රෝගී සත්කාරයට රට පුරා දුවන සුවසැරිය | දිනමිණ

රෝගී සත්කාරයට රට පුරා දුවන සුවසැරිය

වත්මන් ආණ්ඩුවෙන් සාර්ථකව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් ලෙස “1990 - සුවසැරිය“ ව්‍යාපෘතිය ජනතා හදවත් දිනා ඇත. මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අද රටේ නොදන්නා කෙනෙක් නැති තරම්ය. ඒ තරමටම ජනතා හදවත් දිනා ඇති මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මඟ පෑදුණේ කෙසේද යන්න සොයා බැලිය යුතුය.

ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයීම් ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සංකල්පයකට අනුව බිහි වූ මෙම ව්‍යාපෘතිය අද වන විට ඉතා සාර්ථකව රට පුරා ක්‍රියාත්මක වීමට සූදානම්ය. මෙම සේවාව බිහි වීමට අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ජීවිත කතාවක් බලපා තිබේ. ඒ කුමක්ද යත්, දිනක් ත්‍රිකුණාමලයේ ගොස් පැමිණෙන විට ඇමැතිවරයාගේ විදේශික කාන්තා යෙහෙළියක් වන අමීනා අලී මහත්මිය පැමිණි වාහනය හදිසි අනතුරකට පත් විය. තද වර්ෂාවක් පැවැති නිසා ඒ අවස්ථාවේ කර ගත හැකි දෙයක්ද නොමැති වූ නිසා ළඟම පිහිටි කන්තලේ රෝහලට රෝගියා ඇතුළත් කෙරිණ. රෝහලේ පැවැති අඩු පහසුකම් සහ වෛද්‍යවරයා විදෙස්ගත වීම නිසා අනතුරට පත් වූ කාන්තාව කොළඹට ගෙන ඒමට සිදු විය. කොළඹට ගෙන ඒමට ගිලන්රථයක් නොමැති වීම ඊළඟට මුහුණදුන් ගැටලුව බවට පත් විය. මෙම හදිසි අනතුරට මුහුණ දුන් පිරිස අතර වෛද්‍යවරියක් ද සිටි නිසා ඇගේ උපදෙස් අනුව ඔවුන් ගමන් ගත් වාහනයක් ගිලන්රථයක් බවට පත් කර පැය හතක් තිස්සේ කොළඹට රැගෙන එන්නට විය. ඇමැතිවරයෙක් නොවුණ ද එදා ඔහුගේ සිතට පැමිණි අදහස වූයේ කවදා හෝ ආණ්ඩු බලයක් ලබා ගන්නට හැකි වුවහොත් හදිසි අනතුරකට පත් වන ස්ථානයේ සිට රෝහලක් කරා සුරක්ෂිතව ගෙන යා හැකි ගිලන්රථ සේවාවක් ආරම්භ කිරීමය. එය මේ වන විට සාර්ථක වී හමාරය.

