අඳුර නසන්නට | දිනමිණ

අඳුර නසන්නට

රුහුණු විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - ඩබ්ලිව්.ඒ.ආර්. ද මෙල්

අවිචාරමත් බව අවිද්‍යාත්මක බවට ප්‍රතිරෝදයක් ලෙස ගොඩනැඟුන නව ව්‍යාපාරයකි ජාතික විද්‍යා සංගමය එවැනි වැඩපිළිවෙළක අවශ්‍යතාව හා ජාතික අපේක්ෂා පිළිබඳව අදහස් දක්වන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්. ද මෙල් මහතායි (ජාතික ද්‍යා සංගමයේ අධ්‍යාපන කමිටු සාමාජික)

රටට ජාතික විද්‍යා සංගමයක අවශ්‍යතාව දැනෙන්න හේතුව ‍මොකක්ද?

‍අපේ රටේ විවිධ ක්ෂේත්‍රවල ඇතිවී තිබෙන පසුගාමීත්වය, නොමනා ක්‍රියා, දුර්වලතා, නාස්තිය, දූෂණය, වංචාව වගේ දුර්ගුණ පරිපාලන හා ක්‍රියාපිළිවෙළ නිසා රට අගාධයට වැටෙමින් තිබීම මෙයට මූලික හේතුවයි. රටේ වගකිව යුතු පුද්ගලයන් ඇස, කණ පියාගෙන සිටින තත්ත්වයට පත්වුණොත් මේ කාරණා සංකීර්ණ වීමට ඉඩ තිබෙනවා. රට ජාතිය වැනසීමටත් වඳවී යාමටත් බලපානු ඇතැයි සිතිය හැකි වැඩපිළිවෙළක් තිබේ නම් එය මැඩලීමට රටේ එකමුතුවක් තිබිය යුතුයි. ඒ සඳහා රටේ වගකිවයුත්තන් පමණක් නොවෙයි රටේ පුරවැසි ජනතාවගේ ඒකාද්මික සහයෝගීතාවය අවශ්‍ය වනවා. එමඟින් සමාජයට දෙන හඬ පමණක් නොවෙයි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය තුළින් රට ජාතිය නඟා සිටුවන්න හැකියාව තිබෙනවා.

මේ කාරණය අවබෝධකර ගත් රටේ වගකිවයුතු පිරිසක් එක්ව හදපු සංගමයක් තමයි මේ ජාතික විද්‍යා සංගමය. මෙය රටේ දේශපාලනඥයින්ට බලපෑමක් ඇති කළ හැකි අන්දමේ වැඩපිළිවෙළක්. ඔවුන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි කෙදිනකවත් ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. බොහෝ දුරට අඩපණ වනවා. නමුත් ජාතික සංගමයේ අප ඉදිරිපත් කරන වැඩපිළිවෙළ ප්‍රායෝගීකත්වයට ඉතා ආසන්නයි. මෙවැන්නක අවශ්‍යතාවය තිබුණත් කිසිවකු ඒ සඳහා ඉදිරිපත් නොවීම නිසා අපි රටක් ජාතියක් වශයෙන් පිරිහීමට අසාර්ථකත්වයට පත් වූ තැන් පමණක් නවත්වා ගැනීමට අවස්ථාව උදා කර ගන්න තිබුණු බව මම විශ්වාස කරනවා.

මේ සංගමය ගොඩනැඟෙන්නෙ කොහොමද?

