මත්කුඩු මැඬලීමේ දී ස්වාධීන කොමිෂන් සභා ශක්තියක් වුණා | දිනමිණ

මත්කුඩු මැඬලීමේ දී ස්වාධීන කොමිෂන් සභා ශක්තියක් වුණා

කමනි අල්විස්

වසර 2024දී කොළඹ පැල්පත්වලින් තොර නගරයක් කරනවා
- ඇමැති පාඨලී චම්පික රණවක

මත්කුඩු ජාවාරම මැඬලීමට විශ්වාසයෙන් ස්වාධීනව ක්‍රියා කිරීමට පොලිසියට හා අධිකරණයට ශක්තිමත් නොසැලෙන දායකත්වය ලබා දුන්නේ ස්වාධීන කොමිෂන් සභා මඟින් බව තරයේම සිහිපත් කරගත යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ස්වාධීන කොමිෂන් සභාවලට පහරදීමෙන් මත්කුඩු ජාවාරම මැඬලීමට ක්‍රියාවට නංවා තිබෙන මහඟු වැඩපිළිවෙළ අඩපණවීමට හැකි බවත් මෙහිදී අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනමවැනි සංශෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට දිගුකාලයක සිට සැලසුම් සිදුකළ බව පැවසූ අගමැතිවරයා එහි සාර්ථක ප්‍රතිඵල පසුගිය කාලයේදී ලබාගත් බවත් පැවසීය. එබැවින් වර්තමානයේ අප සැවොම දේශපාලන වාද භේදවලින් තොරව පදනමක් නොමැති විවේචන සිදු නොකර මත් උවදුරු වැඩපිළිවෙළ අඩපණ නොකළ යුතු බව අවධාරණය කළ අගමැතිවරයා මත් උවදුර මැඬලීමට සැවොම එකා මෙන් එක්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී පෙන්වා දුන්නේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ මාළිගාවත්තේ ඉදිකළ ලක්හිරු සෙවණ නිවාස අදියරේ දෙවන අදියර පසුගියදා (12) ජනතා අයිතියට පත්කර දීමෙන් පසුව පැවැති චාම් උත්සවය අමතමින්ය.

රුපියල් මිලියන එක්දහස් පන්සිය තිස්හයක (1536) ආයෝජනයකින් ඉදිකළ මෙම නිවාස සංකීර්ණය නිවාස ඒකක තුන්සිය අසූහතරකින් (384) හෙබීය. මහල් එකොළහකින් නිවාස සංකීර්ණය සමන්විත වෙයි. නිවැසියන්ගේ පහසුව පිණිස විදුලිය සෝපාන, ප්‍රජාශාලා ඇතුළු පහසුකම්වලින් යුක්තය. මෙම නිවාස ව්‍යාපෘතියෙහි නිවාස හිමිවන්නේ දෙමටගොඩ හා නාරාහේන්පිට දුම්රිය මාර්ගය දෙපස පදිංචිව සිටි පවුල් සඳහාය. කැලණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස නවීකරණය කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් අදාළ පවුල් සඳහා මෙම නිවාස ලබා දී තිබේ. මෙහිදී ඇතිවන සුවිශේෂත්වයක් වන්නේ නිවාස සිහිනය යථාර්ථයක් කරගැනීමට අදාළ පවුල්වලට හැකිවූවා පමණක්‍ නොව අංගසම්පූර්ණ නිවසක උරුමය ලැබීමයි. තවද කැලණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමේ වටපිටාව සැකසීමයි.

නිවාස යෝජනා ක්‍රමය විවෘත කිරීමට පැමිණි අගමැතිවරයා පිළිගනු ලැබුවේ ප්‍රෙස්බෙටේරියන් බාලිකා විද්‍යාලයේ මිස්කාබානු සහ ක්ලිෆ්ටන් බාලිකා විද්‍යාලයේ මහීෂා අශේනි ආකර්ෂා දියණියන්ය.

මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ මඟපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මඟින් මෙම සද්කාර්ය සිදුකර තිබෙන අතර ව්‍යාපෘතියේ අරමුණ 2020 වන විට දී නිවාස ඒකක විසිදහසක ඉලක්කය සපුරාලීමයි.

