තාක්ෂණයේ රස නොබලා සුවඳ සෙවීම | දිනමිණ

තාක්ෂණයේ රස නොබලා සුවඳ සෙවීම

 වැඩ පහසු කර ගැනීමට අප විසින් සකසා ගනු ලබන උපකරණ හා උපක්‍රමයන් තාක්ෂණයයි. මේ සියලු දේ පුද්ගලික සුඛ විහරණයටත් පොදු යහපතටත් යෙදේ. එසේම තෘෂ්ණාධික, ආත්මාර්ථකාමීන්ට ඇසිල්ලකින් වුවද තාක්ෂණය මිනිසාගේම විනාශයට හා විකෘතියට යොදාගත හැකි බවට අතීතය දෙස් දෙයි. තාක්ෂණයේ ඵලදායී භාවිතය සඳහා උගත්කම, බුද්ධිමත්කම පමණක් නොව ගුණ යහපත්කම්ද දායකවන බව නැවතිල්ලේ සිතන විට පෙනී යයි. පරමාණු බෝම්බ ජපානයට හෙළීමේ අදුරදර්ශී අමනෝඥ ක්‍රියාවේ ප්‍රතිඵල අද දු ජපනුන් අත් විඳී. එහෙත් මිනිසා පාඩම් ඉගෙන ගත්තේ ද? තාක්ෂණය දැලි පිහියක් වැනි වුවද දැලි පිහියෙන් රැවුල නොබා කිරි කෑමටම ආසා කරන්නන් වෙසෙන සමාජය කවදා තාක්ෂණය ඵලදායී කරගනීද?

බුදුහිමියන් පවා තාක්ෂණික උපක්‍රම යොදා ශ්‍රාවකයින්ට දහම් අවබෝධ කරවූ බව ඛේමාවන්ට සිරුරේ අනිත්‍යය අවබෝධ කරවීම, චුල්ලපන්ථක තෙරුන්ට මාර්ගඵල අවබෝධ කරවීම වැනි උදාහරණවලින් පෙනේ. පැ‍රැන්නන් නවීන අර්ථදැක්වීම්, තර්ක විතර්ක නොදැන සිටිය ද නිවැරදිව තාක්ෂණික ක්‍රමවේද යොදාගත් බවට ඉතිහාසය සාක්ෂි දෙයි. ජීවීත සාර්ථක කර ගැනීමට යොදාගත් අතීත තාක්ෂණයේ රස පරම්පරා ඔස්සේ විඳිමින්, පැවරෙමින් දිගු කලක් පැමිණ ඇත.

තාක්ෂණික සාක්ෂරතාව

අප රටේ තාක්ෂණික සාක්ෂරතාව විධිමත් හා අවිධිමත් ලෙසින් සමාජගත වන අතර ප්‍රායෝගිකව අත්පත් කර නොගැනීම නිසා දැනුමක් ලෙස මොළයේ තැන්පත් වේ. බටහිර තාක්ෂණික උපකරණවලින් ඇස් කන් මත්කරවන, සිහින ලොවක සැරිසරවන දේ පමණක් අප ගන්නේ හොඳ නරක හඳුනාගත නොහැකි තරමටම ඒ මායා ලෝකයට ඇබ්බැහි වී ඇති නිසාය. ස්මාර්ට් උපකරණ අද අපේ ඇත්තන් යොදාගන්නේ කටයුතු පහසු කරගැනීමටද? සමාජ ජාලා තුළ හිරවී සිටින තරුණ පිරිසේ ඇස් අරවා සංවර්ධනයට දායක කරවා ගැනීම මොන්ටිසෝරි දේශපාලකයන් වෙතින් බලාපොරොත්තු විය නොහැකි ය.

