එදා මුදල් ගසා කෑ අය අද ‘උදා ගම්මාන’ විවේචනය කරනවා | දිනමිණ

එදා මුදල් ගසා කෑ අය අද ‘උදා ගම්මාන’ විවේචනය කරනවා

ජනතාවට සේවය කරනු වෙනුවට එදා මහජන මුදල් ගසා කෑ පල් හොරුන් පිරිසක් අද වත්මන් උදා ගම්මාන වැඩපිළිවෙළ විවේචනය කරන බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, නිමලගම ඉදිවූ “ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයේදී ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

“යළි පිබිදුනු ගම් උදාව” වැඩසටහන යටතේ දිවයිනේ 158 වන උදා ගම්මානය වන “ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිගම” කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, නිමලගම ප්‍රදේශයේදී ජනතා අයිතියට පත් වෙනවා.

නව නිවාස 27 කින් “ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිගම” උදා ගම්මානය සමන්විතයි. ඉඩමක් හා නිවසක් නොමැති පවුල් 27 කට මෙම ගම්මානයෙන් නොමිලේ ඉඩම් ලබා දී මෙහි නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ඉතා සුළු පොළී ණය මුදල් අප ලබා දුන්නා. ඔවුන් ඊට තම මුදල්ද එක්කර ඉතා අපූරු නිවාස ඉදිකරගෙන තිබෙනවා. මෙම උදා ගම්මානයේ කටයුතු අංගසම්පූර්ණව නිම කිරීම සඳහා රුපියල් ලක්ෂ 316 ක පමණ මුදලක් වැය කර තිබෙනවා. පිරිසිදු පානීය නළ ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් “ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිගම” උදා ගම්මානය සමන්විතයි.

අපේ ඉලක්කය වන්නේ 2019 වසරේ සැප්තැම්බර් මස අවසන් වනවිට රට තුළ උදා ගම්මාන 2500 ක් ඉදිකිරීමයි. මේ වන විට දිවයින පුරා උදා ගම්මාන 1,684 ක පමණ ප්‍රමාණයක ඉදිකිරීම් අප ආරම්භ කර තිබෙනවා. ගම්මාන 2500 ඉලක්කය වෙත යන්නට තවත් ගම්මාන 816 ක් අප ඉදිකළ යුතුයි. මෙම ඉලක්කය ජය ගැනීම අභියෝගාත්මකයි. නමුත් කෙසේ හෝ එම ඉලක්කය ජය ගන්නා බව මා ප්‍රකාශ කරනවා. අපගේ අවසන් ඉලක්කය වන්නේ 2025 දී රටේ උදා ගම්මාන 20,000 ක් ඉදිකිරීමයි. ඒ අනුව පළමු අදියරේදී උදා ගම්මාන 2500ක්, දෙවන අදියරේදී උදා ගම්මාන 5000 ක්, තුන්වන අදියරේදී උදා ගම්මාන 10,000ක් සහ සිව්වන අදියරේදී නැවත උදා ගම්මාන 2500ක් වශයෙන් අප ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවා. ඒ අනුව වසර 2025 වන විට මෙරට උදා ගම්මාන 20,000 ක් ඉදිකර සැමට සෙවණ ලබා දෙන බව මා සතුටින් ප්‍රකාශ කරනවා.

අද දින මෙම ගම්මානයේ පවුල් 27ට නිවාස අයිතිය මෙන්ම රුපියල් ලක්ෂ 324ක් වටිනා බිම් කොටස් 27ක අයිතිය හිමි වනවා. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 200 කට රුපියල් ලක්ෂ 400ක් වටිනා ‘විසිරි නිවාස ණය’ ලබා දෙනවා. පවුල් 100 කට රුපියල් ලක්ෂ 200ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’ ලබා දෙනවා. ප්‍රදේශයේ සිටින දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 250 දෙනකුට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදෙනවා. කුරණ උදාකළ ගම්මානයේ පවුල් 38 කට රුපියල් ලක්ෂ 195 ක් වටිනා නිවාස ණය ප්‍රදානය කරනු ලබනවා. ප්‍රාදේශීය කලාකරුවන් 9 දෙනකුට රුපියල් 90,000ක් වටිනා වෛද්‍ය ආධාර ලබා දෙනවා. “ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්වීමත් සමඟ මෙම ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබාදීමට අප කටයුතු කරනවා.

