මානව හිතවාදී කලාකරු විජය කුමාරතුංග ගුණ සමරුව හෙට | දිනමිණ

මානව හිතවාදී කලාකරු විජය කුමාරතුංග ගුණ සමරුව හෙට

දිවයිනේ ජනප්‍රියතම සිනමා නළුවා ලෙසත්, කෘතහස්ත ගායකයකු ලෙසත්, ලාංකීය ජනතාව අතර සදා නිධන් ගත වූ මානව හිතවාදී කලාකරුවකු වන විජය කුමාරතුංගයන්ගේ 31 වෙනි ගුණ සමරුව මේ මස 16 වෙනි දිනට යෙදී ඇත. ඒ නිමිත්තෙන් විජය කුමාරතුංග අනුස්මරණ සහෘද කලා සංසදය විසින් වාර්ෂිකව පවත්වන “විජය ගී තරුව - 2019” ප්‍රසාංගික සැඳෑව සහ අනුස්මරණ උළෙල 2019 පෙබරවාරි මස 21 වෙනි බ්‍රහස්පතින්දා සවස 4.00 ට කොළඹ 07 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී පැවැත්වේ.

වාර්ෂිකව සමස්ත ලංකා මට්ටමින් පවත්වන විජය ගී තරුව 2019 තරගාවලියේ අවසාන වටය සහ සම්මාන උළෙල මෙම වැඩසටහනේ සුවිශේෂිතම අංගයයි. එදින අවසන් වටය සඳහා තරගකරුවන් 15 දෙනා විජය ගී ගයමින් තරග වදියි. තරගය අවසානයේ සම්මාන ප්‍රදානය පැවැත්වේ. මැති ඇමැතිවරුන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විජය අනුස්මරණ උත්සවයේදී දිවයිනේ කෘතහස්ත කලාකරුවන් වන ප්‍රවීණ සිනමා නළු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ආතර් යූ අමරසේන, ප්‍රවීණ වාද්‍ය ශිල්පී නිමල්සිරි කුරේ, ප්‍රවීණ සංගීතවේදී නිමල් ගුණසේකර, ප්‍රවීණ මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක සහ දිවංගත සංගීතවේදීන් වන සරත් දසනායක සහ ග්‍රේෂන් ආනන්ද යන කලාකරුවන් වෙනුවෙන් විජය කුමාරතුංග අනුස්මරණ අභිනන්දන සමරු සම්මාන පිරිනැමීමට කටයුතු යොදා ඇත.

මෙම ප්‍රාසාංගික උත්සවයේ පූරක කථනය ප්‍රවීණ රංගන ශිල්පී අනුර ශ්‍රීනාත් විසිනි. සංගීත අධ්‍යක්ෂණය සම්පත් හෙට්ටිආරච්චි ප්‍රමුඛ වාද්‍ය වෘන්දයයි.

 


නව අදහස දක්වන්න