දියුණු රටවල අන්තර්ජාලය, පරිගණක හා ස්මාර්ට් දුරකතන ආදී තාක්ෂණය කාර්යක්ෂම ලෙසින් කටයුතු සාර්ථක කරගැනීමට යොදා ගන්නා අතර රටවැසියාගේ සියලු කටයුතු පහසු වී රටේ දියුණුවට ඒ සියල්ල දායක වේ. ඉලෙක්ට්‍රොනික කාඩ්පත් හරහා මෙන්ම අන්තර්ජාලය භාවිත කර බොහෝ මුදල් ගනුදෙනු ඇතුළු ආර්ථික කටයුතු වඩා ආරක්ෂිතව, කාර්යක්ෂමව සිදුවන නිසා ශත ගණනින් පවා වංචා නොවේ. අප එදිනෙදා ඉතුරු මුදල් ඉල්ලා සිටීමේ හා නොලැබී යාමේ සැප කෙතරම් විඳ ඇත්ද? බොහෝ කාර්යාල තුළ ඉතා අඩු සේවක පිරිසක් සතුටින් විශාල වැඩ කොටසක් අවශ්‍ය තාක්ෂණය භාවිතයෙන් සිදු කරති. වගකීම්, වගවීම් හා යුතුකම් පිළිබඳ සේවක, ස්වාමි හා පාර්භෝගික සියලු දෙනාම හොඳින් දැනුම්වත් කරවන, ඒවා මොළයට මෙන්ම හදවතට ද කාවද්දන අධ්‍යාපනයක් මොන්ටිසෝරියේ සිටම විහිදුවා ඇත. බොහෝ දේ ප්‍රායෝගිකව ඉගෙනීමෙන් තහවුරු වී තමාගේ ම වේ. පාසල් තුළ ඉගෙන ගන්නා දෑ පැ‍රැණි මෙන්ම නවීන තාක්ෂණික ක්‍රමවේද යටතේ ද හැදෑරෙන බැවින්, බල කිරීමකින් තොරව ළමුන්ට ම ඒවායේ ප්‍රබලතා දුබලතා ප්‍රත්‍යක්ෂ කරගැනීමට අවස්ථාව සැලසී ඇත. ඒ සඳහා අවශ්‍ය ආර්ථික මෙන්ම මානව සම්පත් ද සුලබ කර ඇති නිසා ගැටලු අවම වී තරගය ද අඩු වී ඇත. සමානාත්මතාව වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම පවතී.

පොලීසි, රෝහල්, පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල ඇතුළු බොහෝ ආයතන අන්තර්ජාලය හා සම්බන්ධ රාජ්‍ය තොරතුරු පද්ධතියකට සම්බන්ධ වී ඇත. දුරකතන අංකය හෝ උපන් දිනය මඟින් ඕනෑම අයකුගේ තොරතුරු ක්ෂණයකින් දැනගත හැකිය. බොහෝ පාරිභෝගික සේවා අවශ්‍යතා සැණෙකින් අන්තර්ජාලය තුළින් ඉටු කර ගැනීමට පුළුවන. නමුත් අපේ යුද්දෙට නැති කඩුව කොස් කොටන්නට ද මෙන් ජීවීත සැපවත් නොකරවන තාක්ෂණයක් කුමකටද? අන්තර්ජාල ෆැන්ටසිවල හිඳිනා බොහෝ තරුණයෝ අසැබි වෙබ් අඩවි භාවිත කරන රටවල් අතරින් ලංකාව අග්‍ර කිරීමට වෙහෙසෙති. අන්න අපේ තාක්ෂණ භාවිතය.

අද කාලයේ තාක්ෂණය

අද සමාජය තාක්ෂණය ලෙස දකින්නේ අන්තර්ජාලය, පරිගණකය, ස්මාර්ට් දුරකතනය වැනි දෑ වුවද වැඩ පහසු කරවන උපක්‍රම ද තාක්ෂණයටම අයත්ය. උපකරණ ක්‍රියාකරවන හා ඵලදායීව වැඩගන්නා ආකාරය හොඳින් දැන නොසිටියහොත් කාර්යක්ෂමව වැඩ ගැනීමට නොහැකි වී වින්දනයට පමණක් ඒවා සීමා වේ. නව තාක්ෂණය හොඳින් දැනගත් විට මෙතෙක් කලක් පැවති තාක්ෂණය වැඩි දියුණු කරගැනීමට හෝ අතහැරීමට හැකි වේ. අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගින බව කුමරතුඟුවන් පැවසුයේ කට කසන නිසා නොව අපේ ජාතියට අත්වන්නට යන ඉරණම පෙර සිටම දැන සිටි නිසාය. නමුත් තාක්ෂණික අවභාවිතය නම් ජයටම සිදුවේ.