වසර 2015 දි ආණ්ඩු බලයට පත්ව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස එනම් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා විදියට හර්ෂ ද සිල්වා මහතා පත් විය. මේ කාලය තුළ ඉන්දියානු අගමැති මෝදි මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව තිබිණ. එම සංචාරය අතරතුර දෙරට අතර මිත්‍ර සම්බන්ධවතාව වර්ධනය කර ගැනීමට ඉන්දියානු රජයෙන් ප්‍රදානයක් ලබාදීමට සූදානම් බව මෝදි මහතා දැනුම් දී තිබිණ. මෙම දැනුම් දීම ඇමැතිවරුන්ට ඉදිරිපත් කළ පසුව ඇමැතිවරුන්ගෙන් විවිධ යෝජනා සහිත විශාල ලැයිස්තුවක් ඉදිරිපත් කෙරිණ. ඒ යෝජනා අතරට හර්ෂ ඇමැතිවරයාගේ සිහිනයක්ව පැවැති ගිලන්රථ සේවා යෝජනාව ද එක් කරමින් ඒ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීම සිදුකෙරිණ. මෝදි මහතා මෙරටට පැමිණි පසුව ඇමැති හර්ෂ මහතාගේ ඉල්ලීම එතුමා වෙත ඉදිරිපත් කරනවාත් සමඟ ඊට මෝදි මහතාගේ කැමැත්ත පළ කෙරිණ. ඒ අනුව “සුවසැරිය“ ගිලන්රථ සේවාවට මෙරටට ලැබිණ. තමන්ගේ වටා සිටි හිතවත් පිරිස පවා මේ ව්‍යාපෘතියට අත නොගසන ලෙස හර්ෂ ඇමැතිවරයාට දැනුම් දුන්න ද, ඒ කිසිවක් නොසලකා තම සිහිනය ජනතාවට සැබෑ කර දීමට ඔහු පියවර ගත්තේය.සැකයකින්, බියකින් තොරව නිවසේ සිට හෝ අනතුරක් සිදු වූ ස්ථානයක සිට ආරක්ෂිතව රෝහල්ගත වීමට ඒ අනුව අපි හැමෝටම දැන් අවස්ථාව උදා වී තිබේ. යහපාලන ආණ්ඩුවට පිං සිද්ධ වන්නට කුමන බාධක මධ්‍යයේ වුවත් ආරම්භ කළ “සුවසැරිය“ පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව වර්තමානය වන විට රට පුරාම ව්‍යාප්ත කරන්නට හැකියාව ලැබී ඇත. බස්නාහිර හා දකුණු පළාත්වලට පමණක් සීමා වී තිබූ මේ සේවාව මේ වන විට දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇත. මේ සේවාව දීප ව්‍යාප්ත කිරීමේ සමාරම්භක උළෙල උතුරු පළාතේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

2018 අංක 18 දරන 1990 සුවසැරිය පදනම පනත පාර්ලිමේන්තුවේ දී පසුගිය දා සම්මත විය. බාධාවකින් තොරව තිරසාර අයුරින් මේ සේවාව ක්‍රියාවට නැංවීම පනතෙහි අරමුණ වී තිබේ. අසරණ රෝගී ජනතාවට නොමිලයේ සේවාව ලබාදෙන මේ ගිලන්රථ සේවාව කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය පදනමක් පිහිටුවීම මේ පනත මඟින් සිදු කරයි. මෙම සේවය වසරකට වැඩි කාලයක් සාර්ථකව ක්‍රියාත්මක වී ඇති අතර දෙවන පියවර ලෙස දීප ව්‍යාප්තව මෙම සේවය පුළුල් කිරීම සඳහා දෙවන ඉන්දීය ප්‍රදානය වන ඇමරිකන් ඩොලර් මිලියන 15.02 ක මුදල ලැබීම සිදු වේ. එමඟින් නව ගිලන් රථ 209 කට වඩා මෙම සේවාවට එක් කිරීම සිදු කරන අතර ශ‍්‍රී ලාංකික තරුණයන් 1782 කට පමණ පුහුණුව ලබාදී සේවයේ යෙදවීමට නියමිතය.

මෙම ව්‍යාපෘතියෙහි පළමු පියවර ලෙස ඉන්දියානු රජයෙන් ප්‍රදානයක් ලෙස මෙරටට සුවසැරිය ගිලන්රථ 88ක් 2016 ජූලි මස 29 වැනිදා ලැබිණි. එය මෙරට ජනතාවගේ පිනට ලැබුණු පරිත්‍යාගයක් ලෙස හැඳින්විය හැකිය. මේ සේවාව නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක මුල් කර ගනිමින් බස්නාහිර සහ දකුණු පළාත්වල පමණක් ක්‍රියාත්මක විය. මේ සේවාවේ අවශ්‍යතාව දැඩිව දැනෙන්නට පටන් ගත් කල රට පුරාම එය ව්‍යාප්ත කරන්නට රජය තීරණය කර තිබේ. ඒ අනුව තවත් සුවසැරිය ගිලන්රථ 209ක් ඉන්දියානු රජයෙන් පරිත්‍යාගයක් ලෙස මෙරටට ප්‍රදානය කිරීම පසුගියදා සිදුකෙරිණි. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 15 කි. ශ්‍රී ලංකා මුදලින් නම් එහි වටිනාකම රුපියල් මිලියන 2300 කි. ඉන්දියානු - ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීමට මෙමඟින් හැකියාව ලැබීම ද විශේෂත්වයකි. ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක වටිනාකමින් යුක්ත සුවසැරිය ගිලන්රථ 88 ක් පළමු වතාවට ඉන්දියාවෙන් ත්‍යාගයක් විදියට අපට 2016 වසරේදි ලැබිණි.

