පොඩි මිනිසාගේ ශක්තිය සණස | දිනමිණ

පොඩි මිනිසාගේ ශක්තිය සණස

බුද්ධිකා බ්‍රාහ්මණ‍ගේ

‘සණස’ යනු මෙරට ප්‍රමුඛතම වානිජ සන්නාමයන් තරමට මේ වනවිට දියුණුය. සණස යන අකුරු තුනෙහි අර්ථය වන්නේ සකසුරුවම් හා ණය ගනුදෙනු සමූපකාරය යන්නයි. සණස සමිතිය යන සීමාවන් ඉක්මවා සණස බැංකුව, සණස, සංවර්ධන බැංකුව මෙන්ම සණස විශ්වවිද්‍යාලය ආදී වශයෙන් අතුවිහිදී වනස්පතින් බවට පත් වූ දැවැන්ත ව්‍යාපාරයකි. මේ දැවැන්ත ව්‍යාපාරයේ පසුපස නියමුවා වූයේ පොඩි අප්පුහාමි කිරිවන්දෙණිය මහතායි. සණස ව්‍යාපාරය හා එහි ගමන් මඟ මෙන්ම එවන් ව්‍යාපාරයක් නිර්මාණ කළ කිරිවන්දෙණිය මහතා පිළිබඳව ඒ මහතා සමඟ කළ සංවාදයකි මෙය.

සම්පූර්ණ නම?

පොඩි අප්පුහාමි කිරිවන්දෙණිය

ගම?

රඹුක්කන කිරිවන්දෙණිය

දෙමාපියන්?

තාත්තා කිරිබංඩා, අම්මා සුමනාවෝ රම්මැණිකේ

පවුලේ සාමාජිකයින්?

පස්දෙනයි. වැඩිමලා අක්කා මම තුන්වැනියා අනිත් අය සහෝදරයෝ

මුලින්ම පාසල් ගියේ?

පළමු පංතියේ සිට 8 දක්වා ගියේ මුවපිටිය ගම්මානයේ ප්‍රාථමික විද්‍යාලයට. 8 සමත් වූ පසු සාමාන්‍ය පෙළ හැදෑරුවේ රඹුක්කන සුජාතා විද්‍යාලයේ

උසස් පෙළ?

රඹුක්කන දැලිවල මහා විද්‍යාලයේ. ඒ කාලේ අපේ පාසලේ තිබුණේ කලා විෂයන් විතරයි. ඒ නිසා උසස්පෙළට කලා විෂයන් වලින් ඉදිරිපත් වුණා.

ඔබගේ විශ්වවිද්‍යාලය?

මම එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ.

පාසල් කාලය පිළිබඳව මතක මොන වගේද?

ඒ කාලේ අද වගේ ගොඩනැගිලි, පංති කාමර නෑ. අපි 2,3 පන්ති සමත්වීමෙන් අනතුරුව ගුරුවරුන් සමඟ එකතුවී අධ්‍යාපන කටයුතු වගේම පාසල ගොඩනැගීමේ කටයුතු සඳහා එක්ව කටයුතු කළා. පාසලේ ඉගැන්වූ විෂයන් අතර ග්‍රාමීය විද්‍යාව හරිම ජනප්‍රියයි. ඉදලක් කොස්සක් හදාගන්න, ගෘහ උපකරණ හදන්න අපි ඉගෙන ගත්තේ මේ ග්‍රාමීය විද්‍යාව පාඩමෙන්. ඊට අමතරව ප්‍රායෝගික සෞඛ්‍ය පිළිබඳව සෞඛ්‍යය හා ස්වස්ථතාව විෂයෙන් ඉගැන්නුවා. මේ විෂය නිසා ජීවිතේ සමබරව ගෙනියන අන්දම මෙන්ම ප්‍රායෝගිකව නිර්මාණශීලිව යමක් කිරීමට අවශ්‍ය දැනුම අවබෝධය මෙන්ම කුසලතාව ලැබුණා.

පාසල් සමයේ මිහිරිතම මතක මොන වගේද?