අගමැතිතුමා ඇමැති රණවක සහ පැමිණ සිටි මන්ත්‍රීවරු සමඟ නිවාස ඒකක නිරීක්ෂණය කරමින් පැමිණ සිටි ජනතාව සමඟ කතාබහ කිරීමට ද අමතක නොකළේය. අංගසම්පූර්ණ නිවාස තමන් වෙත දායාද කිරීම පිළිබඳව නිවාසලාභීන් අත්පොළසන් නඟමින් තම සතුට ප්‍රකාශ කරනු දක්නට ලැබීය.

ඇතකුගේ මහිමය අපූරුවට විදහා දක්වමින් ශ්‍රී දළදා මාලිගා මාධ්‍ය අංශය ඉදිරිපත් කර තිබුණ වාර්තාමය වැඩසටහන මෙහිදී පැමිණ සිටි අයවළුන්ගේ ඉමහත් ප්‍රසාදයට ලක්වුණි. අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් පෙරහර මංගල්‍යයට ඉමහත් දායකත්වයක් ලබාදෙන ඇතුන් වෙනුවෙන් ඉදිවෙන අපූරු ඇත්ගාලක තොරතුරු ද මෙහිදී විකාශනය වුණි. මෙම සද්කාර්ය ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ අදහසක් මත සිදුවන්නකි.

නිවාසලාභීන්ට හිමි යතුරු සංකේතාත්මකව අගමැතිවරයා විසින් පිළිගැන්වූයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක පාලිත සමරසිංහ මහතාටය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

ලක්හිරු සෙවණ දෙවන අදියරේ නිවාස සංකීර්ණය විවෘත කිරීමට අද අපට හැකි වුණා. මෙය මේ නගරය අලංකාර කිරීමේ තවත් එක් පියවරක් බව කිව යුතුයි.

කොළඹ නගරය නවීකරණය කරන බවට 2015 දී අපි ජනතාවට පොරොන්දු වුණා. මේ නගරයේ දියුණුව අවුරුදු දහයක් පහළොවක් අමතක කර තිබුණා. නමුත් අපට අවශ්‍ය ඔබේ මේ නගරය දියුණු කිරීමටයි. ඒ නිසා බස්නාහිර මහ නගරයක් බවට පත්කිරීමේ වැඩසටහන අප ආරම්භ කළා. එහි වගකීම එදා චම්පික රණවක ඇමැතිතුමා බාරගෙන මේ වන විට විශාල වැඩකොටසක් සිදුකර තිබෙනවා.

මේ වැඩපිළිවෙළ යටතේ නගර අලංකාර කිරීම, මංමාවත් සැකසීම, නිවාස ලබාදීම, නව වෙළෙඳ සංකීර්ණ ඉදිකිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා. මීට පෙර මෙවැනි වැඩපිළිවෙළක් දියත් කර නැහැ.

1977 දී ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආණ්ඩුව යටතේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ ප්‍රදේශ දියුණු කිරීම සඳහා ආරම්භ කළ වැඩසටහන් මගේ මතකයට නැ‍ඟෙනවා. අද ඊටත් වඩා විශාල වැඩපිළිවෙළක් දියත් වෙමින් තිබෙනවා.

අප දියත් කරන සංවර්ධන වැඩපිළි‍වෙළේ අද මේ ආරම්භ කර තිබෙන්නේ පළමු පියවරයි. එහි දෙවන පියවර මීටත් වඩා විශාල එකක් බව කිව යුතුයි.

නිවාස පහළොස්දහසක් (15,000) ක් ඉදිකිරීමට අප සකස් කළ සැලසුමට අනුව මේ වන විට අනාගත දියුණුව සඳහා විශාල ඉඩම් ප්‍රමාණයක් ලබාගැනීමට හැකි වී තිබෙනවා. අඩු ආදායම්ලාභීන්ට මෙම නිවාස හිමිවෙනවා. ඔවුන් පදිංචිව සිටි ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට ලබා දී තිබෙනවා. එම ඉඩම්වල ව්‍යාපාර සඳහා ගොඩනැඟිලි හා නිවාස ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා. එමඟින් නව රැකියා ආදායම් මාර්ග ඇතිවෙනවා සේම නිවාස ප්‍රශ්නයට ද විසඳුම් ලැබෙනවා.

