ජාතිවාදය පිටුදැකි අව්‍යාජ දේශපාලනඥයා අනුර බණ්ඩාරනායක | දිනමිණ

ජාතිවාදය පිටුදැකි අව්‍යාජ දේශපාලනඥයා අනුර බණ්ඩාරනායක

අදට (15) යෙදෙන අනුර බණ්ඩාරනායකයන්ගේ 70 වැනි උපන්දිනය වෙනුවෙනි.

ශ්‍රී ලංකා දේශපාලනයේ එක් යුගයක් වර්ණවත් වූයේ දිවංගත අනුර බණ්ඩාරනායක නිසාය. එතුමා දෙස් විදෙස් පතල කීර්තියක් ලැබූ රාජ්‍ය නායකයන් දෙපළක් වූ ශ්‍රීමත් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන්ගේ සහ ලොව පළමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ එකම පුත්‍රයා විය. ඔවුන්ගේ නොමද සෙනෙහස මැද වැඩුණු කුඩා අනුර වෙත ලංකාවේ කොයි කාගේත් නෙත් යොමු වී තිබුණේ කෙදිනක හෝ ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත්වනු ඇතැයි යන හැඟීම නිසාය. එහෙත් දෛවයේ කුමන හෝ කරුණක් නිසා මේ දයාබර මානව හිතවාදී නායකයාට එම තත්ත්වයට පත්විය නොහැකි විය. මෙයට හේතුවක් වන්නට ඇත්තේ එතුමා කිසිම විටක සටකපට අවස්ථාවාදී දේශපාලනයක නිරත නොවීමත් ඇසුරට වැටුණු පවිටු මිතුරන්ගෙන් වූ හානියත් වන්නට ඇත. මේ නිසා දේශපාලනය අම්බරයේ ඉහළම හිනිපෙත්ත වන රාජ්‍ය නායකත්වය පෙනි පෙනී එතුමාට එය අහිමිව ගියේය. ඒ ගැන ලංකාවේ වැදගත් පුරවැසියන් තුළ බලවත් කනගාටුවක් අදටත් තිබේ.

අනුර බණ්ඩාරනායකයන්ගේ දේශපාලන ජීවිතයේ කෙදිනකවත් ජාතිවාදය, ආගම්වාදය දක්නට නොවූයේය. ඒ බව ඔහුගේ පාර්ලිමේන්තු දේශන, ප්‍රසිද්ධ දේශපාලන කතා හා ශාස්ත්‍රීය දේශන පිරික්සන විට පෙනී යයි. එතුමා සැබැවින්ම මානව හිතවාදියෙකු විය. හැම ජන කොටසකටම ආදරය කළේය. හැම ආගමකටම ගරු කළේය. කෙනෙකුගේ ජාතිය හෝ ආගම් පදනම් කරගෙන එතුමා කාටවත් පහර ගැසුවේ නැත.

අනුර බණ්ඩාරනායක සිය දේශන ලිව්වේ තමා විසින්මය. සංස්කරණය කළේ තමාමය. එතුමා ලස්සන ඉංග්‍රීසි අත් අකුරින් ලියු පිටපත් මා දැක ඇත. එතුමා සිය කතාවක් අවසන් කරන්නේ සම්භාවනීය බටහිර ලේඛකයකුගේ කවියක් හෝ වැකියක් සිය කතාවට අපූර්වට ගලපා ගනිමින්ය. එතුමා විලියම් ශේක්ෂ්පියර්, ටී. එස්. විලියට් වැනි බටහිර කවීන්ගේ නිර්මාණ මැනවින් අධ්‍යයනය කර ඇත. ඒවා හොඳින් තේරුම් ගන්නා මහා රසඥතාවක් ඔහුට තිබුණි. මට සරත් අමුණුගම මහතා වරක් පැවසුවේ අනුර බණ්ඩාරනායක පිටරට සම්භාවනීය චිත්‍රපට බැලීමේ ලෝලියෙක් බවයි. එසේම එතුමා මට තවත් වරක් ප්‍රකාශ කළේ අනුර තම අත්අකුරින් ලියා එවූ පණිවිඩ තාමත් ඔහු ළඟ තිබෙන බවයි. එලෙස අනුර බණ්ඩාරනායකයන් තමාගේ කිට්ටු මිතුරන් වෙත අතින්ම ලිවීමේ පුරුද්දක් විය.