ඒ දවස්වල 8 සමත් කියන්නේ සාමාන්‍යයෙන් රජයේ රැකියාවක් ලැබීමට සුදුසුයි. සාමාන්‍ය පෙළ, උසස්පෙළ මට්ටම කියන්නේ සමාජ දේශපාලන කටයුතුවලට පවා ප්‍රවේශ වන වයස. අපි ඒ දවස්වල පොදු කටයුතුවලට වගේම ගම රට හැදීමට වගේම පාසල ගොඩනැගීමට සාමුහිකව කටයුතු කළා. මේ හැම කටයුත්තක්ම කළේ විනෝදයත් සමඟයි. පාසල ගොඩනැගුවේ සල්පිල්, ශ්‍රමදාන වැනි සාමුහික කටයුතුවලින්. මේ හැම තැනකම තරුණ නායකත්වය ගැනීමට මම සමත් වුණා.

මේ පමණක් නොවේ ළමා කාලය අපි ගත කළේ ඉතාමත් විනෝදයෙන්. සැහැල්ලුවෙන්. අපිට කෑමට ඕනෑ තරම් පලතුරු, ගඩා ගෙඩි ගමේ තිබුණා. කොයි ගෙදරට ගියත් පුතේ බත් ටිකක් කාලා යන්න කියලයි අපේ ගම්වල සිරිත. ඒ කාලේ විනෝදයට කරන ලොකුම ක්‍රීඩාව කට්ටිය එකතුවෙලා මහඔයට පැනලා නාන එක. ඇත්තටම ඒ ළමා කාලය විනෝදය, සැහැල්ලුව මෙන්ම නායකත්වය පිළිබඳව මෙන්ම සාමුහිකව කටයුතු කිරීම අභියෝග ජයගැනීම පිළිබඳ පුහුණුවක් අපිට පරිසරය තුළින්ම ලැබුණා.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව ඔබගේ පළමු රැකියාව වුණේ?

මගේ පළමු රැකියාව ගුරු වෘත්තිය. මම ගුරු වෘත්තියට වඩාත් ඇලුම් කළා.

කෑගල්ල ප්‍රදේශය වාමාංශික දේශපාලන කඳවුරක්. ඔබට ඒ අදහස් බලපෑවාද?

ඇන් ඇම් පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා වැන්නන්ගේ අදහස් අපගේ තරුණ කාලය අදහස් පෝෂණය වුණා. අතාවුද සෙනවිරත්න, වාසුදේව නානායක්කාර වැනි අය අපගේ සමකාලීනයන්. මේ නිසා අපගේ සමාජ දේශපාලන ආකල්ප පෝෂණය වූ බව සැබෑවක් වුනත් මම වඩා විශ්වාස කරනවා වසර 2500කට පෙර සිට වර්ධනය වී පවතින අපගේ දේශීය චින්තනය හා හර පද්ධතිය පිළිබදවත් බටහිර හෝ පෙරදිග කුමන චින්තන පැමිණියත් අපෙග් නියම සංවර්ධනය පවතින්නේ රටක් වශයෙන් කලක් තිස්සේ ගොඩනැඟුන පැමිණ තිබෙන දේ තුළින්. අපි ගවේෂණය කරමින් පාදාගත යුත්තේ එයයි.

මොකද්ද මේ සණස ව්‍යාපාරය, එහි ආරම්භය සිදුවූයේ කෙසේද?

බටහිර ආධිපත්‍යය සමඟ මේ රටේ මුලින් පැවති ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය බිඳවැටී යනවා. ඊට හේතුව අධිරාජ්‍යවාදීන් බලෙන් පටවන ලද ඔවුන්ගේ ආර්ථික රටාවය. මුල්කාලයේ අප සමාජයට මුදල් අවශ්‍ය නොවුන තරම්. නමුත් වැවිලි ආර්ථිකය සමඟ මෙරට වැසියන්ගේ ඉඩම් කොල්ලකෑම නිසා ජීවත්වීම සඳහා මුදල් අවශ්‍ය වෙනවා. මේ අනුව, ණය දීම්, පොලී ක්‍රම ආදිය ඇති වෙනවා. මෙවැනි ක්‍රමය නිසා අපහසුතාවන්ට පත් වූ ජනතාව වෙනුවෙන් රජයෙන් හඳුන්වා දුන් සමිති ක්‍රමය ලෙස සකසුරුවම් හා ණය ගනුදෙනු සමිති ඇති වී තිබෙනවා. 50 දශකයේ පමණ ඇති වූ සමිති පසුව අභාවයට පත් වී තිබුණා.