තමන්ට තවමත් නිවාස ‍නොලැබුණ බවත්, නිවාස ලැබෙන තෙක් තමන් බලා සිටින බවත් මැද කොළඹ හා උතුරු කොළඹ ඇතැම් අය ප්‍රකාශ කරනවා. හැම කෙනාටම නිවාස නොලැබුණ බව අප පිළිගන්නවා. අපට පළමු පියරව සාර්ථක කර ගැනීමට හැකිවුණේ ජනතාව අපට සහයෝගය දැක්වූ නිසයි. අපේ අරමුණ වී තිබෙන්නේ දෙවැනි පියවරින් මීට වඩා නගරයේ ජනතාවට නිවාස ලැබෙන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමයි.

මේ පිළිබඳව චම්පික රණවක ඇමැතිතුමා සමඟ අප සාකච්ඡා කළා. ඒ අනුව දෙවැනි පියවර යටතේ විශාල නිවාස සංඛ්‍යාවක් ජනතාවට ලබාදිය හැකියි. එතුමා මේ නගරයේ යටිතල පහසුකම් දියුණු කරනවා. එය ජීවිතේ වෙනසක් කිරීමට අපි ගන්නා එක් පියවරක් පමණයි. තවත් පියවරක් වන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර දියුණු කිරීමයි.

ජීවිතයේ වෙනසක් ඇතිකිරීමට අප ගන්නා මේ පියවර සම්බන්ධව මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමා මා සමඟ සාකච්ඡා කළා. එහිදී ඔහු තවත් කාරණයක් මතු කළා. දැන් මත්ද්‍රව්‍ය පැතිරෙන එක අපට පාලනය කිරීමට හැකි වී තිබෙන බව පැවසුවා. මම ඒ ගැන සිතා බැලුවා. සැබැවින්ම එය අප ජීවිතවල වෙනසක් ඇතිකරන්න ගත් පියවරක් ඇයි අපි එහෙම කළේ. මම ඒ කතාව කියන්න කැමතියි.

මේ ප්‍රශ්නය උග්‍ර වූ අවස්ථාවේ මගේ මතකයේ හැටියට 2015 හෝ 2016 දී පොලිසිය භාරව සාගල රත්නායක ඇමැතිතුමා කටයුතු කරමින් සිටියදී වරෙක පොලිසියේ නිලධාරීන් කැඳවා මේ ගැන සාකච්ඡා කළා. මේ සඳහා පවතින අඩුපාඩු ගැනත් අප සාකච්ඡා කළා. අවශ්‍ය නම් අයවැයෙන් තවත් මුදල් මා ලබාදෙන බව එම නිලධාරීන්ට ප්‍රකාශ කළා.

ඒ අවස්ථාවේ පොලිසියේ එම නිලධාරීන්, මුදල් නොවෙයි ප්‍රශ්නේ අගමැතිතුමා, අපිට විශ්වාස, ස්වාධීන අධිකරණයක් ලබාදෙන්න කියා මගෙන් ඉල්ලා සිටියා. ඇයි එහෙම කියන්නේ කියා මා ඒ ඒ නිලධාරීන්ගෙන් විමසා සිටියා. ඒ අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කළේ මේ වැඩ කටයුතු කරගෙන යන විට තමන්ට ප්‍රශ්න ගණනාවකට මුහුණදීමට සිදුවන බවයි.

තවදුරටත් එම නිලධාරීන් ප්‍රකාශ කළේ ‘අපේ ඇතැම් අයට වෙඩි තබලා අපව මරන්න පුළුවන්. එහෙත් අපි මේ අභියෝගයට මුහුණ දෙන්න සූදානම් නමුත් අපට විශ්වාසයක් තිබිය යුතුයි. මත්ද්‍රව්‍ය මර්දනය අපක්ෂපාතීව අපට කළ හැකියි. ඒ සඳහා පොලිසියට ඉඩ දෙන්න. මේ වැඩකටයුත්තට දූෂිත නිලධාරීන් නොදමා හොඳ නිලධාරීන් දාන්න. ආණ්ඩුවේ මැති ඇමැතිවරු, කුඩුකාරයන් සමඟ සබඳතා තබාගෙන අරයා අතහරින්න, මෙයා අතහරින්න. අත්අඩංගුවට ‍ගන්න එපා කියා අපට කියන්න එපා. අපිට ඒ නිදහස නැතුව මේ වැඩකටයුත්ත කරන්න බැහැ. පසුගිය පාලන සමයේදී මේ සම්බන්ධව කිසිදු පියවරක් ගැනීමට නොහැකි තත්ත්වයක් තිබුණා. අපට විවිධ බලපෑම් එල්ල වුණා.

