මාතර එළියකන්ද තරණය ඉරිදා | දිනමිණ

මාතර එළියකන්ද තරණය ඉරිදා

ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය පිරිනැමූ අයුරු. ඡායාරූපය - මාතර ක්‍රීඩා

සදර්න් මෝටර් ක්‍රීඩා සමාජය 23 වැනි වරට සංවිධාන කරන එළියකන්ද කඳු තරණ මෝටර් රථ ධාවන තරගාවලිය 17 වැනිදා මාතර බ්‍රවුන්ස් හිල් හිදී පැවැත්වේ.

මේ තරගාවලිය යතුරුපැදි ඉසව් 12කින් සහ මෝටර් රථ ඉසව් 17කින් සමන්විත වෙයි.

මේ වසරේ තරගාවලියට දිවයිනේ සුපිරි මොටර් රථ ධාවකයන් සහ යතුරුපැදි කරුවන් සියළු දෙනාම ඉදිරිපත් වී ඇති බවත් මේ වනවිට ධාවකයන් 115 දෙනෙකු සහ යතුරුපැදිකරුවන් 90 දෙනෙකු ගෙන් අයැදුම්පත් ලැබී ඇති බවත් සදර්න් මෝටර් ක්‍රීඩා සමාජයේ සභාපති අශ්වර් හමීම් පැවසීය.

මෙවර තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කටයුතු කරන අතර මර්චන්ට් බැංකුව, හරසිචන්ද්‍ර මිල්ස්, සියැට්, මොබිල් ලුබ්‍රිකන්ට්ස් හා වර්ත් ආයතන ද තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙති. මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් සහ අනුග්‍රාහකත්වය පිරිනැමීම පසුගියදා මාතර සනයා මැන්ෂන් හෝටලයේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ සදර්න් මෝටර් ක්‍රීඩා සමාජයේ සභාපති අෂ්වර් හමීම් මහතා කියා සිටියේ ක්‍රීඩා සමාජය ආරම්භයේ සිට මේ දක්වා දුෂ්කර ගමනක් පැමිණ 23 වැනි වරටත් මේ තරගය ඉතා උසස් මට්ටමකින් පවත්වන්නට හැකිවීම ජයග්‍රහණයක් බවයි. එදා කොළඹදී පමණක් දැකගත හැකිවූ මෝටර් රථ ධාවන තරග ප්‍රාදේශීය වශයෙන් පවත්වන්නට තම ක්‍රීඩා සමාජයට හැකිවූ බව ද ඒ මහතා කීවේය.

ශ්‍රී ලංකාවේ වේගවත්ම ජාලය හිමි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ශ්‍රී ලංකීය ක්‍රීඩා ක්ෂේත්‍රයෙහි උන්නතිය හා ප්‍රවර්ධනය උදෙසා SLT Speedup තේමාව ඔස්සේ විශේෂිත කාර්ය භාරයක නිරත වෙමින් මේ වසරේදී මේ තේමාව විවිධ ක්‍රීඩා ක්ෂේත්‍රයන්ට යොමු කිරීමට ආයතනය බලාපොරොත්තු වේ. ඒ අනුව මෙවර තරගාවලියට අනුග්‍රාහකත්වය ලබාදී ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන සන්නාම කළමනාකරු රෝහණ එල්ලාවල මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසූවේ වසර එකසිය හැට දෙකක් පැරණි ටෙලිකොම් ආයතනය සැමදා ක්‍රීඩාවේ උන්නතියට අතදුන් බවයි. ක්‍රීඩාව තුළින් යහපත් ගුණධර්ම මෙන්ම ආර්ථික වර්ධනයක් ද ඇතිකරගත හැකි බව රෝහණ එල්ලාවල මහතා පැවසීය.මේ මාධ්‍ය හමුවට අනුග්‍රාහක අයතන නියෝජිතයන් සහ සදර්න් මෝටර් ක්‍රීඩා සමාජයේ සමාජිකයන් රැසක් ද එක්ව සිටියහ.

ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ
ප්‍රියාන් ද සිල්වා - මාතර ක්‍රීඩා

නව අදහස දක්වන්න