2016 ජූලි මාසයේදි ප්‍රථම වතාවට මේ සේවාව ආරම්භ කිරීමෙන් පසුව මේ වසරේ ජනවාරි 30 වැනිදා දක්වා 154,655 වාරයක් ගිලන්රථ ප්‍රවාහනය කර තිබේ. ඒ දිස්ත්‍රික්ක හයක් තුළ පමණි. වැඩි වශයෙන්ම ගිලන්රථ යොදා ගෙන තිබෙනුයේ රථ වාහන අනතුරු රෝගීන් රෝහලට ප්‍රවාහනය කිරීම සඳහා ය. මේ ගිලන්රථ තුළ දී දරු ප්‍රසූති 30කට අධිකව සිදු කර තිබේ. සියලු දරුවන් නිරෝගීව ජීවත් වන අතර මේ සේවාව මඟින් රෝහලට ප්‍රවාහනය කළ කිසිදු රෝගියකු මේ දක්වා මරණයට පත් නොවීම විශේෂත්වයකි. අංග සම්පූර්ණ නවීන තාක්ෂණයෙන් යුක්ත ගිලන්රථ සේවාවක් වන මෙමඟින් රෝගීන්ට ලැබෙන සත්කාර ඉතාම ඉහළ අගයක් ගනියි. රෝගියා රෝහල වෙත ප්‍රවාහනය කරන තෙක් අතරමඟදි හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා පුහුණු නිලධාරියෙක් හෝ නිලධාරිනියක් ගිලන්රථය තුළ සිටීම සේවාවෙහි පවතින ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හේතුවක් වී තිබේ.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ආශිර්වාදය ඇතිව ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් යටතේ ආරම්භ කළ මේ ජනතා සේවාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරයි. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි, නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන්ගේ පූර්ණ සහයෝගය ඇතිව “සුවසැරිය“ ජනතා සේවය ක්‍රියාත්මක වේ. 1990 දුරකථන අංකය අමතන සැණින් ප්‍රතිචාර ලබාදෙන මේ සේවාව ඕනෑම රෝගියකුට නොමිලේ ලබා ගත හැකිය. පක්ෂ, පාට, ජාති, කුල භේදයකින් තොරව ක්‍රියාත්මක වන මේ සේවාව යහපාලන ආණ්ඩුව යටතේ ආරම්භ කළ සුවිශේෂ ජනතා සේවාවක් ලෙස හඳුන්වාදිය හැකිය. සුවසැරිය ගිලන්රථ සේවාව මඟින් පළමු අදියර යටතේ 500ක් පමණ ශ්‍රී ලාංකික පුද්ගලයන්ට රැකියා ලැබුණු අතර සේවාව රට පුරාම ව්‍යාප්ත කිරීම මඟින් පුද්ගලයන් 1700 කට වැඩි සංඛ්‍යාවකට රැකියා අවස්ථාව හිමිවීමට නියමිත ය. මේ සේවාව මෙතෙක් ලබා ගත් ජනතාවගෙන් දහස් සංඛ්‍යාත ප්‍රශංසාත්මක ලිපි සංඛ්‍යාවක් “සුවසැරිය“ මධ්‍යස්ථානයට ලැබී තිබේ.

හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් 25,000 ක් පමණ මරණයට පත් වේ. හදිසි අනතුරු පමණක් වසරකට 58,441 ක් සිදු වන බවට වාර්තා වේ. හදිසි අනතුරුවලින් මරණයට පත් වන පුද්ගලයින් 25,000 න් 5000 කගේ හෝ ජීවිත මේ සේවාව මඟින් බේරා ගන්නට හැකි වීම විශාල පුණ්‍යකර්මයකි. අනතුරුවලට ලක් වන බහුතරයක් පිරිස රෝහල වෙත ප්‍රවාහනය කරනුයේ ත්‍රීරෝද, බස්රථ, වෑන් රථ හෝ වෙනත් වාහනයකය. එසේ ප්‍රවාහනය කිරීමේදි අතරමඟදි ඔවුන්ට සිදු වන හානිවලින් ජීවිතයේ පූර්ණ කාලීනව ආබාධිත තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වන අවස්ථාවන් ද පවතියි. එසේම ඇතැම් අවස්ථාවන්හිදී ඔවුන්ගේ ජීවිතය පවා අහිමි වීම සිදු වේ. මේ අවැඩදායක තත්ත්වයෙන් රෝගීන් බේරා ගැනීමට ඉතාම සුදුසු සේවාවක් ලෙස සුවසැරිය ගිලන්රථ සේවාව හඳුන්වාදිය හැකිය.

රජයේ රෝහල්වල තිබෙන ගිලන්රථවලින් කරනුයේ රෝහලෙන් තවත් රෝහලකට රෝගියාව ප්‍රවාහනය කිරීමය. 1990 සුවසැරිය මඟින් කරනුයේ පූර්ව රෝහල් හදිසි වෛද්‍ය සේවාවක් පවත්වාගෙන යාමය. රෝහලෙන් පිටත සිටින රෝගියකු රෝහලට ගෙන යන තුරු ඔහුට ප්‍රතිකාර කරන සහ ප්‍රවාහන මාධ්‍යයක් ලෙස මේ සේවාව ක්‍රියාත්මක වේ. හදිසි අනතුරුවලදී රෝගියාට මූලික ප්‍රතිකාර ලබාදෙමින් අදාළ රෝහලට ප්‍රවාහනය මෙමඟින් සිදු කරයි. රෝහලකින් රෝහලට රෝගීන් ප්‍රවාහනය කිරීම අදටත් සිදු වන අතර එය වැඩිදියුණු කිරීමක් ලෙස මේ ගිලන්රථ සේවාව ස්ථාපිත කර තිබේ. මාර්ගයේදි, නිවසේදි හදිසි අනතුරක් හෝ වෙනත් අසනීපයක් වුවහොත් රෝගියා සුරක්ෂිත කර වහාම රෝහලට ගෙන යාම අවශ්‍ය වුවත් එය එසේ සිදු නොවීම ගැටලුකාරි තත්ත්වයකි. කෙසේ හෝ රෝගියා රෝහල වෙත ගෙන ගියත් ප්‍රවාහනය කරන මාධ්‍යය පිළිබඳව ගැටලුවක් ඇති වේ. නිවසේ තිබෙන පෞද්ගලික වාහනයක් හෝ ත්‍රීරෝද රථයක් වැනි වාහනයක් භාවිතා කරමින් රෝගියා ප්‍රවාහනය කිරීම සිදු කළත් එවැනි අවස්ථාවකදී කිසිදු ප්‍රතිකාරයකින් තොරව රෝගීන් ප්‍රවාහනය නිසා රෝගීන්ගේ ජීවිත පවා අහිමි වූ අවස්ථා පවතියි. ජීවිත ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් අලුතෙන්ම මෙරට ආරම්භ කළ සේවාවක් ලෙස සුවසැරිය ගිලන්රථ සේවාව ඉතිහාසගත වේ.