රටක් දියුණූ වීමට තාක්ෂණික උපකරණ, ඒවා හසුරවන තාක්ෂණික දැනුම, අදාළ කාර්යය සඳහා උචිතම උපකරණය තෝරා ගැනීම මෙන්ම යමක් අලුතින් නිර්මාණය කරගැනීමේ කුසලතා ද තිබිය යුතුය. බටහිරින් ආනයනික උපාංග හෝ සංකල්ප ගෙඩි පිටින් අපේ කරගැනීමට යාමේ දී අපේ තිබූ පාරම්පරික දැනුම් පද්ධතියට හානි විය හැකි නිසා පාරම්පරික හා නව දැනුම මුසු කළ අපටම ගැලපෙන තාක්ෂණයක් නිර්මාණය කරගැනීමට නිවහල් චින්තනයක් තිබිය යුතුය. ඒ සඳහා අපේ අධ්‍යාපන පද්ධතිය මුළුමනින් නැවත සකස් වීම අත්‍යවශ්‍ය වන්නේ, දැනට ඇති අධ්‍යාපනයේ බොහෝ දෑ අපට නොගැලපෙන බැවිනි. තාක්ෂණික උපක්‍රම මනසේ නිර්මාණය වන ඉගැන්වීම් රටාවක් තවමත් නැත. සියල්ල ප්‍රශ්න හා පිළිතුරු ලෙස පොදුවේ ගුරුවරුන් විසින් ලබා දෙන අධ්‍යාපනයකින් මෙවැන්නකට වඩා වැඩි යමක් අපේක්ෂා කිරීම උඳු වපුරා මුං සෙවීම වැනිය.

නූතන උපකරණ භාවිතයෙන් පහසු විය යුතු අපේ වැඩ අවුල් වන්නේ ඇයි? සර්පයෙකු අල්ලන්නේ හිසෙන් මිස කඳ හෝ වලිගයෙන් නොවන්නා සේම තාක්ෂණය ද නිසි ලෙස යොදාගත යුතුය. හිසෙන් ඇල්ලූ විට පාලනය පහසුය. උපකරණවලට වහල් වූ විට ඒවා නොමැතිව වැඩ කිරීමේ හැකියාව ද ඕනෑකම ද නැතිවේ. තාක්ෂණය වහල් කරගත් විට එසේ නොවේ. උපකරණවලට ඇබ්බැහි වූ විට අපේ හසුරු කුසලතා ඉබේම නැති වී යන අතර එදිනෙදා සාමාන්‍ය කටයුතු පවා සංකීර්ණ වේ. අලස බව වැඩිවී ශරීරය වෙහෙසා කටයුතු කිරීම අඩුවී ස්ථූලතාව, දියවැඩියාව, හෘද රෝග වැඩියෙන් මිතුරු වන අතර ඉන් මිදීමට තෝරා ගැනෙන්නේ ද ව්‍යයාම මැෂින්ම ය.

