මිහිතලයේ අනාගතය | දිනමිණ

මිහිතලයේ අනාගතය

ආචාර්ය සුනිල් රණසිංහ
(මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)

ලංකාවේ ජනගහනය මිලියන 21 කි. මන්දපෝෂණය 22%ක්වේ. පෝෂිත ආහාරයක් නො ලබන ජන සංඛ්‍යාව 33% කි.ගෝලීය දේශගුණික අවදානම් දර්ශකය The Global Climate Risk Index 2018 ලොව පුරා රාජ්‍යයන් ආන්තික කාලගුණික ලක්ෂණ වූ කුණාටු, ගංවතුර හා උණුසුම් තරංග වැනි ක්‍රියාකාරකම් නිසා විවිධ බලපෑම්වලට ලක්වන ආකාරය විද්‍යාත්මකව පැහැදිලි කරයි. මෙම වාර්තාව ජර්මනියේ පිහිටි සංවර්ධනය හා පරිසරය පිළිබඳ Germanwatch සංවිධනය වාර්ෂික ව සැලසුම් කරයි. 1997 වසර සිට 2016 දක්වා ඉතා පැහැදිලි දත්ත සහ වාර්තා ඔවුන් සතු ව ඇත. 2016 වසරේ ආන්තික දේශගුණික සිදුවීම් නිසා හොන්ඩුරාස්, හයිටි හා මියන්මාරය ඉතා අයහපත් ලෙස අවදානමට ගොදුරු විය. 2018 වසර සඳහා 13 වන සංශෝධිත වාර්තාව ප්‍රකාශට පත්ව ඇත. එහි තොරතුරුවලට අනුව සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යය සංවර්ධනය වූ රාජ්‍යයන්ට වඩා අවදානමට ලක් වෙයි. එමෙන් ම අනාගත අවදානම පිළිබඳ විද්‍යාත්මක විශ්ලේෂණ ද අන්තර්ගත වෙයි. ඇතැම් ව්‍යසන වසරින් වසර වර්ධනය වෙයි. 2017 වසරේ ෆියුජි රාජ්‍යයේ පැවැති දේශගුණික සමුළුවේ දී උක්ත රාජ්‍යයන් මුහුණ දෙන අවදානම ගැන අවධානය යොමු විය. තවද පැරිස් දේශගුණික පොදු එකඟතාවට අනුව ගෝලීය අනුවර්තනය (හැඩගැසීම) සඳහා නීතිමය කාල රාමුවක් සැකසීමට සියලු රාජ්‍ය ප්‍රමුඛතාව දැක්විය යුතුය.

ගෝලීය දේශගුණික අවදානම් වාර්තාවට අනුව 2019 වසරේ ලංකාව 2 වන ස්ථානයේ රඳවා ඇත. හයිටි, සිම්බාබ්වේ, ෆිජි, වියට්නාමය හා ලංකාව එක පෙළ ස්ථාන ගතව සිටියි. 2018 - 2019 කාලයේ ත්‍රස්ත‍ක්‍රියා නිසා අවදානමට ලක්ව ඇත්තේ පෝටෝරිකෝ රාජ්‍යයයි. ආන්තික දේශගුණික අවදානමට පත් රාජ්‍ය ලෙස ලංකාව සටහන් ව ඇත.

දේශගුණික අවදානම

ඉන්දියාව හයවන ස්ථානය ගෙන ඇත. අමෙරිකා එක්සත් ජනපදය, තායිපේ, මැසිඩෝනියා, බොලිවියා දසවන ස්ථානයේ පසු වෙයි. වාර්තාව සැකසීමේ දී රාජ්‍යවල ප්‍රතිශතයක් ලෙස ජනගහනයෙන් ලක්ෂයකට සිදු වූ මරණ සංඛ්‍යාව, මූල්‍යමය හානිය, දළ ජාතික නිෂ්පාදනයේ {Gross Domestic Product (GDP)} පසුබැසීම අවධානයට ලක් වෙයි. ආන්තික දේශගුණික ක්‍රියාකාරකම් නිසා පසුගිය විසි වසර තුළ ලොවට ජන ජීවිත 524, 000 ක් අහිමි වී ඇත. ආන්තික දේශගුණික සිදුවීම් 11.000 ක් සිදුව ඇත. ගෝලීය ආර්ථිකයට ඩොලර ත්‍රිලියන 3, 16 ක අලාභයක් සිදුව ඇත. 1997 - 2016 වාර්තාවේ හයිටි, මියන්මාර්, නිකරගුවා, පිලිපීනය, බංගලාදේශය, පකිස්තාන, වියට්නාමය, තායිලන්තය, ඩොමිනිකන් ජනරජය හා ඉන්දියාව පෙරමුණ ගෙන සිටියි. දේශගුණික අවදානම සන්දර්භය තුළ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට සමගාමීව 2030 - 2050 අනුවර්තනය අනිවාර්ය ක්‍රියාකාරකමක් යැයි සටහන් වෙයි.

