මෙහිදී සඳහන් කළේ මේ වන්දි ලබා දීම , මේ හිරිහැරයට පත් වූ අය වෙනුවන් කරන අවසාන විසඳුම නොවිය යුතු බවයි. මෙම වන්දි ලබා දීමට අමතරව මේ විපතට පත්වූවන්ට යුක්තිය සාධාරණය ඉටු විය යුතු යි.

අපි මේ කටයුත්තට ඉතාම ඉහළ සහයෝගයක් ලබා දෙනවා. අපි අපේ තොරතුරු සති දෙකක් තුල ලබා දෙනවා. කමිටුවට අවශ්‍ය උතුරේ දිස්ත්‍රික් පහේම තොරතුර ලබා දෙන්න පුළුවන් යැයි කීය.

විපතට පත් වූවන් පිළිබඳ සොයා බැලෙන නිලධාරී කමිටුව අද (14) හෙට (15) මන්නාරම , වව්නියාව , මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්ක වලද දිස්ත්‍රික් ලේකම්වරු හා මාධ්‍ය ආයතන නියෝජිකයෝ සමඟ කරුණු සාකච්ඡා කිරීමට නියමිත ය.

නව අදහස දක්වන්න