අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නට පාකිස්තානයෙන් ගෞරව පදක්කමක් | දිනමිණ

අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නට පාකිස්තානයෙන් ගෞරව පදක්කමක්

මේ දිනවල පාකිස්තානයේ පැවැත්වෙන අමාන් ජාත්‍යන්තර නාවික අභ්‍යාසයට (Aman International Naval Exercise) සහභාගී වී සිටින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට පාකිස්තාන රජය Nishan-e-Imtiaz (Military) නැමති ගෞරවාන්විත හමුදාමය පදක්කම පිරිනමා තිබේ.

පාකිස්තානයේ ජනාධිපති අරිෆ් අල්වි මහතා ඉස්ලාමාබාද් නගරයේ දී පැවැති විශේෂ උත්සවයක දී පෙරේදා (13) දින මෙම පදක්කම් ප්‍රධානය කැ ඇත.

අද්මිරාල් විජේගුණරත්න 1995 දී පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාලයෙන් ගෞරව (B S c Honors- War Studies) උපාධිය ලබා ඇති අතර, එය මෙරට හමුදා නිලධාරියකු ලද ප්‍රථම උපාධිය ලෙස ඉතිහාසයට එක්ව ඇත.

අද්මිරාල් විජේගුණරත්නයන් අසමමිතික නාවික සංග්‍රාම (Asymmetric Naval Warfare) හා කුඩා යාත්‍රා මෙහෙයුම් පිළිබඳ විශේෂඥයකු වන අතර, නාවික හමුදාවේ කොමාණ්ඩෝ බළකාය ලෙස සලකන විශේෂ යාත්‍රා බලගණයේ (Special Boats Squadron (S B S))නිර්මාතෘ මෙන්ම එහි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ද වන්නේය.

පාකිස්තානයේ ලාහෝර්හි පිහිටි යුද පාසලෙහි (War College) නිත්‍ය කතිකාචාර්යවරයකු ද වන විජේගුණරත්නයන්, යුදබිමේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා අසමමිතික නාවික මෙහෙයුම් පිළිබඳ සිය දේශන පවත්වයි.

නාවික හමුදාධිපති ධූරය දරණ සමයේ දී මෙන්ම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වර්ථමානයේ දී දෙරටේ හමුදාමය සම්බන්ධතාවන් වර්ධනය කිරීමෙහිලා ඔහු මහත් සේවයක් සිදු කර ඇත. එහි ප්‍රථිඵලයක් ලෙස 2018 වසරේ දී, දෙරටේ හමුදාවන් අතර පැවැති මාණ්ඩලික සාකච්ඡාවන් දැක්විය හැකිය.

Nishan-i-Imtizනමින් හැදින්වෙන පදක්කම සුවිශේෂී ජයග්‍රහණ උදෙසා එරට සිවිල් පුද්ගලයට පිරිනමන ඉහළම අගැයීම් සම්මානය වේ. එම පිදුම සිවිල් පුද්ගලයන් මෙන්ම හමුදාමය පුද්ගලයන්ට පවා පිරිනමයි. ඔවුන් එය හමුදා පළඳනාවක් ලෙස තම නිල ඇඳුමෙහි පලඳියි.

මේ Nishan-e-Imtiaz නමැති පදක්කම, පාකිස්තාන රජය පිරිනමන්නේ විදේශීය රටවල රාජ්‍ය ප්‍රධානීන්ට පමණි. එමෙන්ම ප්‍රශංසනීය හමුදා සේවයකට හිමිකම් කියන ජෙනරාල් (යුද්ධ හමුදා) , අද්මිරාල් (නාවික හමුදාව, වෙරළාරක්‍ෂක හෝ මැරීන් බළකාය) සහ එයාර් චීෆ් මාර්ෂල් (ගුවන් හමුදාව) යන නිලයන් සඳහා ද මෙය පිරිනයි.

අතිශයෙන්ම සීමිත හා ගෞරවාන්විත ප්‍රධානයක් වන Nishan-e-Imtiaz නමැති පදක්කම, අමෙරිකා එක්සත් ජනපද රජය ප්‍රධාන කරන ජානාධිපති නිදහස් පදක්කම සහ මහා බ්‍රිතාන්‍ය පිරිනමන Order of British Empire-UK යන පදක්කම්වලට දළ වශයෙන් සමානත්වයක් උසුලයි.


නව අදහස දක්වන්න