වතුකම්කරුවා...! | දිනමිණ

වතුකම්කරුවා...!

වතු සේවකයන්ගේ වැටුප් ගැටලුව විසැඳීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.2 ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ. වතු සේවකයන්ගේ වැටුප් ගැටලුව සැලැකිය යුතු කාලයක සිට දිග්ගැස්සෙමින් පවතින අතර එය විසඳාගත හැකි මූලික ක්‍රමවේදය සකස් කළ යුත්තේ හාම්පුතුන්ගේ සංගමය හා වතු සේවකයන්ගේ වෘත්තීය සමිති සම්මේලනය යි. එහෙත් මේ පාර්ශ්ව දෙක අතර ඇත්තේ කඹ ඇදිල්ලකි. දෛනික වැටුප රුපියල් දහස ගෙඩිය පිටින්ම ඉල්ලා සිටීම වෘත්තීය සමිතිවල ක්‍රමය වී ඇති අතර රුපියල් දහස වෙනුවට ඊට අඩු මුදලක් ලබාදීම හාම්පුතුන්ගේ සංගමයේ ක්‍රමය වී තිබේ. රජය මැදිහත් වී සාකච්ඡා පවත්වාගෙන ගිය නමුදු රුපියල් දහසේ ඉල්ලීම මෙතෙක් යථාර්ථයක් වී නැත.

දැනට පවතින ගෙවීම්වලට අනුව රුපියල් හත්සිය ගණනක දෛනික වැටුපක් වතු සේවකයකුට ලැබේ. එය මීට පෙර පැවැතියේ රුපියල් හයසිය විස්සක් ලෙසටය. රජය මෙවර අයවැයෙන් වෙන් කරන මුදල ඔස්සේ වතු සේවකයන්ගේ දෛනික වැටුප් තවත් රුපියල් පනහකින් හෝ ඊට වැඩි ගණනකින් හෝ වැඩි කිරීමට නියමිතය. එය නොකඩවා වසරක් පුරා ගෙවීමට ද රජය සැලැසුම් සකස් කර ඇත. වැටුප් ප්‍රශ්නයට බේරුම්කාර පාර්ශ්වයක් ලෙස රජය මැදිහත් වී ඇති අතර එහි අවසන් ඉලක්කය විය හැක්කේ රුපියල් දහසක දෛනික වැටුප ලබාදෙන තැනට කටයුතු කිරීම යැයි කියන්නට පුළුවන. වතු සේවකයන් සඳහා රුපියල් දහසක දෛනික වැටුපක් ලබාදීම කොයි අතින් බැලුවද යුක්තිසහගත ය.

වතු කම්කරුවන්ගේ ජීවන අරගලය දෙස බලන විට අතිශය ශෝචනීය තත්ත්වයක් දකින්නට ලැබේ. ඔවුන්ගෙන් බහුතරය ලයින් කාමරවල ජීවත් වෙති. ඇතැම් නිවසක නැතහොත් ලැයිමක පවුල් දෙක තුනක් ජීවත් වෙති. වතු නිවාස පේළියකටම ඇත්තේ පොදු වැසිකිළි එකක් හෝ දෙකක් හෝ පමණි. වතු අංශයට ඇති පාසල්වල තත්ත්වය දුක්බරය. ඒවායින් බොහොමයක ඉගෙනීමට අවශ්‍ය මූලික පහසුකම් හෝ නැත. වතු කම්කරුවා සිය පවුලේ සියලු කටයුතු සඳහා වියදම් කළ යුත්තේ තම වැටුපෙන් ය. ඔවුන් සඳහා අතිරේක ආදායම් මාර්ග නැත. පවත්නා අසහනකාරී තත්ත්වය මත බොහෝ සේවකයෝ මත්පැනට හුරු වී සිටිති. එ අනුව මේ පවුල්වල තත්ත්වය තවදුරටත් ශෝචනීය වෙයි.

ශ්‍රී ලංකාවේ වතු වගාව ආරම්භ වන්නේ 1860 ගණන්වලය. තේ වගාව ආරම්භ වන්නේ 1867 දී නාවලපිටියෙන් ය. එතැන් සිට රටේ කඳුකරය පුරා තේ වගාව ව්‍යාප්ත විය. තේ වගාවට අවශ්‍ය කම්කරුවන් ගෙන්වා ගත්තේ ඉන්දියාවෙන් ය. ස්වදේශිකයෝ ඉංග්‍රීසීන් යටතේ වැඩ කිරීම ප්‍රතික්ෂේප කළහ. කෙසේ වුව වැඩිකල් යෑමට මත්තෙන් ශ්‍රී ලංකාවේ තේ ලෝකය පුරා ප්‍රසිද්ධ විය. එදා ලෝකයේ පැවැති හොඳම තේ ‘සිලෝන් - ටී’ විය. හොඳම තේ නිෂ්පාදනයට බලපෑ සාධක කිහිපයක් තිබිණි. ශ්‍රී ලංකාවේ පස හා දේශගුණය, කම්කරුවන්ගේ නිපුණතාව හා පාලකයන්ගේ කළමනාකරණය ඒ අතර ප්‍රධාන වෙයි. ඉංග්‍රීසි පාලකයා වතු සේවකයාට සලකමින් ඔහුගේ උපරිම සේවය ලබා ගත්තේ ය. එහෙත් ඉංග්‍රීසි පාලනය වෙනස්වීමත් සමඟ තත්ත්වය වෙනස් විය.