සණස සමිති යාවත්කාලීන කිරීමට ඔබගේ දායකත්වය සිදුවූයේ කෙසේ ද?

80 දශකය මුල් භාගයේ මෙරට ආහාර ප්‍රශ්නය උග්‍රවී තිබුණා. මේ නිසාම ගම්වල ජනතාවට ඒ ගැටලුවට මුහුණ දීමට තරුණයින් වශයෙන් අපි සහය දැක්වූවා. ඔවුන්ට ගොවිතැන් කිරීමට අවශ්‍ය බිත්තර වී , ගොවි උපකරණ ආදිය ලබා ගැනීමට සහය වුනා. මේ කටයුතු සඳහා ගම්වල අයගේ දායකත්වයෙන් යම් අරමුදල් සකස් කරගත හැකිනම් එය වඩා වැදගත් බවත් එයින් සැමට සහන සැලසිය හැකි බවත් අප ඔවුන්ට පෙන්වා දුන්නා. ඒ අනුවය ගම්වල පැවැති සණස සමිති නැවත යාවත්කාලීන කිරීම සිදුවූයේ.

ඔබ මේ පිළිබඳව වෙනත් රටවල සමිති හා සකසුරුවම් ක්‍රම පිළිබඳව අධ්‍යයනය කළ බව පැවසුවා?

චීනය, මැලේසියා‍ව, ඉන්දියාව, තායිලන්තය ආදී රටවල ක්‍රියාත්මක වන ග්‍රාමීය ණය යෝජනා ක්‍රම බිම් මට්ටමේ ජනයාගේ සාමුහික එක්වීමෙන් ගොඩනඟන ලද සකසුරුවම් ක්‍රම හා ඒවා ඇසුරින් පොදු හා පෞද්ගලික සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව මම අධ්‍යයනය කළා. මෙපණක් නොවේ එතෙක් රටේ ක්‍රියාත්මක වූ සාමාන්‍ය ජනයාගේ ප්‍රජා සමිති , ණය ක්‍රමය පිළිබඳව අධ්‍යයනය කළා. ඒ අනුවයි සණස නැවත ස්ථාපිත කිරීම සඳහා පියවර තැබුවේ‍.

ඒ සදහා රජයෙන් ලැබුණු සහය කෙබඳුද?

1975 – 76 වකවානුව වනවිට විවෘත ආර්ථිකය රට මුහුණ දීමට සූදානමින් සිටියේ. මේ ආර්ථික රටාව පැමිණීමෙන් අනතුරුව ආර්ථික අපහසුතාවන්ගෙන් පෙළන ජනයා වඩාත් අසරණ බවට පත්වෙන බව මම වටහාගත්තා. එවක සිටි ක්‍රමසම්පාදන අමාත්‍යතුමා සමඟ මෙන්ම ස්වදේශීය කටයුතු ඇමැතිතුමා සමඟ සාකච්ඡා කර ඔවුන් මගේ අදහස පිළිගත්ත‍ා. මෙවැනි ක්‍රමයක් ඇති කිරීම වැදගත් බව ඔවුන් තහවුරු කරමින් ඊට අවශ්‍ය සියලු සහය ලබා දුන්න‍ා. ඒ අනුව සණස සමිති පිළිගත් පනත් මගින් ඇති කිරීමට මෙන්ම සමුපකාර දෙපාර්තමේන්තුව යටතේ ඒවා ලියාපදිංචි කිරීමේ අවකාශය ලැබුණා. එමගින් මේ සමිති සඳහා විධිමත් බවක් ඇති වුණා.