අපේ මුතුන් මිත්තන් අපහසු දෙයට පමණක් තාක්ෂණික උපකරණ යොදාගෙන ඇති බව ඔවුන් කළ කී දෑ දෙස බැලු විට පෙනේ. කාලය ඉතිරිකර ගැනීමට උපකරණ පස්සේ යාමෙන් ආර්ථිකය ශක්තිමත් වී අවැසි විවේකය ලැබී සිතේ සහනය හා සතුට වැඩි වී ඇත් ද? ඇත්තෙන්ම කාලය ඉතිරි වුවාද? උපකරණ නොමැතිව සරල දේ පවා කළ නොහැකිනම් අපේ මේ ගමනේ කෙළවර මානව ප්‍රගමණයද? කැලයක අතරමං වූ විට කුරුම්බා ගෙඩියක් කඩා, උල් ලී කැබැල්ලකින් සිදුරු කර බී පසුව සීරුවෙන් ගලක ගසා ලෙලි ගසා ගෙඩිය පලා මද කෑමට හෝ ගඩා ගෙඩියක්, අලයක් සොයා ගැනීමට, ජලය ඇති තැනක් සොයා ගැනීමට අද කාලයේ සිටින්නන්ට හැකි වේද? අප රොබින්සන් කෲසෝ කෘතිය කුඩා කල රස වින්දේ ඔහුම නිපැයූ තාක්ෂණයෙන් අභියෝග ජයගැනීම නිසාය. මෙවැනි හුරුකම් ලබා දෙන බාලදක්ෂ සංගම්, නව නිපැයුම් සමාජ, ජීවන නිපුණතා වැනි දෑට පාසල් තුළ කුඩම්මාගේ සැලකිල්ල ලැබීමත්, නිසි දිශානතියකින් ක්‍රියාත්මක නොවීමත් නිසා සිසුන් මේවායේ නිරත වන්නේ කැමැත්තකින් නොවේ. මොළයට දැනුම රිංගවා විභාග සමත් වීමට යොමු කරවන ගාමක බලවේගයන්ගේ බලපෑම ඊට වඩා වැඩිය. ඇත්තෙන්ම හසුරු කුසලතා දියුණු කරගැනීමට සිසුන්ට ප්‍රමාණවත් තබා කොහෙත්ම කාලයක් නැත. සියල්ල මවුපිය වැඩිහිටියන් කරදෙන අතර කුඩාවුන් වැඩිහිටියන් වූවිට වංකගිරියක අතරමං වේ. ඒ බව හෝ නොදැනෙන ලෙස ව්‍යාපාරික ලෝකයේ ඥාතීන් අවශ්‍ය අනවශ්‍ය සියලු දෑ තනා මිත්‍රශීලී සළු පිළි පොරවා ළඟටම ගෙනවිත් දෙන අතර ඒවා බදා ගැනීමට අවශ්‍ය දෙවියන්ගේ මල්ලි අල්ලා ගැනීමට හුස්ම නාල්ලා දිව යන්නට වත්මන් සමාජයේ දරුවනට සිදු වී ඇත.

ක්‍රමවේදයට වඩා පුද්ගලයන් විශ්වාස කිරීම

අප රටේ සාමාන්‍ය ජනතාව වැඩක් කර ගැනීමට කාර්යාලවල දින ගණනාවක් රස්තියාදු වෙමින් බාල්දු වෙමින් වැඳ වැටිය යුතු ද? යුතුකම්, වගකීම්, මානව හිමිකම් හදවතේ නොව පොත් තුළ හා මොළ තුළ සිරවු රටක වෙන කුමක් බලාපොරොත්තු වෙමු ද? මහා ලිපිගොණු කන්දකට යටවූ අපේ කාර්යාලවල එක කාමරයක සිට අනෙක්වාට ලිපිගොනු යාමට අනවශ්‍ය කාලයක් ගනී. එකම තොරතුර පිටපත් කීපයකින් එකම ආයතනයට බාර දීමෙන් ලිපිගොනු දහස් ගණන් කාර්යාල තුළ ගොනු වී ඉඩකඩ හා භාවිත කරන්නන්ගේ කාලය කා දමයි. අප රටේ ක්‍රමවේදයට වඩා පුද්ගලයන් මත තබන විශ්වාසය වැඩි නිසාම එක් එක් පිශාචයන් පසු පස ගොස් වැඳ වැටී, ඇවටිලි, කන්නලව් කොට අදාළ කාරිය කර ගැනීමට සිදු වන්නේ ලජ්ජා බය ද උකසට තබමිනි.

නිසි ක්‍රමවේදයක් හා උපකරණ තිබුණේ නම් කාර්යාල තුළ වැඩ ගොඩනොගැසෙන අතර රටේම සංවර්ධනයට කොපමණ කාලයක් හා මුදලක් ඉතිරි කරගත හැකිවේ ද? එක් අයකුට කළ හැකි දෙය තුන් හතර දෙනෙකු කරන්නේද දුර්වල තාක්ෂණික භාවිතයෙනි. පරිගණක තිබෙන විට ඒ පිළිබඳ පුහුණුවක් නැත. ඒ දෙකම තිබෙන විට අන්තර්ජාල සම්බන්ධතාව නැත. රටේ තැනින් තැන සාධනීය ලෙස කාර්යාල පද්ධතිය නවීකරණය වුවද මුළු රටම ජාලගතව නැති නිසා බොහෝ දෑ සිදුවන්නේ ඉබි ගමනිනි. විශ්වසනීය ජාලගත තොරතුරු පද්ධතියක් රටපුරා ඇත්නම් කෙතරම් ඉක්මණින් පාරිභෝගික සේවා ඉටු කළ හැකිද?