අද වතු හිමියන්ගේ අපේක්ෂාව වැඩි ම ආදායමක් හා උපරිම ලාභයක් ලැබීම ය. මේ තත්ත්වය මත විශාල තේ තොගයක් ලෝක වෙළෙඳ පොළට නිකුත් කිරීම ඔවුන්ගේ ඉලක්කය වී තිබේ. ආදායම් ලැබෙන තරමට හෝ ලාභය ඉහළ යන තරමට හෝ සේවකයන්ට සැලැකීමක් සිදුවන්නේ නැත. වතු කම්කරුවා එතැන ම යැයි කියන්නට පුළුවන. පසුගිය කාලය පුරාවට වතු කම්කරුවන්ගේ අර්ථසාධක මුදල් සම්බන්ධ පැමිණිලි ගණනාවක් වාර්තා වී ඇත. වතු තුන්සිය ගණනක සේවකයන්ගේ අර්ථ - සාධක වංචා කර ඇතැ’යි 2012 දී වාර්තා විය. වතු සේවකයන්ගෙන් වැඩි පිරිස නූගත් බැවින් මේවා පිළිබඳ සොයා බැලීමක් සිදුවන්නේ ද නැත. වෘත්තීය සමිති දේශපාලන පක්ෂවල අතකොළු බවට පත් වී ඇති අතර ඔවුන්ගේ අපේක්ෂාව ඊළඟ මැතිවරණයේදී තම නියෝජිතයා ගේ ඡන්ද ගොඩ ලොකු කිරීම ළඟ නැවතී ඇත.

වතු සේවකයන් හා වතු අයිතිකාර හාම්පුතුන් අතර ගැටුමට ද ඉතිහාසයක් තිබේ. 1940 දී පමණ වතු කම්කරුවන්ගේ අරගල කිහිපයක් වාර්තා වී ඇත. මේවා බේරුම් කිරීම සඳහා වමේ දේශපාලන ව්‍යාපාර මැදිහත් වී ඇත. එක මැදිහත්වීමක දී තීන්දු වී ඇත්තේ වතු සේවකයන්ගේ වෘත්තීය සමිතිවලට එරෙහි වීමට වතු හිමියන්ට අයිතියක් නැති බවය. සේවකයන්ට තම වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වැඩ වර්ජනය කිරීමේ අයිතියක් ඇති බවද එදා පිළිගැනිණි. වඩා වැදගත් කාරණය වන්නේ ගැටුම් නිරාකරණය සඳහා වෘත්තීය සමිති හා වතු හිමියන් ඒකාබද්ධ සාකච්ඡා පැවැත්විය යුතු බවට පොදු පිළිගැනීමක් ඇතිකර ගැනීමය. මේ එකඟතාව අදටත් වලංගුවන අතර සිදු නො වන්නේ ද එම සාකච්ඡාවන් ය.

සාමාන්‍ය තත්ත්වයට අනුව වතු කම්කරුවකු මසකට දින විසි දෙකක් සේවයට වාර්තා කළ යුතුය. එසේ නොවුණහොත් එක්තරා අනුපාත ක්‍රමවේදයක් ඔස්සේ වැටුප් කපා හරිනු ලැබේ. වතු කම්කරුවන් අසනීප වන්නට පුළුවන. විවිධ අනතුරුවලට ලක්වීමට පුළුවන. තවත් විවිධ වුවමනා මත නිවාඩු ගැනීමට ඔවුනට සිදුවනු ඇත. වතු අධිකාරීවරුන් හා හාම්පුතුන් වතු සේවකයන්ගේ පොදු අවශ්‍යතා ගැනවත් සැලැකිල්ල යොමු නොකරන බව නිවාඩු නිසා වැටුප් කපා හැරීමෙන් පැහැදිලි කර ගත හැකිය. ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගේ මුළු ප්‍රමාණය ලක්ෂ දෙකකට ආසන්න වෙති. මේ පිරිස රටේ ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය දෙස බලනවිට පෙනී යන්නේ ඔවුන් ආරක්ෂා කොට, සහනදායි ජීවිත ලබාදීම රජයේ වගවීමක් බවය. රජය එම සාධකය වටහාගෙන ඇති බවක් පෙනෙයි.

මෑත කාලයේ දී වාර්තා වූ වැඩසටහන් කිහිපයකින්ම පෙනී යන්නේ වතු කම්කරුවන් ගැන නැවත සිතා බැලීමට රජය පියවර ගෙන ඇති බව ය. මීට අදාළ එක් වැඩසටහනක් වන්නේ වතු කම්කරුවන් සඳහා ඉඩම් ලබාදෙන ක්‍රමයක් ආරම්භ කිරීමය. තව වැඩසටහනක් වන්නේ වතු කම්කරුවන් සඳහා නිවාස සංවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමය. ඉන්දියානු රජය ද ඊට ආධාර ලබාදෙයි. වැඩසටහන ඔස්සේ නව නිවාස පනස්දහසක් ඉදිකිරීමට නියමිත ය. තෙවන වැඩසටහන වන්නේ දෛනික වැටුප වැඩිකිරීමට කටයුතු කිරීමය. මෙවර අයවැයෙන් වෙන්කරනු ලබන රුපියල් බිලියන 1.2 ක මුදල ඊට හොඳම සාක්ෂියකි. වතු කම්කරුවා තෘප්තිමත් වන තරමට අපේ ආර්ථිකයද ශක්තිමත් වනු ඇත.

නව අදහස දක්වන්න