අනුර බණ්ඩාරනායකයන් හැදී වැඩුණේ කලබලකාරී අවිවේකී පරිසරයක වුවත් පොතපත කියවීම, කවි නිර්මාණය, කියවීම, නවකතා පරිශීලනය, විදෙස් සම්භාවනීය චිත්‍රපට හා නාට්‍ය නැරඹීම යනාදිය නොකඩවා කළේය. සිය පියාද අපමණ කියවීමේ ලෝලියකු විය. ඒ ආරය ද ඔහුට බලපාන්නට ඇත. ඔහු කෙතරම් බරපතළ කරුණුවලට මුහුණ පා සිටිය ද සැහැල්ලුවෙන් සිනාමුසු මුහුණකින් ගත කළේය. එතුමා කිට්ටුවෙන් ඇසුරු කරන්නට මට ලැබුණු නිසා මට පෙනී යන්නේ ඔහු තුළ විවිධ විෂයයන් ගැන පෘථුල දැනුමක් තිබූ බවයි. ඉතිහාසය, සාහිත්‍ය, දේශපාලන දර්ශනය හා ආර්ථික දර්ශනය පිළිබඳව එතුමාට සමකළ හැකි දැනුමක් තිබූ අය පාර්ලිමේන්තුවේ සිටියේ අල්ප පිරිසකි. අතීත රාජ්‍ය සභාව උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් හා විශිෂ්ට පරම්පරාවල පුද්ගලයන්ගෙන් සමන්විත වුවත් නූතනය එසේ නොවන බව ප්‍රසිද්ධ මතයයි.

අනුර බණ්ඩාරනායකයන්ගේ මඟපෙන්වීම, ඇසුර හා උදව් නිසා දේශපාලනයේ හිනිපෙත්තටම ගිය අය අද දේශපාලනයේ ඉහළින්ම වැජඹෙති. එසේ වුවත් ඔවුන් කිසිම කෙනෙකු එතුමාගේ උපන්දිනයට හෝ අනුස්මරණයට හෝ ලිපියක්, අනුස්මරණ උත්සවයක්, දේශනයක් පවා දානයක්වත් දීමට කෘතඥතාවක් නොමැත. ඒ තරමටම අද දේශපාලන සමාජය පිරීහීමට හෝ විකෘති තත්ත්වයට පත්ව ඇත. කෙළෙහිගුණ අන්තයට පිරිහී ගොස්ය.

අනුර බණ්ඩාරනායක මහතා තම හොරගොල්ල වලව්වේ ඉඩමේ අතිශය වාණිජමය වටිනාකමක් සහිත නුවර කොළඹ පාර අද්දර අක්කර ගණනාවක් තම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි කම්කරුවන්ට බෙදා දුන්නේය. නූතන දේශපාලනයේ එබඳු ලෙස කළ කිසිවෙකු නැත. මෙලෙස ක්‍රියා කළේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, පිලිප් වැනි දේශපාලනඥයෝය. ලංකාවේ නූතනයේ නම් 99% ක්ම දේශපාලනඥයන්ගේ ක්‍රියාදාමය වන්නේ පරම්පරා සඳහා ද ධනය රැස් කිරීමය. 1977න් පසු මෙරට දේශපාලනය දරුණු සෝදාපාළුවකට ලක්වීම නිසා දේශපාලනඥයන් ධනය හා බලය පසුපස හඹායෑම ප්‍රකට කරුණක් විය. මේ නිසා අනුර බණ්ඩාරනායක වැනි දේශපාලනඥයෝ අද දුර්ලභය. අද ඒ නිසා මහජනතාවගේ ප්‍රශ්න දිනපතා ඉහළ යනවා මිස පහළ යන්නේ නැත.

අනුර බණ්ඩාරනායක මහතා රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හමාර කොට ලොව ප්‍රකට විශ්ව විද්‍යාලයක් වන ලන්ඩන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඉතිහාසය පිළිබඳ පළමු පෙළේ ගෞරව උපාධිය දිනා ගත්තේය. එතුමාට එම විශ්ව විද්‍යාලයෙන් ලැබූ කථිකාචාර්ය ධුරයත් අතහැර තමාට සිය පවුලෙන් උරුම වූ දේශපාලනයට නායකත්වය දෙන්නට ලංකාවට පැමිණියේය. එතැන් සිට ශ්‍රීලනිපයේ ශාඛා සමිතියේ සිට ජාතික මට්ටම දක්වා සියලුම අංශ විධිමත් කරමින් ශක්තිමත් කරමින් ඒවාට මාර්ගෝපදේශකත්වය හා නායකත්වය දෙමින් පක්ෂය මෙහෙයවීය. 1977 අන්ත පරාජයක් ලබද්දී තරුණ නායක අනුර නුවරඑළියෙන් 49,000 කට අධික ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේ දින 6ක් පමණක් එම ආසනයේ මැතිවරණයට යෙදීමෙනි. නුවරඑළිය මස්කෙළිය බහු ආසනයේ එතුමා දෙවැනි මන්ත්‍රීවරයා වන්නේ තොණ්ඩමන් නැමැති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා තෙවෙනියා කරමින්ය.

