ව්‍යපාර කිරීමේ පහසු දර්ශකයේ ශ්‍රී ලංකාව 100 වැනි ස්ථානයට ඇවිත් | දිනමිණ

ව්‍යපාර කිරීමේ පහසු දර්ශකයේ ශ්‍රී ලංකාව 100 වැනි ස්ථානයට ඇවිත්

කමනි අල්විස්

ලෝක බැංකුව විසින් පවත්වාගන යනු ලබන ‘ව්‍යාපාර කිරීමේ පහසු දර්ශකයේ’ Doing Business Index සියවෙනි ස්ථානයට වසර 2018 දි පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව සිටින බව පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට ආයෝජන ලබාගැනීමට මෙය ඉමහත් පිටිවහලක් වන බවත් ඇමැති ආචාර්ය සිල්වා මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

රටවල් එකසිය අඩුවක් මෙම දර්ශකයේ සිටින අතර මිනුම්පති දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ නගර සභාව තම සේවා කටයුතු අන්තර්ජාලයට එක් කරමින්, ප්‍රධාන සේවාවන් පහසුවෙන් කල්ගත නොවී කලට වේලාවට ඉටුකර දීමට ලබාදුන් විශාල දායකත්වයේ ප්‍රතිඵලයන් ලෙස මෙම තත්ත්වය ලබාගැනීමට හැකිවුණ බවත් කැබිනට් නොවන ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේය. අදාළ ආයතන කාර්ය සාධක බළකායක් ලෙස විශිෂ්ට සේවාවක් ඉටුකළ බවත් ඇමැති ආචාර්ය ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකාව අදාළ දර්ශකයේ සියවෙනි ස්ථානය ලබාගැනීම නිවේදනය කර තිබුණේ දින පනස්දෙක තුළදී බව පැවසූ කැබිනට් නොවන ඇමැති ආචාර්ය සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රචාරය ලබා නොදීමට එම කාල පරාසයේ සිටි උදවිය ක්‍රියා කර තිබෙන බවත් ප්‍රකාශ කළේය. ආයෝජන ඩොලර් තම රටවලට ලබා ගැනීමේ තරගය මෙම දර්ශකය යටතේ සිදුවන බව පැවසූ කැබිනට් නොවන ඇමැති ආචාර්ය සිල්වා මහතා අප රට ආයෝජන සඳහා පහසුකම් සපයන රටක් ලෙස මෙයින් දැක්වෙන බව පැවසීය.

කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් නොවන ඇමැති ආචාර්ය හර්ෂද සිල්වා මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කැබිනට් නොවන ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේද පැවසීය.

අදාළ දර්ශකයේ වසර 2013දී ශ්‍රී ලංකාව සිටියේ 113 ස්ථානයේය. වසර 2015 දී 109 වන ස්ථානයත් වසර 2016 දී 110 වන ස්ථානයත් වසර 2017 දී 111 වන ස්ථානයත් ශ්‍රී ලංකාවට ලැබී තිබුණි. වසර 2018 දී පියවර එකොළහක් පසුකර සියවන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම මහතාගේ නායකත්වයෙන් ඇති කළ කාර්ය සාධක බළකායේ නියමුවා ලෙස කැබිනට් නොවන ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ක්‍රියාකළ අතර එම කාර්ය සාධක බළකායේ ශක්තියෙන් ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය හිමි වී තිබේ.

නව අදහස දක්වන්න