තාක්ෂණ මෙවලම් භාවිතයෙන් පමණක් මිනිසෙක් උගතෙක් වන්නේ නෑ | දිනමිණ

තාක්ෂණ මෙවලම් භාවිතයෙන් පමණක් මිනිසෙක් උගතෙක් වන්නේ නෑ

ජාතිය, ආගම, කුලය යන ‍ස්වභාවයෙන් තියෙන මිනිසුන්ගේ වෙනස්කම්, මිනිසුන් වෙන්කිරීමට භාවිතා කරන රටක් කිසිදා දියුණුවන්නේ නැහැ. ඒ නිසයි අපේ රට, අපි මේ තත්ත්වයෙන් ඉන්නේ. ආර්ථික, සමාජයීය පැතිවලින් අපි දුප්පත් වෙලා ඉන්නේ. මිනිසුන් කැමති නැහැ ඇත්ත තත්ත්වය පිළිගන්න.

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු ගරු පියතුමා එසේ පැවැසුවේ කොළඹ සාන්ත ජෝශප් විදුහලේ පැවැති ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අමතමිනි.

ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු ගරු පියතුමා මෙසේ ද කීය.

තම සංස්කෘතික හා රටේ ඉතිහාසය නොදත් සිසු දරුවන් විශ්වවිද්‍යාලවලත් ඉන්නවා. උගත්ම සිසුන් ලෙස කියන ඔවුන්ගෙන් පිරිසක් ඓතිහාසික බෞද්ධ දාගැබක් මත නැඟී ඡායාරූප ගන්න තරම් පිරිහිලා.

දැනුම මිනිසුන්ට ශික්ෂණය කළ කාලය ඉවරයි. ශික්ෂණය කියන වචනයට දැනුම් සම්බන්ධ කරලා. උගත් මිනිස්සු නිහඬයි. බුද්ධිමතුන්ට අද මේ කාරණා ගැන කතා කරන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා.

විනය හැමතැනම පිරිහිලා. සැබෑ විනය කියන්නේ මිනිස්සු කවුරුත් ඔබ දිහා නොබලා ඉන්නා අවස්ථාවක කරන දේටයි. නව තාක්ෂණික මෙවලම් භාවිතය පිළිබඳව නිපුණත්වය තිබූ පමණින් උගත් මිනිසෙක් වන්නේ නැහැ. පෙනුම, ලෙඩ රෝග පවුලෙන් එනවා. නමුත් දැනුම එන්නේ නැහැ පවුලෙන්. වෙනස්වන තොරතුරු පසුපස නොව දැනුම පසුපසයි යා යුත්තේ. එයින් තමයි හික්මීමක් ඇතිවන්නේ. අද ඉස්කෝලවල නම් කියලා රැකියා ලබාගන්නා කාලය අවසන් වේගන එනවා. එනිසා මෙවන් උසස් අධ්‍යාපනයකින් විනය හා අධ්‍යාපනය ලබනවා වාගේම උපරිම ප්‍රතිඵල ලබන්න ඕනෑ. රටට ආදරය කරන උගත් ජනතාවක් බවට පත්වන්න. අපේ ඉතිහාසය දැනගන්න සිතට ගන්න. සංස්කෘතිය ආරක්ෂා කරගන්න සිතට ගන්න.

විදුහල් අදියුරු ට්‍රැවිස් ගේබ්‍රියෙල් ගරු පියතුමා සභාව ඇමතූ අතර විදුහල් කනිෂ්ඨ ශිෂ්‍ය නායකයින්ට පදක්කම් පැලඳවීම ද එහිදී සිදු කෙරුණි.

වත්තල විශේෂ
ජෝශප් පයස් විසිනි

 

නව අදහස දක්වන්න