දේශපාලන බලය ඔටුන්නක් නොව වගකීමක් බව පසක් කරගත් හිටපු ජනාධිපති ඩී. බී | දිනමිණ


 

දේශපාලන බලය ඔටුන්නක් නොව වගකීමක් බව පසක් කරගත් හිටපු ජනාධිපති ඩී. බී

අපගේ අවසන් රාජධානිය වූ කන්දඋඩරට සෙංකඩගල නුවර දළදා වහන්සේගේ ආශීර්වාදය ලත් ලෝ ප්‍රකට පින් බිමකි. සමනල කඳු සිරසින් මතුව ගලාබස්නා සිසිල් දිය පිරි රමණීය මහවැලි ගංගාවෙන් හා හන්තාන, හුන්නස්ගිරි හා මාතලේ කඳු වළල්ලෙන් වට වූ මෙම සුවිසල් සානුව සියවස් ගණනක් තිස්සේ සිහල නරපතියන්ගේ හා රණ ශූරයන්ගේ ආරක්ෂක ස්ථානය විය. 1916 පෙබරවාරි 15 දින ඓතිහාසික සෙංකඩගලනුවර ආසන්න මනරම් ගම්පියසක් වූ උඩුනුවර සැදැහැවත් බොදුනු පවුලක උපන් ඩී. බී. විජේතුංග පිංවත් දරුවාගේ ජන්ම පත්‍රයෙහි උපතින්ම බලවත් රාජ යෝග පිහිටා තිබූ බැව් කියනු ලැබේ.

විජේතුංග දරුවා අධ්‍යාපනය සඳහා ඇතුළු වූයේ ගම්පල ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයටය. අධ්‍යාපනය නිමවා රජයේ සේවයට බැඳුණු තරුණ විජේතුංගයනට පරිපාලන අත්දැකීම් ලබමින් ම මෙරට නිදහස් සටනේ පුරෝගාමීන් වූ ජෝර්ජ් ඊ. ද සිල්වා හා ඒ. රත්නායක වැනි ආදර්ශමත් දේශපාලකයන්ගේ සමීප ඇසුරට පත්වීමෙහි අවස්ථාව උදාවිය. එහි ප්‍රතිඵලය වූයේ විජේතුංගයන් මහාමාන්‍ය ඩී. එස්. සේනානායක රජයේ ආහාර හා සමුපකාර අමාත්‍ය ඒ. රත්නායක මැතිඳුන්ගේ පෞද්ගලික ලේකම් තනතුරට පත්වීම ය. ගරු ඒ. රත්නායකයන් බඳු කෘතහස්ත දේශපාලනඥයකු ඇසුරෙහි දේශපාලනයට අත්පොත් තැබීමේ භාග්‍ය ලත් එතුමන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නේ තරුණ වියේදීම ය. එනම් 1946 වර්ෂයේදී ය.

1965 මහ මැතිවරණයේ දී උඩුනුවර ආසනය පහසුවෙන් දිනාගත් විජේතුංග මැතිඳුන් මහත් වූ ජන ප්‍රසාදය දිනාගන්නේ ජනතා මෙහෙවරෙහි දැක්වූ නිර්ව්‍යාජ කැපවීම හේතුවෙනි. 1970 දී පරාජයට පත් වුවද ඉන් නොසැලුණු හෙතෙම 1977 දී සිය අසුන රැක ගැන්මෙහි යළි සමත් විය. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරය හිමිවූයේ එතුමාට ය. දස වසරකට වැඩි කාලයක් තුළ එතුමා දැරූ තනතුරු අතර තැපැල් හා විදුලි සංදේශ, බලශක්ති, මහා මාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය ධුර ද වූ අතර එතුළින් පරිණත ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වීමේ අවස්ථාව එතුමාට හිමි විය.

කෙටි කලක් වයඹ පළාත් ආණ්ඩුකාර පදවිය ද දැරූ විජේතුංග මැතිතුමා 1989 මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම මනාපයෙන් නැවත පාර්ලිමේන්තුවට පත්වීම විශේෂ සිද්ධියක් විය. විජේතුංග මැතිඳුන්ගේ ගමන් මගෙහි දෙවැනි ජයග්‍රාහි පියවර වූයේ රණසිංහ ප්‍රේමදාස ජනපතිඳු යටතේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම ය. එම පදවිය දරමින් ම එතුමා මුදල්, කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍ය මෙන්ම රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය ද දැරීමෙහි සමත් විය.

විරුද්ධ මත ඉවසීම, දේශපාලන හෝ වෙනත් සීමාවන් තුළ කොටු නොවී විවෘත මනසකින් බැලීමේ, පොදු දේපොළ අරපිරිමැස්මෙන් හා සාධාරණ ලෙස පරිහරණය කිරීමේ වගකීමෙන් අප සියලු දෙනා බැඳී සිටින බැව් එතුමා අපට ඉගැන්වූ පාඩම් විය. දේශපාලන බලය ඔටුන්නක් නොව වගකීමක් බැව් බොහෝ නවකයින් පමණක් නොව ජ්‍යෙෂ්ඨයන් ද අමතක කරන කාලයක මෙතුමාගේ පරමාදර්ශය අපට පහන් ටැඹක් වෙයි.

නව පදවියට පත් එතුමන් ගුරු කොට ගත්තේ දස රාජධර්මයයි. ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනයෙහි අකුරටම අනුගතව හෙතෙම නිසි කල කැඳවූ ජනපතිවරණයෙන් ජනතා වරම්ලත් ප්‍රතිපක්ෂයේ නායිකාව වෙත සිය නිලය හා බලතල අනලස්ව පවරා දුන්නේ දරු සෙනෙහසින් දියණියක වෙත සිය හස්තසාර වස්තුව පවරන්නා වූ පියෙකුගේ ස්වරූපයෙනි. අනූතුන්වසරක් ආයු වලඳා එතුමන් දිවි මග අවසන් කළේ මාලිගයක නොව රැයෙහි හා දහවලෙහි ජනතා ඉල්ලීම් සවනට ගත් උඩුනුවර සුපුරුදු නිවස්නයේදීය.

විජේතුංග ලකුණ බොහෝ කල් ජන හදවත් තුළ නොමැකී පවතිනු ඒකාන්තය. එතුමන් වැනි උදාර නායකයින්ගේ පහළවීම බෙහෙවින් ම විරල සංසිද්ධියක් වන හෙයින් අපගේ කාලයේ අද්විතීය යුග පුරුෂයකු ලෙස විජේතුංග නාමය ලක් ඉතිහාසයට එක්වනු ඇත. ජනපති ඩිංගිරි බණ්ඩා විජේතුංග මැතිඳුනට නිවන් සුව අත්වේවා!

කරු ජයසූරිය
පාර්ලිමේන්තුවේ කථානායක

අදහස් 2ක් ඇත

awasan garutharaya ohuya!

kawuda pani nokanne?

නව අදහස දක්වන්න