මෙසේ රට පුරා නැවත ස්ථාපනය වූ “සණස” ව්‍යාපාරයට නව පණක් ලැබුණේ ආර්.ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ දී ය. එතුමාගේ නිවාස වැඩ සටහන සඳහා ග්‍රාමීයව ණය ලබාදීමට සුදුසු ග්‍රාමීය ආයතන පිළිබඳව සමීක්ෂණය කර තිබුණා. ඒ අනුව ඒ සඳහා සුදුසුම ආයතනය ලෙස සණස සමිති හඳුනාගෙන තිබුණා. පවුලකට 7500ක් ලබාදුන් මේ වැඩපිළිවෙළ සඳහා රට පුරා නව සමිති 4000 ක් අලුතින් ලියාපදිංචි කෙරුණා. මේ වැඩසටහන නිසා එසේ ග්‍රාමීය ජනයාත් නිර්ව්‍යාජ ප්‍රයත්නයක් ලෙස ගොඩනැගුණු ‘සණස’ යම් විකෘති බවක් ආරෝපණය වුණා. ඒ වැනි තත්ත්වය වර්ධනය වීම නිසායි වර්තමානයේ ඇතැතම් තැනක ‘සණස’ අපකීර්තියට ලක්වෙන්නේ.

ඔබ පවසන්නේ ‘සණස’ සතු ප්‍රබලම ශක්තිය සාමාන්‍ය ජනතාව බවද?

සණසේ සැබෑ හිමිකරුවන් වන්නේ මේ රටේ දුගී දුප්පත් ජනතාවය. රුපියල දෙක තුන මුලින් එකතු කර ආරම්භ කළ සමිති පසුව වඩාත් දියුණු වුණා. ඉන් අනතුරුව සමිති වත්කම් ඉහළ යන විට තමන්ගේ පොදු කටයුතුවලට අමතරව මුදල් ඉපයීමේ ව්‍යාපාරවල ඇතැම් සමිති නිරත වුණා. මේ විදහටයි සණස සංවර්ධන බැංකු යන ආයතනය ගොඩනැ‍ඟෙන්නේ. නමුත් මෙම් පුංචි මිනිහාගේ අරමුදල් තරවන විට මේ ප්‍රතිලාභ ලබාගැනීමට ඇතැම් ධනවතුන් මෙහි කොටස් මිලදී ගත්තා. ඒ අනුව අද ඒ ආයතන මහබැංකුව යට‍තේ පවතින ආයතන බවට පත්වෙලා. ‘සණස’ ව්‍යාපාරය නිසා රැකියා අවස්ථා බහුල වූ බව ඔබ පැවසුවා. ඔව්, මේ වනවිට අපි 20000 පමණ තරුණ තරුණියන්ට රැකියා ලබා දී තිබෙනවා. මගේ ජීවිත කාලය තුළ මෙවන් ආයතන ව්‍යූහයක් ගොඩනැගීම පිළිබඳව මම සැබවින්ම සතුටු වෙනවා.

සණස විශ්වවිද්‍යාල පිළිබඳව පැවසුවොත් අධ්‍යාපන වරප්‍රසාද ලැබී තිබෙන්නේ රටේ සීමිත පිරිසකට විශ්වවිද්‍යාල වරම් ලැබෙන අතරින් සුළු පිරිසකට ඒ සඳහා අවස්ථාව ලැබෙනවා. ඒ අය වෙනුවෙන් එවැනි අය වෙනුවෙනුයි අපි සණස විශ්වවිද්‍යාලය ආරම්භ කළේ රුපියල් ලක්ෂ 6ක් වැනි මුදලකට මේ විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධිය ලබාගැනීමේ හැකියාව පවතිනවා.

ඔබගේ අනාගත අපේක්ෂාව කුමක්ද?

මේ රට අදට වඩා යහපත් හෙටක් උදාකිරීම සඳහා මම මගේ ජීවිත ඉතිරි කොටස වැඩ කරනවා.


නව අදහස දක්වන්න