හැම කෙනාම කාගේ හරි යාළුවෙක් කවුරුන් හෝ මේ සම්බන්ධව අපි අත්අඩංගුවට ගත්ත නම් හැකි ඉක්මනට ඔහුව නිදහස් කරන්න කියා අපට දුරකථනයෙන් දන්වනවා. නඩු දාන්න ඉඩ දුන්නේ නැහැ. මේ නගරයේත් රටේත් ප්‍රශ්න ගණනාවක් ඇතිවුණා. අපි කොහොමද ක්‍රියා කරන්නේ. අපේ අත්දෙක බැඳලා ඇස් වහලා අපිට කියන්න එපා මත්ද්‍රව්‍ය හා කුඩු නැතිකරන ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියා. එය අමාරු වැඩක්. ඇතැම් විට ධීවරයන් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ගේනවා. තවත් පැත්තකින් ගුවන් තොටුපොළ හරහා මෙරටට පැමිණෙනවා. මේ ප්‍රදේශවල බෙදාහරිනවා. ප්‍රබල අය මේවට හවුල් වී සිටිනවා. අපට ස්වාධීනත්වය හා නිදහස නැති නම් ඒවා මර්දනය කිරීම සඳහා පියවර ගැනීමට හැකියාවක් නැහැ.

දෙවනුව බිය නැතිව අධිකරණය හමුවට යෑමට හැකි අවස්ථාව අපට තිබිය යුතුයි. අධිකරණය ස්වාධීනව තීන්දු ලබාදිය යුතුයි. අපිට බලපෑම් කළා සේ මේ අයට ඇප දෙන්න, මේ අය කූඩුවේ තබාගන්න එපා, මේ අය වහා නිදහස් කර එවන්න කියා අධිකරණයටත් බලපෑම් කරනවා. තත්ත්වය මෙසේ නම් කොහොමද අපි අපේ වැඩේ කරන්නේ. අපි මේ වැඩේ කරනවා නම් අපිට ඒ විශ්වාසය තිබිය යුතුයි‘

එහිදී එම නිලධාරීන් හමුවේ මා ප්‍රකාශ කළේ අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනවවැනි (19) සංශෝධනය සම්මත කර ස්වාධීන කොමිෂන් ඇතිකර තිබෙන බවයි. එහිදී එම නිලධාරීන් මෙම ස්වාධීන කොමිෂන් නිසි ලෙස ක්‍රියාත්මක කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව එම වැඩකටයුතු සාර්ථකව ඉටුකරන බව ප්‍රකාශ කළා.

ඊට අවුරුද්දකට පමණ පසු ‍මෙම නිලධාරීන් මට හමුවුණා. එහිදී විශ්වාසය හා ස්වාධීනත්වය දැන් තිබෙනවා ද කියා ඒ නිලධාරීන්ගෙන් මා විමසුවා. ඔවුන්ට දැන් විශ්වාසයක් තිබෙන බව ඔවුන් ප්‍රකාශ කළා. මේ ආකාරයට එදා අපි මත්කුඩු ජාවාරම මැඬලීමට ක්‍රමානුකූලව සැලසුම් සහගතව පියවර ගනු ලැබුවා. මේ සමඟ පොලිස් නිලධාරීන් ඇමැතිතුමා සමඟ සාකච්ඡා කර ප්‍රතිසංවිධානයක් ආරම්භ කළා. ඊට විශේෂ කාර්ය පොලිස් බළකායත්, මත්ද්‍රව්‍ය මර්දන ඒකකයත්, සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයත් ඒකාබද්ධ කර අලුත් පොලිස් ඒකකයක් ඇතිකළා. මේ වැඩ කටයුත්ත සාර්ථක කර ගැනීමට විශේෂ කාර්යය පොලිස් බළකාය සම්බන්ධ කරගැනීම තවත් ශක්තියක් වුණා. එහි ප්‍රධානි එම්. ආර්. ලතිෆ් මහත්මයාට මේ වැඩකටයුත්ත අපි එදා බාර දුන්නා.