අන්තර්ජාතික මූල්‍ය ආයතන දර්ශක අනුව ලංකාව පහළ මධ්‍යම ආර්ථික වර්ධනයක් වෙත ළඟාවෙමින් පවතින රාජ්‍යයක් ලෙස සඳහන් වෙයි. උක්ත වර්ධනය රඳා පවතින්නේ යහපාලනය හා ජන කණ්ඩායම් අතර සංහිඳියාව සාක්ෂාත් කර ගැනීමෙනි. ආහාර සුරක්ෂිතභාවය සමානාත්මතාව හා සමාජ ආර්ථික සංවර්ධනය අවධානය යොමු කළ යුතු අංශ යැයි ලෝක ආහාර වැඩසටහන අවධාරණය කරයි. ගෝලීය සාගිනි දර්ශකයට {Global Hunger Index (GHI) } අනුව රාජ්‍යයන් 119 අතරින් ලංකාව 84 ස්ථානයේ පසු වෙයි. සාගින්න හේතුවෙන් සෑම දරුවන් පස් දෙනනකුගෙන් එක් අයෙක් 1/5 වයසට අනුව උස ප්‍රමාණය හා සිරුර නො වැඩුන දරුවන් යැයි අන්තර්ජාතික ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය {International Food Policy Research Institute (IFPRI) } පවසයි. උක්ත පර්යේෂණය සඳහා දර්ශක ලෙස අවපෝෂණය, වයසට අනුව දරුවන්ගේ උස හා බර අඩුවීම හා ළදරු මරණ අනුපාතය උපයෝගි කර ගනියි. ශ්‍රේණිගත කිරීමට අනුව දකුණු ආසියානු කලාපයේ අනෙක් රාජ්‍යයන් වූ ඉන්දියාව 100, නේපාලය 72, බංග්ලාදේශය 88, අෆ්ගින්ස්තානය 107 ලෙස සටහන් වෙයි.

ලංකාවේ තත්ත්වය

නිදහසින් හැත්තෑඑක් වසරකට එනම් පරම්පරා තුනකට පසු අප ස්ථානීය බල දේශපාලනය ආර්ථික සංවර්ධනය නෙළා ගත් සමාජ අස්වැන්න ගැන සෑහීමට පත්විය හැකි ද? දකුණු ආසියානු කලාපයේ ආන්තික දේශගුණික ලක්ෂණ හේතුවෙන් වාර්ෂික ව දැඩි නියඟ තත්ත්වයන් හා අධික වර්ෂාව නිසා ජනයා නිරතුරුව පීඩා විඳිති. පසුගිය වසර කීපය තුළ ලංකාවේ ආන්තික දේශගුණික තත්ත්වයන් නිසා ජනයා අනතුරට පත්වූහ. ගෙවී ගිය කාලය තුළ නියඟය හේතුවෙන් දිස්ත්‍රික්ක 20 කට ආසන්න සංඛ්‍යාවක ජල හිඟයක් දක්නට ලැබිණ. එමෙන් ම වර්ෂා සමයේ ගංවතුරට ගොදුරුවන පළාත් සංඛ්‍යාව වාර්ෂික ව ඉහළ යාමක් දක්නට ලැබෙයි. දැඩි නියඟය හා පාලනය කළ නො හැකි ගංවතුර නිසා ආහාර මිල ඉහළයාම මෙන් ම හිඟයක් ද ඇති වෙයි. ගෝලීය සාගිනි දර්ශකයට {Global Hunger Index (GHI) } හා අන්තර්ජාතික ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය International Food Policy Research Institute (IFPRI) 2025 වසර වන විට සංවර්ධනය වෙමින් පවතින පරිවාර රාජ්‍යයන් සිය රටවැසියන්ගේ නිරෝගී යහපැවැත්ම උදෙසා පහත සහන් නිර්ණායක වෙත පූර්ණ අවධානය යොමු කළ යුතු යැයි අවධාරණය කරයි.

01. වසර පුරා සෑම පුරවැසියකුට ම ආහාර ලබා ගැනීමට ඇති හැකියාව.

02. සෑම පාසල් දරුවකුට ම පෝෂිත ආහාර වෙත ප්‍රවේශවීමට ඇති හැකියාව.