අධ්‍යාපනය, වෙළෙඳාම, ප්‍රවාහනය, නීතිය, සෞඛ්‍යය, කාර්යාල කටයුතු ආදී සියලු ක්ෂේත්‍ර කාර්යක්ෂම කිරීමට ස්මාර්ට් තාක්ෂණය පරිස්සමින්, නැණවත්ව හා ආරක්ෂාකාරීව යොදාගැනීම අප රටට මහා අසීරු දෙයක් නොවේ. නිසි ලෙස නවීන තාක්ෂණය අවැසි තැන්වල ස්ථාපිත කිරීමට අපට නොහැකිද? බටහිරයන්ට වැඳ වැටී ගන්නා ණය කන්ද අවම කිරීම, නාස්තිය හා දූෂණය වළකා ගැනීම, කළමනාකරණය කර ගැනීම, පළාත් පාලන, පළාත් සභා හා පාර්ලිමේන්තු ආදියේ මහජන නියෝජිතයන් ප්‍රමාණය අඩු කිරීම, ඊට නිස්සන් පත් කිරීම ආදිය මඟින් ඉතිරි කරගත හැකි ජාතික ධනය යොමු කිරීමෙන් දින කීපයක දී රට තාක්ෂණිකව නිසි මගට යොමු කළ හැකි ලාංකීය මොළ හිඟ නැත. එහෙත් දේශපාලන ගලිවර්ලාගේ දේවත්වයට පත් ලිලිපුට්ලා වීමට නොහැකි නිසාදෝ රැවටෙමින්, ඇන්දෙමින්, පුලමින්, යදිමින් තවමත් අපි අසමත් දේශපාලකයන් පසුපස යන්නෙමු.

පාසල් අධ්‍යාපනය සඳහා තාක්ෂණය

බොහෝ අය විශ්වාස කරන්නේ පරිගණකයක් ඇත්නම් දරුවන් හොඳින් ඉගෙන ගන්නා බවයි. පරිගණකයකින් පමණක් කළ හැක්කේ යතුරු ලියනය, ඇඳීම, පින්තූර බැලීම වැනි දෑ පමණි. බොහෝ ගුරුවරු හා අධ්‍යාපනඥයන් තවමත් පරිගණකයක් කාර්යක්ෂමව, නිසි ලෙස තම ඉගෙනුම් කාර්යයට යොදාගන්නා හැටි නොදනී. ඇතැම් විට වෙනත් කෙනෙකු සැකසූ හෝ තමා අවිධිමත්ව සකස් කළ PowerPoint Presentation යොදා ගනිති. මේ නිසා සිසුන් අක්‍රීය අසන්නන් ලෙස සහභාගී වන ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය තව දුරටත් තහවුරු වේ. පාසල් අධ්‍යාපනය ඇරඹීමත් සමඟ දරුවන් ස්වභාවයෙන්ම ප්‍රශ්න නගමින්, පිළිතුරු සොයමින්, ගවේෂණය කරමින් ඉගෙන ගැනීම මොට වී, දෙන දෙයක් කා වෙන දෙයක් බලන තත්ත්වයට පත්වන්නේ කාගේ වරදින්ද? උපාංගයක නිසි භාවිතය, කුසලතාවයක් වුවත් එය අපට පෙනෙන්නේ විභාග සහතිකයක් ලෙසමය.

අන්තර්ජාලයේ ඇති වැඩසටහන් හා ඒවායේ අවශ්‍ය කොටස් තෝරා ගැනීම, ගැලපෙන ලෙස ඒවා වෙනස් කිරීම ආදී විවිධ කුසලතා අප සතු නොවේ නම් හෝ ඉංග්‍රීසි බස පිළිබඳ ප්‍රවීණතාවක් නොමැති නම් අපට සාර්ථකව ඉගැන්වීමේ කාර්යය සිදු කළ නොහැකි වේ. නොමිලේ අන්තර්ජාල හා පරිගණක මෘදුකාංග රැසක් ගුරුවරුන් හා සිසුන් වෙනුවෙන්ම පවතී. (https://elearningindustry.com/321-free-tools-for-teachers-free-education...) එලෙසම Google class room, Google drive වැනි පහසුකම් පිළිබඳ කී දෙනෙක් දැනුම්වත් ද? මෙසේ වී ඇත්තේ ඇයි? නොමසුරුව පරිගණක හා අන්තර්ජාල පහසුකම් වහා ලබා දී ඒවා මනාව හසුරවන කුසලතා අත්පත් කරගැනීමට අධ්‍යාපනය හා සම්බන්ධ සියලු පාර්ශ්ව සාර්ථකව පුහුණු කිරීමට ප්‍රමාණවත් කාලයක් ගත යුතු ය. නැතිනම් අලියා පමණක් දී හෙණ්ඩුව නොදී සිටියා වැනි විය හැකිය.