මෙම පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීම ජාතික පොලිස් කොමිසම මඟින් අපක්ෂපාතීව සිදුකළ යුතු බව එදා මා ප්‍රකාශ කළා. එවකට එහි සිටි සභාපති මනතුංග මහත්මයා ඒ අනුව උසස්වීම් ලබාදීම ආරම්භ කළා. එයින් පොලිස් නිලධාරීන් තුළ විශ්වාසයක් ගොඩනැඟුණා. ‘අපිට දැන් උසස්වීම් ලැබෙන්නේ අපරාධ මර්දනය කළොත් පමණයි. මෙතෙක් කල් උසස්වීම් ලැබුණේ අපරාධ මර්දනය නොකරපු අයට.‘

මේ අනුව විශාල විශ්වාසයක් පොලිස් නිලධාරීන් තුළ ඇතිවුණා. එතැන් සිට ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක වුණා. ඒ අනුව විනිශ්චයකාරවරු, මහේස්ත්‍රාත්වරු බිය නැතිව මේ පිළිබඳව තීන්දු තීරණ ගන්නා අයුරු අප දුටුවා. ඇතැම් සැකකරුවන්ට ඇප ලබා නොදී සිර අඩස්සියේ තබා ගත්තා. ඒ පියවරත් මේ වැඩපිළිවෙළට එක් පැත්තකින් ශක්තියක් වුණා. උසස්වීම් ලබාදීමත් සමඟ මේ නිලධාරීන්ට විශේෂ විදේශ පුහුණුවක් ලබාදීමට පියවර ගත්තා. එතැන් සිට මේ වැඩකටයුතු පොලිස් සේවය වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම ආරම්භ කළා.

මේ අනුව කිසිදු බයක් සැකක් නැතිව දිනෙන් දින මත්කුඩු නීතියේ රැහැනට හසුකර ගන්නා ප්‍රමාණය වැඩි වුණා. මෙය ආරම්භයක් පමණයි. තව බොහෝ වැඩකටයුතු කිරීමට තිබෙනවා. මෙම නිලධාරීන් අද ලංකාවේ පමණක් නොව විදේශ රටවලට ද ගොස් සාර්ථකව එම වැඩකටයුතු සිදුකරන ආකාරය අද අපි දකිනවා.

මේ සියලු දේ කිරීමට හැකි වුණේ අපි ඇතිකළ ස්වාධීන කොමිෂන් සභා හා ස්වාධීන අධිකරණ නිසයි. ඒ නිසා මේ සම්බන්ධව ක්‍රියාකළ පොලිසියේ සියලු දෙනාට මගේ ස්තූතිය ප්‍රකාශ කරන්න කැමැතියි. ඒ වගේම එක්සත් අරාබි රාජධානියේ මේ වැඩකටයුතු මෙහෙයවූ නැසී ගිය තානාපති එස්. එම්. මොහිදීන් මැතිතුමා ගැනත් මා මෙහිදී සිහිපත් කළ යුතුයි. එතුමා කළ සේවය ගැන කවුරුත් දන්නේ නැහැ. එහි ප්‍රතිඵල ලැබෙන්න පෙර එතුමා අප අතරින් වෙන්වුණා.

කොමිෂන් සභා විවේචනය කරමින් නැවත ස්වාධීනත්වය අහිමි කළොත් මේ වැඩකටයුත්ත අඩපණ වෙනවා. අපි ස්වාධීන අධිකරණයට පහර ගහනවා නම් අපි ස්වාධීන කොමිෂන්වලට පහර ගහනවා නම්, පාර්ලිමේන්තුවට ගොස් කිසිම පදනමක් නැතිව චෝදනා කරනවා නම් කවුද එහි විපාක විඳින්නේ. අපි සියලු දෙනාටම විපාක විඳීමට සිදුවෙනවා.

මත්කුඩු උවදුර අපි පාලනය කළා පමණයි. සම්පූර්ණයෙන්ම විසඳුවේ නැහැ. එසේ නම් එය පාලනය කරමින් ඉදිරියට යනවාද, එහෙමත් නැතිනම් මෙය අඩපණ කර නැතිකර ගන්නවාද කියා තීරණය කළ යුතුයි. මෙය පටන් ගත් දේශපාලනඥයෝ කව්ද, මීට පෙර අත්වැල් බැඳගෙන සිටි අයයි. මීට පෙර මර්දන වැඩපිළිවෙළට සහයෝගය නොදක්වපු අය ඒ අයට නැවත ඉඩ දෙනවාද?