03. 2025 වසර වන විට වසර පහට අඩු දරුවන්, වැඩිවියට පත් ගැහැනු දරුවන් හා ප්‍රතිඋත්පාදන ශක්තිය ඇති සෑම ස්ත්‍රියකගේ ම පෝෂණ තත්ත්වය වැඩි දියිණු කිරීම.

04. අවාසිසහගත ප්‍රජා කණ්ඩායම් හා සුළු ගොවීන්ගේ ජීවන මාර්ග ශක්තිමත් කිරීම හා වසර පුරා ආහාර සුරක්ෂිත කිරීම.

05. වසර 2025 වන විට පූර්ණ ලෙස කුසගින්න අවසන් කිරිම.

නිගමන හා යෝජනා

අප සැවොම සොබාදහමේ දරුවෝය. හරිත වර්ණ තුරු ලතා, මහපොළව මත ගලා යන සිසිල් දියවර, කඳු හා මිටියාවත් හරහා හමා යන මඳ සුළඟ, උණුසුම ගෙනෙන හිරු ජීවයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍යය. සොබා දහමේ විවිධත්වය යනු ශාක හා සත්ත්ව ජීව විශේෂ නො නැසී පැවැත්මේ මූලික පදනමයි. හිරුගේ උණුසුම, සඳුගේ සිසිලස, නීල වර්ණ ආකාශය, ජලයේ දිස්නය, වායු ගෝලයේ නැවුම් බව, ජීව විශේෂ හා සොබාදහම අතර සංහිඳියාව වියා දමයි.

සියලු ශාක හා සත්ත්ව ජීවීන් අයත්වන්නා වූ සොබාදහමට ගෞරව කිරීම හා ආදරය කිරීම සංස්කෘතික සංහිඳියාවේ මූලධර්මය යි. මානවයා තුළ සංවේදිතාව හා සහකම්පනය හටගන්නේ අනෙකා සමඟ ජීවිතය බෙදා ගැනීමෙනි. විවිධත්වය, සමානාත්මතාව හා අභිමානය සංස්කෘතියේ හද ගැස්මයි. සංහිඳියාව යනු ප්‍රජා හා සංස්කෘතික කණ්ඩායම් අතර පැවතිය යුතු චර්යා රටාවක් පමණක් නො වෙයි. සංහිඳියාව සමස්ත ශාක හා සත්ත්ව ජීවීන් අතර මෙන් ම සොබාදහමේ සෑම වස්තුවක් සමඟ අඛණ්ඩ ව නො නැසී පවත්වාගෙන යා යුතු අන්තර් සහසබඳතාවකි.

අන්තර්ජාතික ආයතන විසින් ඉදිරිපත් කර ඇති නිර්ණායක මෙන්ම වර්තමානයේ ලංකාව මුහුණ දෙන වහා ප්‍රතිකර්ම යෙදිය යුතු ගැටලු වෙත සමස්ත ජනයාගේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය මෙහෙවරකි. දේශගුණික වෙනස මගින් ක්ෂණික ව උත්පාදනය කරන ආන්තික කාලගුණික තත්ත්වයන් අනාගත මෙන්ම වර්තමානයේ මුලුමහත් ලෝකය ඉදිරියේ ඇති ප්‍රධාන ප්‍රශ්න යයි. උක්ත සංසිද්ධිය නිසා ආපදාවට පත්වන රාජ්‍යයන් අතර ලංකාව (2019) පසුවන්නේ දෙවන ස්ථානයේය. සොබාදහමේ සක්‍රීය ක්‍රියාකාරකම් පාලනය කිරීමේ හැකියාව මනවයා සතු නො වෙයි. එහෙත් ආපදා අවම කර ගැනීමේ හැකියාව සහ සොබාදහම සමඟ සහසබඳතාව පවත්වාගෙන යාමට මානවයා කාලීන ව අනුවර්තනය විය යුතුය. කෑදර ආශාවන් අත්හළ යුතුය. සැබවින් ම අප වෙනස් විය යුතුය.

වන ගහනය හා පාංශූ සංරක්ෂණය

යටත් විජිත පාලනයෙන් ස්වදේශිකයන් වෙත පාලනය හුවමාරුවන විට සමස්ත වන ගහනය 60% කි. 2018 වසර වන විට දිවයිනේ සමස්ත වන ගහනය 17% කි. ඔක්සිජන් නිෂ්පාදනය, කාබොන්ඩයොක්සයිඞ් උරා ගැනීම, ජල උල්පත් රඳවා ගැනීම, මතුපිට හා භූගත ජලය සංරක්ෂණය, ආහාර නිෂ්පාදනය, ජෛව විවිධත්වය හා වන ජීවීන්ගේ පැවැත්ම සඳහා ආසන්න වශයෙන් වනගහනය 35% ක් පමණ තිබිය යුතුය.