රටේ බුද්ධිමතුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, වෘත්තිකයන් ඒකරාශී වෙලා ගොඩ නඟපු මේ ජාතික විද්‍යා සංගමය තෝරාගත් ක්ෂෙත්‍ර 10 ක් යටතේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ආර්ථික, සෞඛ්‍ය, කෘෂිකර්ම, ප්‍රවාහන, ජාතිය ගොඩ නැඟීම, නීතිමය අංශය, කලාව හා සංස්කෘතිය වගේ ක්ෂෙත්‍ර තෝරාගෙන කමිටු පත් කොට තිබෙනවා. උදාහරණයක් ලෙස කෘෂිකර්මය විෂය ක්ෂේත්‍රය රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය සී.එම්.අබේවික්‍රම මහතා, රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය උපාලි පන්නිල මහතා ප්‍රවාහන කමිටුවද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වානිජ අංශයේ ජෙෂ්ඨ කථිකාචාර්ය අනිල් ලියනගේ මහතා ආර්ථික අංශයද වශයෙන් තෝරාගත් ක්ෂෙත්‍ර පාලනය කිරීම සඳහා විද්වතුන්ගේ නායකත්වය යොදා ගෙන තිබෙනවා. මේ සඳහා විද්වතුන් දහසක් පමණ තෝරා ගැනෙන්නේ මේ රටේ විශිෂ්ට අධ්‍යාපනයේ බුද්ධිමත් සාරය රටේ ගොඩනැගීම වෙනුවෙන් යොදා ගැනීම වෙනුවෙනුයි.

අප සංගමය හරහා නගා සිටුවිය යුතු ක්ෂේත්‍රවලට දිගු හා කෙටි කාලීන විසඳුම් සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනවා. දැන් අපේ කාලය අවසන්. අනාගත පරම්පරාවේ සුරක්ෂිතතාවය සඳහා අපි ක්‍රියාත්මක විය යුතුයි. ජාතික විද්‍යා සංගමය ගොඩනැගෙන්නේ ඒ විදියටයි.

රටේ පිරිහි තිබෙන ක්ෂේත්‍ර සහ ඒවා නිවැරැදි කිරීමට සංගමය අපේක්ෂා කරන ක්‍රියා මාර්ග මොනවද ?

බලන හැම ක්ෂේත්‍රයක්ම පිරිහීමට ලක්වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය. මම හිතන විදියට අපේ රටේ අධ්‍යාපනය සහ ආර්ථික ප්‍රතිපත්තිය එකිනෙකට සම්බන්ධ විය යුතුයි. එම ක්ෂේත්‍ර සඳහා පත්කරන ඇමැතිවරු දෙදෙනා අතර මනා ගැලපීමක්, සම්බන්ධතාවයක් තිබිය යුතුයි. ක්ෂේත්‍ර දෙක අතර පවතින සමානතා අසමානතා සියල්ල කතිකා කර විසඳා ගැනීමට සම්බන්ධතාවයක් තිබිය යුතුයි. ඒ වගේම සෞඛ්‍ය-අධ්‍යාපනය, සෞඛ්‍ය-ආර්ථිකය වගේ ක්ෂේත්‍ර අතර සම්බන්ධතාවයක් තිබිය යුතුයි. මේ තත්ත්වය වෙනස් විය යුතුයි.

සංගමයේ අදහස අනුව අපේ රටේ ඇතිවිය යුතු අධ්‍යාපන වැඩපිළිවෙළ හරහා දරුවන්ගේ අනාගතය සාර්ථකත්වය සඳහා යොමු කරන්නේ කෙසේද?

අපි මුලින්ම පටන් ගත්තොත් පෙරපාසල් අධ්‍යාපනය ගැන කතා කරමු. අපේ රටේ පෙරපාසල් අධ්‍යාපනය විධිමත් නැහැ. හරිම අවිධිමත්. අපිළිවෙළයි. තමන් කැමැති කැමැති තැන පෙරපාසල් ආරම්භ කරලා තියනව. රටේ ප්‍රාථමික අධ්‍යාපනය තමයි හරියාකාරව කෙරෙන්න ඕනෑ. මොකද මුල වැරදුනොත් අවසානයත් වැරදෙනවා.

පෙර පාසල් අධ්‍යාපනය හරහා දරුවන්ට දිය යුතු අධ්‍යාපනය මොකක්ද?

නිසි ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුයි. පෙර පාසල් පවත්වාගෙන යාමට අවැසි නීති රෙගුලාසි පනවා සුදුසු උපදේශකවරුන් ඒ සඳහා යෙදවීම අනිවාර්ය කළ යුතුයි. දරුවන්ගේ මනස කුඩා කාලයේදීම හැදෙන ආකාරය අනුව පාසලේ දක්ෂ, යහ සිසු පරපුරක් බිහි කෙරෙනවා. විශ්වවිද්‍යාලයක දේශනයක් දෙස බැලුවොත් සිසුන් 200ක් පමණ තැනින් තැන නිදි කිරා වැටෙනවා. මොකක්ද හේතුව?