දමිළ වතු කම්කරුවන් අති බහුතරයක් ඇති නුවරඑළිය, මස්කෙළිය ආසනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්පසු කිසි දිනක එබඳු ඉහළ ඡන්ද ප්‍රතිශතයක් නොලැබු බව පෙනේ. ඉන් ගම්‍ය වන්නේ අනුරගේ ජනප්‍රියත්වය සංවිධාන ශක්තියත් හා කථිකත්වයත්ය. ඔහු 1977 මැතිවරණයට රට පුරා ගියේය. සෑම ආසනයකට රැස්වීම් ඇමතීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටෙන්නට ගිය අඩියෙන් ගොඩ ගත්තේ අනුරය. 1977 න් පසු බලය හිමි එජාපය විපක්ෂය සමතලා කිරීමට කටයුතු කරද්දී ඊට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 8ක් සමඟ කරට කර සටනක් දුන්නේ සිය වාග් චාතුර්යයේ මහිමයෙන්ය. එජාප නායකයන්ට හීන් දාඩිය දමන්නට අනුර සිය වාග් සංග්‍රාමය මෙහෙයවීය. ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව මෙල්ල කළේ සිය චතුර කථිකත්වයෙනි. අනුර කතා කරන විට ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවෙන් නැගිට යන තත්ත්වයට ඔහුගේ වාග් ප්‍රහාර තියුණු මෙන්ම තාර්කික විය.

1977 න් පසු ශ්‍රී ලංකා නිදහස් පකෂය ඇද වැටුණු තත්ත්වයෙන් පක්ෂය ක්‍රමිකව ගොඩනැඟීමට අනුර ක්‍රියා කළේය. ඇතැම් අය විවිධාකාර කුමන්ත්‍රණ කළත් ඒවාට සාර්ථකව මුහුණ දෙමින් රට පුරා පක්ෂයේ ශාඛා සමිති ගොඩනගමින් සාකච්ඡා සම්මන්ත්‍රණ පවත්වමින් පක්ෂය ගොඩනැගිය. අද මෙන් එදා මුදලට දේශපාලනය කරන තත්ත්වයක් නොවීය. එදා දේශපාලනය කළ පිරිස් එය කළේ අවංකවමය. ජනතාවටත්, දේශපාලන ක්‍රියාකාරීන්ටත් අවංක හැඟීමක් දේශපාලනය ගැන එදා තිබුණි. ඒ නිසා අද මෙන් එදා දේශපාලනය සංකීර්ණ අවුල් ජාලාවක් නොවුණි.

අනුර බණ්ඩාරනායකයන් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල සිටි ළාබාලම විපක්ෂ නායකයා විය. ඔහු විපකෂ නායක ලෙස සිය කාර්යභාරය නියමාකාරයෙන් ඉටුකළේය. සිය තනතුර ජනතා සුබසෙත සඳහාත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසාත් හෙතෙම කැප කළේය. එසේම මෙතුමා ලංකාවේ කීර්තිමත්ම කතානායක ලෙස කතානායක පුටුව බැබළවිය. අනුර බණ්ඩාරනායක මහතා කතානායක ධුරයේ කීර්තිය හා බලය නිසි ලෙස රැකි ආකාරය ගැන ආදර්ශයක් ලබාදෙයි. එතුමාගේ අඩුව වර්තමාන දේශපාලනයට බලවත් පාඩුවකි. මේ විචිත්‍රවත් දේශපාලනඥයාගේ වාග් චාතුර්යයෙන් ඔප් නැංවුණු ශ්‍රී ලංකා දේශපාලන වේදිකාවට යළිත් එබඳු ප්‍රතාපවත් චරිත නොලැබෙනු ඇත.

ගාමිණි ගුණසේකර
සභාපති
අධ්‍යාපන මිත්‍රත්ව සංසදය


නව අදහස දක්වන්න