පස සොදායාම වළක්වා ගැනීම හා මතුපිට හියුමස් ස්ථරය රඳා පවත්වා ගැනීමෙන් පසෙ හි සාරවත්බව සංරක්ෂණය සඳහා වන හා ශාක ගහනය අවශ්‍ය වෙයි. පැළ සිටුවීම, ආහාර බෝග වගාව, ගෙවතු හා ආයතනික භූමි අලංකරණය, ස්වභාවික සෞන්දර්යය රස වින්දනය සංස්කෘතික මානවයාගේ දෛනික ජීවිතයේ ස්වභාවික ලක්ෂණයකි.

දුර්ලභ හා අවේණික ශාක, ඖෂධීය ශාක, ජානමය වටිනාකමක් ඇති ශාක, ස්වභාවිකව ජලය පිරිසිදු කරන ශාක, පෝෂණීය ආහාර නිපදවන ශාක, මානව ජීවන මාර්ග සමඟ බැඳුණු වන ගහන සංරක්ෂණය හා නැවත වගාව මානව සංස්කෘතික අංගයක් ලෙස ප්‍රවර්ධනය කිරීම ගැටලුවට විසඳුම් වේ.

ලෝකය පුරා ප්‍රධාන නගර ආශ්‍රිත වායුව ශූන්‍ය වී ඇති සමයක ඉතා පිරිසිදු ඔක්ෂිජන් වායුව ආග්‍රහණය කිරීමට හා වායු ගෝලයේ හරිතාගාර වායූන්ගෙන් පිරිපහදු කිරීමට ඇති එකම මාර්ගය ඇති හැකි සෑම ස්ථානයකම ශාක රෝපණ යයි.

පරාග සංයෝජකයන් වන මීමැස්සා, සමනලයා, ගී ගයන කුඩා කුරුල්ලන් නැවත කැඳවීම සඳහා පුෂ්ප හටගන්නා ශාක හැකි සෑම තැනක ම රෝපණය කිරීම අතවශ්‍ය ක්‍රියාකාරකමකි.

පිරිසිදු පානීය ජලය

වර්තමානයේ ලොව පුරා දක්නට ලැබෙන ප්‍රධාන ගැටලුවක් ලෙස පිරිසිදු පානීය ජලයේ හිඟකම සටහන් කළ හැකිය. සෑම දිනක ම ලොව පුරා පිරිසිදු පානීය ජලය නොමැති නිසා 5, 000 කට ආසන්න පිරිසක් මිය යති. ඉකුත් දසකය තුළ පැවැති නියඟ සමයේ ලංකාවේ දිස්ත්‍රික්ක 18 ක් පමණ ජල හිඟයෙන් පීඩා වින්දේය. අපිරිසිදු ජලය නිසා නිදන්ගත රෝග ව්‍යාධ හා බෝවෙන වසංගත මගින් ජන ජීවිතය සෑම වසරක ම අපහසුතාවට පත් කරයි.

ආසන්න වශයෙන් ලක් වැසි ජනයාගෙන් 60% ක් පමණ පිරිසිදු පානීය ජලය නොමැතිකම හා ජල ශූණය නිසා ජල වෙළෙඳපළ වෙත නැඹුරු වී සිටිති මෙකී තත්ත්වයෙන් මිදීම‍ට නම් ජල මූලාශ්‍ර, පෝෂක ප්‍රදේශ හා රක්ෂිත භූමි වන වගා මගින් ආවරණය කිරීම, ස්වභාවික ව ජලය පිරිසිදු කරන ශාක විශේෂ හඳුනාගෙන නැවත රෝපණය කිරීම, ගංඟා ඇළ දොළ සෑම ජලමාර්ගයක් ම පාරිසරික ශූන්‍යයෙන් මුදවා ගැනීම, විස රසායන මිශ්‍ර අපද්‍රව්‍ය ජල මාර්ගවලට මුදා හැරීමට පෙර පිරිපහදු කිරීමේ ක්‍රමවේද භාවිතය ආදියට යොමු විය යුතුය. ජලය මානව සංස්කෘතියේ සුවිශේෂී සලකුණකි. ජලයෙන් තොර මානව සංස්කෘතියක ජීවිතයක් ගැන සිතීම පවා සිහිනයකි.


නව අදහස දක්වන්න