ආර්ථික යුද්ධය

අපේ රටේ ඇති නිලධාරිවාදය, දේශපාලනය, නරුම නීති රීති, යල්පැනගිය මතවාද, කකුලෙන් ඇදීම් හේතුවෙන් විවිධාකාරයේ අපූර්ව නිර්මාණ බිහි කළ ලාංකීය දූ පුතුන් කී දෙනෙක් මේ වන විට තම නිර්මාණ කාර්යය අතහැර මන්දෝත්සාහී වී ඇත් ද? වෙනත් රටක ඉපදුණේ නම් අයින්ස්ටයින්ලා වැන්නවුන් වී කෙතරම් අපූරු නිර්මාණ හා සංකල්ප ලොවට දායාද කරන්නට තිබුණේද? අමාරුවෙන් හෝ ජාත්‍යන්තර තරගයක් දිනූ විට ඊට දායකවු බව පෙන්වා පිමිබීමට නම් ඕනෑ තරම් උදවිය සිටිති. නව නිපැයුම්කරුවන් ඉතා අසීරුවෙන් නව නිපැයුම්වල යෙදෙන්නේ ආශාව නිසාමය. ඒවා දියුණු තියුණු කරගෙන යාමට අවශ්‍ය ආර්ථික ශක්තිය, මඟ පෙන්වීම, දිරි ගැන්වීම ඉතා අඩු නිසා දිනෙන් දින සහභාගිත්වය අඩු වේ.

වෙළෙඳ හා රාජ්‍ය වැලඳ ගැනීම් මැද සෝබන, පුහු ආටෝප ස්ටාර් තරග ඉදිරියටම යයි. රටේ සංවර්ධනයට ඉන් ලැබෙන දායකත්වය ඉතා අඩු බව දීර්ඝ මුර්ජාවකට පත්ව අනවශ්‍ය දේ අත්‍යාවශ්‍ය බවට පත්කරගෙන සිහිනවල සැරිසරමින් දේශය ජය නොගෙන ජාත්‍යයන්තරය ජය ගැනීමට මාන බලන බොහෝ අයට වැටහෙන්නේ අවසාන කෝච්චියද ගිය පසුය. අපේ මුතුන් මිත්තන් රටට හා තම තමන්ට ගැලපෙන සේ පරිසරයේ දේම උපයෝගී කොට ගෙන එකිනෙකට වෙනස් දේ නිපදවා විනෝදයක් වින්දා සේම එදිනෙදා ජීවීතය ද පහසු කරගත්හ. බොන වතුර පවා වාණිජමය වූ වටපිටාවක බටහිරයෝ අප වෙනුවෙන්ම පහළ වූ කරුණාවෙන් අවශ්‍ය අනවශ්‍ය සියලු දේ අත්‍යවශ්‍ය බව හඟවා ඇස් කන් ඇතුළු පසිඳුරන් රවටන මායාවක ගිල්වා නා නා දෑ අප වෙත ගෙන එති. අප වටපිටාවේ ඇති දෙයින් අපට අවශ්‍ය දේ නිපදවා, උපදවා ගත් පාරම්පරික ඥානයට පයින් ගසා සරුව පිත්තල ලෝකයක සැරි සැරීමට අවශ්‍ය මුදල් සොයා ආර්ථික යුද්ධයක නිරත වන්නෙමු. මෙයට අපේ අධ්‍යාපන ක්‍රම වේද ද, අපේ විභාග ක්‍රමය ද සෘජුව බලපා ඇත.

කථිකාචාර්ය දහම් බාලසූරිය
[email protected] 

නව අදහස දක්වන්න