ඔවුන් තරගකාරී අධ්‍යාපන රටාව අනුව කුඩා කාලයේ සිටම හෙම්බත් වෙලා. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කරද්දී දරුවන් බාගෙට නැහිලා. විශ්ව විද්‍යාලයට පැමිණි පසු දෙමාපියන් සහෝදරයන්ගෙන් වෙන්වෙලා යනවා. ඔවුන්ගේ මානසික මට්ටම අන්තිම අයහපත්. මේ අභියෝග මැද්දේ කරට කර අධ්‍යාපන අභියෝග ජය ගැනීම තමයි සිසුන්ට තියන අසීරුම කර්තව්‍ය. ඛේදවාචකට කියන්නේ මෙහෙම ඉගෙන ගෙන අවසානයේ අවුරුදු ගණන් නිවසේ දුක්විඳින අපේ අනාගත පරපුර ඊළඟට මුහුණ දෙන්නේ රැකියා ප්‍රශ්නයට. වසය අවුරුදු 35 පැනලා රැකියාවකුත් හොයාගෙන විවාහ වෙද්දී අවුරුදු හතලිහට කිට්ටුයි. ඊට පස්සේ ගැහැනු දරුවන්ට නම් ගැබ්බර වීමේ දී ගැටලු. ජාතියක් වශයෙන් අපිට දරුවන් බිහි කරගන්නවත් ඉඩක් මේ අධ්‍යාපන ක්‍රමයෙන් ලැබෙන්නේ නැහැ.

මේ ප්‍රශ්න සමාජ ප්‍රශ්න බවට පත්වෙලා හමාරයි. සංවර්ධනය වෙමින් පවතින රටක මෙවැනි ගැටලු රාශියක් ඇතිවනවා තමයි. නමුත් එය අවම මට්ටමේ තබා ගන්නවත් අපි මේ වෙලාවේ නැගී සිටිය යුතුයි. මේ ගැටලු මර්දනය කිරීමට මූලික අඩිතාලම දාන්න වෙන්නේ මේ වගේ නැගී සිටීමකින් පමණයි. දැන් බලන්න අධ්‍යාපන ක්ෂෙත්‍රයේ පිරිහීම අන්තිමට සමාජ ප්‍රශ්නයක් වූ ආකාරය. මේ අනුව රටේ සෑම ක්ෂෙත්‍රයක්ම එකිනෙකට බද්ධ වෙලයි තියෙන්නේ.

මෙය ජනතාව අතරට ගෙනයන්න අපේක්ෂා කරන්නේ කොහොමද?

මේ මස 19 වැනි දා පෙරවරු 10.00 ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයට පැමිණ අපේ රටේ විද්වතුන් 6000 ක පමණ සහභාගීත්වය ඇතිව ජාතික විද්‍යා සංගමයේ සංවිධානය කරන ජාතික සමුළුව පැවැත්වෙනවා. එහිදී අපගේ ප්‍රතිපත්ති මාලාව, ඉදිරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ආකාරය රටට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වනවා. මෙය පොත් පිංචක් ලෙසින් බෙදා හැරීමට නියමිතයි. මේ අවස්ථාවට සජීවීව සම්බන්ධ වන ලෙස අපි රටේ විද්වතුන්ට, වෘත්තීකයන්ට ආරාධනා කර සිටිනවා. සියළුම ප්‍රචාරක මාධ්‍ය හරහා අපි අපේ වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙනයන්න අපේක්ෂා කරගෙන සිටිනවා.

අපි හිතනවා රටේ ජනතාව මෙය කැමැත්තෙන් වැළඳ ගනු ඇතැයි කියලා. දේශපාලන පාක්ෂිකයින් පවා මෙයට කැමැත්ත පළ කරනු ඇතැයි විශ්වාස කරනවා. මෙය වැඩපිළිවෙළක් පමණක් නොවෙයි මෙය රටේ ඇතිවිය යුතු බලවේගයක්. මෙය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

සටහන :චින්තා රණසිංහ


නව අදහස දක්වන්න