‘ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි’ හිටපු ඇමැතිතුමා අදහස් ගණනාවක් ඉදිරිපත් කළා. 1994 වසරේදී ඔහු සතුව තිබූ වරදාන, වරප්‍රසාද සියල්ලක්ම භාර දුන්නා යැයි එතුමන් පැවැසුවා. එය උතුම් ගුණාංගයක්. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ගේ සිට මගේ දිවංගත පියාණන් දක්වා අත්දැකීම් රැසක් තිබෙන හොඳ සමාජ සේවකයක් ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මැතිතුමන්. එතුමන් අග්‍රගණ්‍ය වැඩසටහන් රැසක් සිදුකරනවා. වයස අවුරුදු 92 ක්ව තිබියදී මේ වගේ වැඩකටයුතු කිරීම අප සියලු දෙනාටම සතුටට කරුණක්. අපගේ ආයුෂත්ගෙන ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතාට දීර්ඝායුෂ ලැබේවා කියා අප සියලු දෙනා ප්‍රාර්ථනා කරනවා.

අපට විරුද්ධ විවිධ කණ්ඩායම් අලුත් සෙල්ලමක් ආරම්භ කර තිබෙනවා. එනම් අපගේ උදා ගම්මාන වැඩසටහන විවේචනය කිරීමයි. නිවාස ඉදිකිරීමට මෙපමණ මුදලක්ද? නමුත් උත්සවය වෙනුවෙන් මෙපමණ මුදලක්ද වැය වී ඇතැයි කියමින් ඔවුන් ගණන් හදා පෙන්වනවා. එසේ කියමින් මඩ ගසනවා, චරිත ඝාතනය කරනවා, විවේචනය කරනවා. නිවස ඉදිකිරීමට ලබාදුන් මුදල පමණක් නොව ඉඩම් නොමැති ජනතාවට අද නොමිලේ පර්චස් 12ක ඉඩම ලබා දෙනවා. මේ ප්‍රදේශයේ පර්චසයක් රුපියල් ලක්ෂයක් පමණ ‍ වනවා. එවිට නිවස ඉදිකිරීමට පෙර එක පවුලට රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා ඉඩම නොමිලේ ලබා දී තිබෙනවා. එවැනි පවුල් 27කට අද දිනයේ ඉඩම් අප ලබාදී තිබෙනවා.

මේ වේදිකාවේදී ඉඩම ලබා දීම වෙනුවට රුපියල් 5,000කොළ වලින් රුපියල් ලක්ෂ 12 ලබා දුන්නා නම් එවිට රුපියල් ලක්ෂ 12ක මුදලක් ලබා දුන්නා යැයි පවසයි. නමුත් අද රුපියල් ලක්ෂ 12ක් වටිනා ඉඩමේ මේ වන විට රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා නිවසක් ඉදිවී තිබෙනවා. මහගෙදර, කුලියට, බද්දට, යහළුවන්ගේ නිවෙස් වල ජීවත් වූ කිසිදු ඉඩම් කැබැල්ලක් නොතිබුණ අනු පවුල් අද රුපියල් ලක්ෂ 22ක පමණ වත්කම් ඇති අය බවට පත්ව තිබෙනවා. අපගේ උදා ගම්මාන වැඩසටහන කිසිවක් නොමැති අය ලක්ෂපතියෝ කෝටිපතියෝ බවට පත් කරන වැඩසටහනක්.

අමාත්‍යාංශ අරමුදල්වලින් කෝටි ගණනින් වැය කර නිවෙස් ඉදිකර ඒ නිවෙස් තමන්ගේ පවුලේ සාමාජිකයින්ට ලියා ගත් ඇත්තන්ට අද අපගේ උදා ගම්මාන වැඩසටහන උහුලන්නට බැරිව බලා සිටිනවා. යහපාලන රජය නොසිටින්නට මේ ලක්ෂ 22 පෝසතුන් බවට පත්වන්නේ සාමාන්‍ය ජනතාව නොව මැති ඇමතිවරුන්ගේ පවුල් පරපුරයි. මා නම් කිසිවිටක මගේ පරිහරණයට රජයේ කිසිදු වරදාන වරප්‍රසාද භාවිතා කරන්නේ නැහැ. මගේ වැටුපත් නිවාස ඉදිකිරීම උදෙසා ලබා දෙනවා. එසේ සිදුකරන මට රජයේ මුදල් නාස්ති කරනවා යැයි අද සමහරුන් පවසනවා. ඔය චෝදනාවම මගේ පියාණන්ටද එල්ල කළා. මගේ පියාණන් දළදා මාලිගාවේ රන්වියන ඉදිකර බුදු සසුනට පූජා කරන විට ඒ චෝදනා එල්ල කළ ඇත්තන්ගේ දරුවන් පසුගිය පාලන සමයේදී දළදා මාලිගාව ඉදිරිපිට රේස් කාර් පැද්දා. ඒ බෞද්ධකම අතිවිශිෂ්ටයි. නමුත් දළදා මාලිගාව ඉදිරිපිට රේස් කාර් පැද නළඟනන් ගෙනවිත් රැඟුම් ගැයුම් වැයුම් කිරීම නවීන ‍දේශප්‍රේමීත්වය ලෙස ඔවුන් දකිනවා. දළදා මාලිගාවේ රන්වියන ඉදිකිරීම දේශද්‍රෝහී ක්‍රියාවක් වනවා. ඔවුන් ජනතාවට පොවන්නට උත්සාහ කරන ‍බොරු න්‍යාය මෙයයි.