ද්වීතියික අනතුරු බොහොමයක් මෙරට සිදු වේ. අනතුර සිදු වූවාට පසුව රෝහලට රැගෙන යන තෙක් සිදු වන අනෙකුත් අනතුරු ද්වීතියික අනතුරු ලෙස හඳුන්වයි. සුවසැරිය මඟින් ද්විතියික අනතුරු අඩු කරයි. සුවසැරිය සේවාව දැනට හැමෝම අතර ප්‍රචලිත සේවාවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම් ලත් කාර්ය මණ්ඩලයක් මෙහි සේවාවේ යෙදෙයි. මේ සේවාව ආරම්භයේ සිට මේ වර්ෂයේ ජනවාරි 30වැනිදා දක්වා දුරකථන ඇමතුම් 845,380 ක් ලැබී තිබේ. ඉන් 140,045 කට ගිලන්රථ සේවාව ලබා දී රෝගීන් රෝහල්ගත කර තිබේ. රෝගියකු රෝහල වෙත ප්‍රවාහනය කිරීමට දුරකථන ඇමතුමක් ලබාදී විනාඩි 12 ක් වැනි කෙටි කාලයකින් අදාළ ස්ථානයට ළඟා වීම මේ සේවාවේ පවතින විශේෂත්වයකි.

කිසියම් පුද්ගලයකු හදිසි අනතුරකට ලක් වූ විට ඉතා ඉක්මණින් රෝහලට ගෙනයාමට අසල්වාසීන්, හිතවතුන් උත්සුක වේ. ගිලන්රථයක් පැමිණෙන බව කීවත් ඔවුන්ට ඒ ගැන විශ්වාසයක් නොමැත. එම නිසා මේ සේවාව සම්බන්ධයෙන් යහපත් ආකල්පයක් ජනතාව තුළ ගොඩනැංවිය යුතුය. දවසේ පැය 24 පුරාම, වසරේ දවස් 365 දීම දිවා රෑ නොබලා මේ සේවාව ස්ථිරසාර ලෙස ක්‍රියාත්මක වේ. නිවසේ තිබෙන සුඛෝපභෝගි වාහනයේ නොගොස් ගිලන්රථයෙන් රෝහලට ප්‍රවාහනය කර ගැනීමේ වාසි රැසකි. ඕනෑම හදිසි අනතුරකදී අනතුරට මුහුණ දුන් පුද්ගලයා වෙත රත්තරන් පැයක් (Golden hour) හිමි වේ. අදාළ මුල් පැයේදි සිදු කරන ප්‍රතිකාර ජීවිතයම සුරක්ෂිත කරයි. කොතරම් ඉක්මණට අනතුරට මුහුණ දුන් පුද්ගලයා සනීප වෙනවාද යන්න මේ පැයේදි තීරණය වේ. මුල් පැයේ ප්‍රතිකාර මෙරට රෝගීන්ට නොලැබීම අපේ රටේ පවතින ගැටලුවකි. මූලික ප්‍රතිකාර ලබා නොදීම නිසා රෝගියාගේ ජීවිතය සම්බන්ධයෙන් අවදානමක් ද ඇති වේ. රෝගියකුට මූලිකව ප්‍රතිකාර කළ හැකි ජාත්‍යන්තරව පිළිගත් සියලු උපකරණ සුවසැරිය ගිලන්රථ සේවාව තුළ පවතියි. ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය මට්ටමට පුහුණු කළ නිලධාරින් ද සිටියි. රෝගියාගේ ජීවිතයට පවතින අවදානම ගැන ප්‍රථමයෙන්ම සලකා බැලීම මෙහිදී සිදු කරයි. රෝගියාගේ තත්ත්වය අනුව ප්‍රවාහනය කරන ආකාරය ද වෙනස් වේ. සුදුසුකම් ලත් රජයේ වෛද්‍යවරයකු පැය 24 පුරාම සුවසැරිය සේවාවට අදාළව සේවය කරයි. ගිලන්රථයේ පුහුණු නිලධාරියාට ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය සියලු තොරතුරු මේ වෛද්‍යවරයාගෙන් ලබාගත හැකිය.

ස්තුතිය - ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයීම් ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට සහ “සුවසැරිය“ ගිලන්රථ සේවාවෙහි වැඩසටහන් කළමනාකරු ගයාන් චතුරංග මහතාට

සටහන-සන්ධ්‍යා කරුණාරත්න 


නව අදහස දක්වන්න