ජාතික රෝහලට පෙට් ස්කෑනරයක් | දිනමිණ

ජාතික රෝහලට පෙට් ස්කෑනරයක්

උපාලි කරුණාරත්න

රුපියල් කෝටි 400ක පමණ වියදමින් පෙට් ස්කෑනර් යන්ත්‍රය සහිත ඒකකයේ වැඩ කටයුතු කොළඹ ජාතික රෝහලේ ඊයේ(14) ආරම්භ කෙරිණ.

ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ සෞඛ්‍ය ඇමැතිවරයාගේ මැදිහත්වීම මත මෙහි කටයුතු ආරම්භ කිරීමට හැකිවූ බව ප්‍රකාශ කළ වෛද්‍යවරුන් මෙම පෙට් ස්කෑනර් යන්ත්‍රය සඳහා අවශ්‍ය කරන ඖෂධය ඒ අනුව ගෙන්වා ගත් බව ද පැවසීය. අදාළ ඖෂධය ඉන්දියාවේ චෙන්නායි සිට ගෙන ආ බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ යන්ත්‍රය මගින් පිළිකාවක මූලික අවස්ථාවක්, ඇට මිදුලුවක තිබෙන පිළිකා ගැටිත්තක් පවා සොයාගත හැකි බව කී වෛද්‍යවරුන් අනෙකුත් රෝගී තත්ත්වයන්ද ඉතා සියුම්ව සොයා ගත හැකි බව පැවසීය.

මහරගම රෝහලේ ද මේ වන විට පෙට් ස්කෑනර් යන්ත්‍රයක් සවිකර ඇති අතර ජාතික රෝහලේ පෙට් ස්කෑනර් යන්ත්‍රය ජනතා අයිතියට පත්කරන දෙවන පෙට් ස්කෑනර් යන්ත්‍රය බව ද වෛද්‍යවරුන් ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙරට ජනතාවට ‍මෙම පෙට් ස්කැනර් යන්ත්‍රය මගින් විශාල සේවාවක් ලබා ගත හැකි වනු ඇති බවද පැවසූ වෛද්‍යවරුන් පෙට් ස්කැනර් පරීක්ෂාවක් පෞද්ගලික අංශයෙන් කර ගන්නවා නම් රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් වැය බවද පැවසීය.

මෙම පෙට් ස්කෑනර් යන්ත්‍රය මගින් දිනකට රෝගීන් 30-40ක් වුවද පරීක්ෂාවට ලක් කළ හැකි බව පැවසූ වෛද්‍යවරුන් ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති පෙට් ස්කැනර් යන්ත්‍රයේ සේවාව මෙරට රෝගීන්ට නොමිලේ ලබාගත හැකි යයිද ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න