මෙරට උදා ගම්මාන 20,000ක් ඉදිකිරීමේ වැඩසටහනේදී අපගේ නිලධාරීන්ට අද පුද්ගලික ජීවිතයක්වත් නැහැ. නිදිමරා පොදු ජනතාවට ශක්තිමත් සේවාවක් කරන රාජ්‍ය නිලධාරීන් සිටිනුයේ මා ළඟ බව මා ආඩම්බරයෙන් පවසනවා. වැරැදි වැඩකර වැඩ තහනමට ලක්වූ පිරිස කියන කරන දේ මට තඹ සතයකටවත් වැදගත් වන්නේ නැහැ. එය මා ගණන් ගන්නේ නැහැ. දළඹු ලෙඩේ වගේ ඊර්ෂ්‍යාව, කුහකකම, වෛරය, ඉදිරියට පැමිණ නිවාස වැඩසටහන දෙස බලා සිටීමට නොහැකියි. මේ රජය වැඩක් කරන්නේ නැහැ යැයි රටට ප්‍රචාරය කිරීමයි අද ඔවුන්ගේ න්‍යාය පත්‍රය වී තිබෙන්නේ. අප සිදු කරන සංවර්ධන වැඩසටහන අද මුළු රටේම ජනතාවම දන්නවා. කවුරුන් කුමන දේ කළත්, කුමන දේ පැවැසුවත් ඒ සෑම බාධාවක්ම ජය ගනිමින් ජනතාව වෙනුවෙන් ගම්මාන 20,000ක් ඉදිකර සැමට සෙවණ උදා කරන්නට මා සූදානම්, නිවාස අමාත්‍යාංශයට තිබෙන විශාලතම අභියෝගය වැඩ කිරීමේ අභියෝගය නොවෙයි. ඊර්ෂ්‍යාව, කුහකකම, වෛරය, බාධාවන් ජය ගැනීමේ අභියෝගයයි.

අප රට දැය වෙනුවෙන් සේවය කරන විට ප්‍රතිවාදීන් විවිධ ගෝනි බිල්ලන් නිර්මාණය කරනවා. ගෝනි බිල්ලන් නිර්මාණය කරන ව්‍යපෘතියට බලගතු කණ්ඩායමක් සිටිනවා. ගෝනි බිල්ලන් නිර්මාණය කර රටට අලෙවි කරන්නේ ඒ අයයි. අනුන් කළ දෙයක් විවෘත කර පන්සලෙන් එළියට පැමිණ මාධ්‍ය ඉදිරියේදී ගෝනි බිල්ලන්ව මවා පානවා. එය රාත්‍රියේදී විග්‍රහ කරනවා. මේ දේ සිදුකරන්නේ ඇතැම් පිරිසක් පමණයි.

හොර පාරෙන් අගමැතිකම්, ඇමැතිකම් ලබාගත් අය හම්බන්තොට අමරදේව ශූරීන්ගේ නමින් ඉදිකළ ගම්මානයේ ඵලකය විනාශ කළා. අක්ෂි ආබාධ තිබෙන අය වෙනුවෙන් තිස්සමහාරාමයේ ඉදිකළ ‘සියනෙතුගම’ ගම්මානයේ ඵලකය ඔවුන් විනාශ කළා. ‘අතිගරු මහින්ද රාජපක්ෂ ගම්මානය’ ඉදිකරන විට ඒ ගම්මානයේ ඵලකයට කුමක්ද වන්නේ කියා මා බලා සිටිනවා.

නැවත වරක් මේ රටේ දූෂණයට, වංචාවට, භීෂණයට, ඒකාධිපතිත්වයට, ආඥාදායකත්වයට අප කිසිවිටක ඉඩ තබන්නේ නැති බව මා වගකීමෙන් ප්‍රකාශ කරනවා.

නව අදහස දක්වන්න