අද බංකොලොත් දේශපාලනඥයන්ට අධිකරණය දේශපාලන පාපන්දුවක් කරගන්න ඉඩ දෙනවද, එය කරන්න නැවත ඉඩ දෙන්න බැහැ. අප ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් අදාළ වැඩ කටයුතු නිසිපරිදි සිදුකරනවා නම් ඒවායෙහි ප්‍රතිඵල ලැබෙනවා.

පොලිස් කොමිසම පමණක් නොව නිලධාරීන් අද ක්‍රියාකරනවා. අඩුපාඩුකම් තිබිය හැකියි. නමුත් ඒවා අපි නිවැරදි කර ගත යුතුයි. ඇතැම් කටයුතු ගැන සියයට සියයක්ම සෑහීමකට පත්වන්න බැහැ. නමුත් ස්වාධීන කොමිෂන් සභා නැති කරන්න ගියොත් අපි නැවතත් පැරණි තත්ත්වයට තල්ලු වෙනවා. අපි මේ සටන කළේ මීට වඩා හොඳ ජීවිතයක් ලබා දෙන්නයි. අපිට යම්කිසි විදිහකින් මත්ද්‍රව්‍ය අපරාධ පාලනය කරන්න පුළුවන් නම් ඊට විරුද්ධව ඉන්න අය කව්ද කියා හෙළිකළ යුතුයි. එයට විරුද්ධව සිටියොත් අපි ඒ ගැන ක්‍රියාකළ යුතුයි.

අධිකරණයේ ස්වාධීනත්වය ඉතා අමාරුවෙන් අපි යළි ඇතිකළා. අවාසනාවකට මෙන් එදා අග්‍රවිනිශ්චයකාරතුමිය ඉවත් කළාම අධිකරණයේ ස්වාධීනත්වය නැති වුණාම පොලිසියේ ස්වාධීනත්වයට ද ප්‍රශ්න මතුවුණා.

මත්කුඩු ජාවාරම මැඬලන්න පක්ෂ භේදයෙන් තොරව අපි එම වැඩකටයුත්තේ නිරතවිය යුතුයි.

මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

පාතාල සමාජයක ලිපිනයන්ට හිමිකම් කියන කොළඹ නිවාසලාභීන්ට එම තත්ත්වය වෙනස් කරමින් කොළඹ හත, කොළඹ 3 වැනි ලිපිනයන්ට සමාන ලිපිනයන්ට හිමිකම් කීමේ අවස්ථාව නුදුරේදීම උදාකර දෙනවා. මේ කටයුත්ත සඳහා ජනාධිපතිතුමාගේ ආශීර්වාදයත්, අගමැතිතුමාගේ මඟපෙන්වීමත් ලැබී තිබෙනවා. සමහර උදවියට කිසියම් හෝ ලිපිනයක් නෑ. වසර 2024 වන විට පැල්පත්වලින් තොර කොළඹක් නිර්මාණය කරමින් පක්ෂ පාට භේද කිසිවකින් තොරව සැමට නිවාස හා සහන ලබා දෙනවා.

කිසිම පහසුකමක් නැතිව ඉතා දුක්ඛිත දිවියක් ගතකරන දරුවකු වෛද්‍ය විද්‍යාලයට සමත් වී තිබෙනවා. සාක් රන් පදක්කම්ලාභී තත්ත්වයට පත්වුණ දරුවන් සිටිනවා. අනාගතයේ දේශපාලන නායකත්වය ගැනීමට හැකි දරුවන් මෙහි සිටිනවා. නිවසක් සමඟ නව ජීවයක් ලබාදෙන මෙම පවුල්වල දරුවන් වෙනුවෙන් ජනරංජන, ලියනආරච්චි, කිත්සිරි මහත්වරුන් ඉංග්‍රීසි, ගණිතය යනාදී විෂයන් පිළිබඳව දැනුමක් නොමිලේ ලබා දෙනවා. ළදරු පාසල් අධ්‍යාපනයට සෑම දරුවකුම යොමුකර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ද පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතා ද නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සුමේද නවරත්න මහතා ද මෙහිදී අදහස් දැක්වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්, කොළඹ නියෝජ්‍ය නගරාධිපති එස්. එම්. ටී. ඉක්බාල් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූප - හිරන්ත ගුණතිලක

 

නව අදහස දක්වන්න