පොස්පේට් සමාගමට ලක්ෂ 200ක පාඩුවක් | දිනමිණ

පොස්පේට් සමාගමට ලක්ෂ 200ක පාඩුවක්

එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ පොහොර ඇසුරුම් කිරීම සඳහා වැඩි මිලට පොහොර බෑග් මිලට ගැනීමෙන් ආයතනයට රුපියල් ලක්ෂ දෙසීයකට අධික පාඩුවක් සිදුවි තිබේ.

2019 වසර වෙනුවෙන් සමාගමට අවශ්‍ය පොහොර බෑග් 1,200,00 මිල දී ගැනීම සඳහා ටෙන්ඩර් මඟින් සැපයුම්කරුවන් තෝරා ගැනීමේ දී අඩු මිල ගණන් වලට තෝරා නොගෙන වැඩි මිල ගණනකට ටෙන්ඩරය පිරිනැමීමෙන් ආයතනයට මෙම පාඩුව සිදුවී ඇති බව කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණන ඒකකය මගින් හෙළිදරව් කරගෙන තිබේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ කරන ලද ඉල්ලීමකට අනුව ලබාගන්නා ලද එම විගණන වාර්තාවේ ලිපි ගොනුවේ සඳහන් පරිදි මෙම වර්ෂය සඳහා පොහොර බෑග් මිලට ගෙන ඇත්තේ රුපියල් 47.74 බැගින් ය.වැඩි වෙනසක් නොවූ එකම ප්‍රමිතියට ඇති පොහොර බෑගයක් තවත් සමාගමක් විසින් රුපියල් 39.30ට ටෙන්ඩර් මණ්ඩලයට ඉදිරිපත් වී ඇති අතර මෙම මිල ගණන් දෙක අතර වෙනස ගණන් බැලීමෙන් වුව ද ආයතනයට මෙම රුපියල් කෝටියක පාඩුවිඳීමට සිදුව ඇති බව පැහැදිලි වේ. ඉකුත් වර්ෂයේ පොහොර බෑගයක් මිලට ගෙන ඇති මිල ගණන වන්නේ රුපියල් 32කි. එම මිලට සාපෙක්ෂව ගණනය කළහොත් ආයතනය මෙවර ලබා ඇති පාඩුව රුපියල් කෝටි දෙක ඉක්මවයි.

පොස්පේට් සමාගමේ බෑග් මිලට ගැනිමේ ටෙන්ඩර් දැන්වීමට අනුව පොහොර බෑග් නිෂ්පාදනය කරනු ලබන සමාගම් 6ක් මිල ගණන් ඉදිරිපත් කර තිබේ. අනතුරුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනට බෑග් සාම්පල ඉදිරිපත් කිරිමෙන් පසුව වැඩි මිලට තෝරාගත් සාම්පලයේ ගුණාත්මකතා දර්ශකයන් ද අඩු මිලට ඇති සාම්පලයේ ගුණාත්මකතා දර්ශකයන් ද සමස්තය සෑහීමකට පත්විය හැකි ප්‍රතිඵලයක ඇති බවට එම පරීක්ෂණ වාර්තාවේ දැක්වේ.එමෙන්ම එම සාම්පල පොස්පේට් සමාගමේ තාක්ෂණ ඇගයුම් කමිටුවට ද ඉදිරිපත් කර ඇති අතර එහි දී නිර්දේශ වී ඇත්තේ මෙම බෑග් වල වර්ණය තිබිය යුත්තේ කහ පැහැතිව වුව දලැබී ඇත්තේ සුදු පාට සාම්පල් බවත් අඩුම මිල ගණනේ බෑගය හා වැඩිම මිල ගණනේ බෑගය යන දෙකම සුදුසු තත්ත්වයක පවතින බවත් ය.

මෙ ම තත්ත්වයන් සැලකිල්ලට ගෙන නිලධාරීන්ගේ අක්‍රමිකතාවලින් ආයතනයට සිදුකරන මෙවැනි පාඩු කිරීම් නිසා පොස්පෙට් සමාගමේ පැවැත්ම අවිනිශ්චිත තත්ත්වයකට ඇද වැටි ඇති බව එම සමාගමේ මුදල් කළමනාකාරවරයා ඉකුත් 2019-01-08 දින ආයතනයේ සියලුම විධායක නිලධාරීන්ට දැනුම් දී තිබේ. එම ලිපියේ දැක්වෙන්නේ දැනට ආයතනය සතුව ඉතිරිව ඇති රුපියල් මිලියන 250ක ස්ථාවර තැන්පතුව හේතුවෙන් ආයතනය පවත්වාගෙන යන නමුත්

එම මුදල යම් හෙයකින් මහාභාණ්ඩාගාරය විසින් එම මුදල පවරා ගනු ලැබූවහොත් ආයතයේ පැවැත්මක් නොවන අතර පවතින එම මුදල ඉදිරි මාස හයක් සඳහා ප්‍රමාණවත් වන බවකි.

මේ සම්බන්ධයෙන් ලංකා පොස්පේට් සමාගමේ සාමාන්‍යධිකාරී එච්.ආර්.යූ.ඩී.බණ්ඩාර මහතාගෙන් කළ විමසුමේ දි ඒ මහතා ප්‍රකාශ කළේ තමාගේ ද කැමැත්ත අඩු මිලට ඇති බෑග් මිලට ගැනිම වුව ද මෙවර ඉදිරිපත්වූ මිල ගණන් අනුව ප්‍රමිති ආයතනයෙන් ලබාගත් වාර්තාවන්ට අනුව සුදුසු තත්ත්වයේ ඇති බෑගය ලෙස රුපියල් 47.74 බෑගය තෝරාගත් බවයි.

අනුරාධපුර විශේෂ සරත් මනුල වික්‍රම

නව අදහස දක්වන්න