පොහොට්ටුවේ සහ ශ්‍රීලනිපයේ කසාදයට තව ටික කලක් යාවි | දිනමිණ

පොහොට්ටුවේ සහ ශ්‍රීලනිපයේ කසාදයට තව ටික කලක් යාවි

උපාලි කරුණාරත්න

පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර කසාදයට යම් කාලයක් ගතවනු ඇති බවද මේ දිනවල එහි පොරොන්දම් බැලීම සිදුකරන බවද පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

පක්ෂ දෙක එක්වීමේ කොන්දේසි ඇතුළත් අදාළ ව්‍යවස්ථාව මේ දිනවල සකසමින් තිබෙන බවද කී මන්ත්‍රීවරයා ශ්‍රීලනිපයේ සහ පොහොට්ටුවේ සියලු දෙනා එකඟවන අයුරින් අදාළ ව්‍යස්ථාව සැකසිය යුතු බවත් පක්ෂ දෙක අතර ගිවිසුම අත්සන් කළ පසු එහි සියලු කරුණු කාරණා රටට හෙළි කරන බවත් පැවසීය. ඕනෑම කටයුත්තකදී දුෂ්ටයන් සිටින බවද කී මන්ත්‍රීවරයා එම දුෂ්ටයන්ද කළමනාකරණය කළ යුතු යැයිද කීය. මේ සියල්ලේ අරමුණ ඉදිරි මැතිවරණයන්හිදී එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම බවද ගම්මන්පිල මහතා පැවසීය. මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ ඊයේ (11) පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

දේශපාලනඥයන්ගේ අනුග්‍රහය සහ පොලිසියේ රැකවරණයක් නොමැතිව පාතාලයක් නොපවතින බවද මෙහිදී ප්‍රකාශ කළ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සෑම පාතාල නායකයෙකු පිටුපසම දේශපාලනඥයෙකු සිටින බවත් පක්ෂ පාට බේද අතහැර පාතාලයට සහයෝගය දුන් පුද්ගලයන්ට දඩුවම් ලබාදිය යුතු යයිද කීය.

නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ ව්‍යාපාරවල තිබෙන්නේ මධූෂ්ගේ කළු සල්ලියැයි යමෙකු චෝදනා කරන්නේ නම් ඒ සඳහා සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවද පැවසූ මන්ත්‍රීවරයා සාක්ෂි නොමැතිව ඇතැමුන් තම දේශපාලන එදිරිවාදීන්ට මඩ ගැසීම හෙළා දැකිය යුතු බවද ප්‍රකාශ කළේය. දූරියන් කන පුද්ගලයාට එය සුවඳ වූවාට අනෙකුත් අයට ගද යයිද කී මන්ත්‍රීවරයා මධුෂ් මෙරට මෙන්ම ඩුබායිහිද අපරාධ කළ පුද්ගලයෙක්යැයි පැවසීය. එක්සත් ආරාබි එමීර් රාජ්‍ය සහ මෙරට ආණ්ඩුව අතර ඇතිවන එකඟතාව මත මාකඳුරේ මධූෂ් සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වන බවද ගම්මන්පිල මහතා කීය.

මේ අවස්ථාවට සම්බන්ධ වෙමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සංසදයේ සභාපති සංජය පෙරේරා මහතා ප්‍රකාශ කළේ, නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් ගැටලු රාශියක් පවතින බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පත් කිරීමට නියමිත පුද්ගලයෙකු පිළිබඳව ජනාධිපති කොමිෂම දැනුවත් කරන බවත්ය.

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතාද මේ අවස්ථාවට සහභාගි විය.

නව අදහස දක්වන්න