සීගිරියේ අසරණ පවුලක් දිවියට වාරු ඉල්ලති | දිනමිණ

සීගිරියේ අසරණ පවුලක් දිවියට වාරු ඉල්ලති

දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන සීගිරිය දියකැපිල්ල ප්‍රදේශයේ පදිංචි පවුලක් දැඩි අසරණ තත්ත්වයට පත් ව සිටිති . වකුගඩු දෙකම දැඩි ලෙස නරක් වී සිටින ස්වාමිපුරුෂයාට එක් වකුගඩුවක් ලබාදීමට සිය බිරිය ඉදිරිපත්ව සිටිය ද කුඩා දරුවන් දෙදෙනාගේඅනාගතය සහ ඔවුන් දෙදෙනාට සැත්කමකින් පසුව ජීවත් වීම ඇති වටපිටාව අනාරක්ෂිත වීම හේතුවෙන් වකුගඩු බද්ධ කිරීමේ සැත්කම ‍ප්‍රමාද කිරීමට වෛද්‍යවරු තීරණය කොට ඇතැයි මේ පවුලේ පිරිස හඬා වැටෙමින් පවසති.

සීගිරිය දිය කැපිල්ල ප්‍රදේශයේ පදිංචි එස්.එම් . විජේවීර (47) මහතා මෙසේ දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුගේ බිරිය ඒ .ජී .සුසිල් කාන්ති සහ දාහතර හැවිරිදි පුතා ප්‍රසාද් බණ්ඩාර හත් හැවිරිදි දියණිය ප්‍රසාදනී බණ්ඩාර යන අය දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පා සිටිති.

ගොවිතැනින් ජීවත් වූ මේ පවුල වසර ගණනාවක සිට සැමියාගේ වකුගඩු රෝගය නිසා පීඩාවන් රැසකට මුහුණ පා ඇතැයි ඔවුහු පවසති. මේ හේතුව නිසා දරුවන්ගේ පාසල් ගමන ද අඩපණ වී ඇතැයි බිරිය ඒ. සුසිල් කාන්ති මහත්මිය පැවසුවාය. පවතින ආර්ථික දුෂ්කරතාවන්ගෙන් මිදීම සඳහා සුසිල් කාන්ති මහත්මිය මීට මාස එකහමාරකට පෙර සැමියා සහ දරුවන් ඥාතීන් අක්කා කෙනෙකුට භාර දී මැදපෙරදිග රැකියාවකට ගිය බවත් එහෙත් මාස එකහමාරකින් නැවත පැමිණීමට සිදුවූයේ තම සැමියාගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් බවත් ඇය හඬා වැටෙමින් පැවසුවාය.

විජේවීර මහතාගේ රුධිර පෙරණය සඳහා දිනපතාම දඹුල්ල රෝහලටත් පොලොන්නරුව රෝහලටත් ගමන් කිරීමට සිදුවීම හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවට පත්ව සිටිති.

දැඩි ආර්ථික දුෂ්කරතා නිසා තම දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමට නොහැකි බවත් අඩුම තරමේ ඇදුම් දෙකක් හෝ මසා දීමට නොහැකි නිසාම ඇතැම් දිනවල පාසල් ගමන පවා අත්හිටුවන බව ඔවුහු හඬා වැටෙමින් පැවසූහ. කුඩාවට කාමර දෙකක් තනා ගෙන ඇත්තේ සමෘද්ධි බැංකුවෙන් ලබාගත් ණය මුදලකින් බවත් එම ණය මුදල හෝ ගෙවා ගැනීමට නොහැකිව මේ වන විට අසරණ වී සිටින බවත් විජේවීර මහතා හඬා වැටෙමින් පැවැසීය. කිසිම දිනක රහමෙර, මස් ,මාංශ අනුභව නොකොට ඉතා දැහැමි දිවි පෙවෙතක් ගෙවූ තමන්ට සිදු වූ මේ රෝගය පිළිබඳ තමන් කම්පා වෙන බවද ඔහු හඬා වැටෙමින් කීවේය. මේ අසරණ දරු පවුලට පිහිටක් විය හැකිනම් එය මහඟු පිනකි.

සිගිරිය විශේෂ

නව අදහස දක්වන්න