බ්‍රැන්ඩික්ස් ‘රන් දරු තිළිණ’ අඛණ්ඩව ඉදිරියට | දිනමිණ

බ්‍රැන්ඩික්ස් ‘රන් දරු තිළිණ’ අඛණ්ඩව ඉදිරියට

බ්‍රැන්ඩික්ස් සමාගමේ සාමාජික සාමාජිකාවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා උරදෙන බ‍්‍රැන්ඩික්ස් ‘රන් දරු තිළිණ’ වැඩසටහන අඛණ්ඩව 3 වන වසරටත් ක්‍රියාත්මක කිරීමට එම සමාගම පසුගියදා කටයුතු කළේය. මේ යටතේ මෙවර නව පාසල් වාරය සඳහා දරුවන් 6, 500 කට අධික පිරිසකට පාසල් බෑග් සහ ලිපිද්‍රව්‍ය ප්‍රදානය කරන ලදී.

2016 වසරේ දී ආරම්භ වූ මෙම වැඩසටහන මේ දක්වා පෙරපාසල් මට්ටමේ සිට 5 වසර දක්වා ඉගෙනුම ලබන 20, 000 කට අධික සිසු සිසුවියන් පිරිසකට අධ්‍යාපන කටයුතු සඳහා අත්වැලක් වී තිබේ. 3 වසර සිට 5 වසර දක්වා ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙත ලබාදෙන ත්‍යාග කට්ටලවලට පාසල් බෑග්වලට අමතරව පැන්සල්, පාට පැන්සල්, අඩිරූල්, ගම් සහ වෙනත් අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් වන අතර ඊට වඩා වයසින් අඩු දරුවන්ට ක්ලේ, කතුරු සහ පැස්ටල් ආදිය හිමි වේ. අදාළ කර්මාන්තශාලාවල දී දරුවන්ට පාසල් උපකරණ කට්ටල බෙදාදීම සඳහා සමාගමේ විධායක කාර්ය මණ්ඩලයද සම්බන්ධ වීම විශේෂත්වයක් විය. එය රන් දරු තිළිණ වැඩසටහන සඳහා සමස්ත ව්‍යාපාරයේ සාමාජික සාමාජිකාවන් සම්බන්ධ කරගනිමින් එය පෙරටත් වඩා සාර්ථක වැඩසටහනක් බවට පත්කරගැනීමට උපකාරී වූ පියවරක් ලෙස හැඳින්විය හැකිය.

‘‘‍අඛණ්ඩව 3 වන වරටත් මේ ආකාරයට අපගේ සාමාජික සාමාජිකාවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීමට ලැබීම අපට විශාල සතුටක්. අපගේ 55, 000 කට අධික සාමාජික සාමාජිකාවන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීම සඳහා මෙවැනි වැඩසටහන් දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට අප උත්සාහ කරනවා. ‘රන් දරු තිළිණ’ වැඩසටහන එක් අතකින් අපගේ සාමාජිකයන්ට සිය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැයවන වියදමින් කොටසක් ඉතිරි කර දෙන අතරම, අනික් අතින් දරුවන්ට හොඳින් අධ්‍යාපනය ලබමින් රටට වැඩදායී පුරවැසියන් බවට පත්වීම සඳහා හිමිවන අත්වැලක් බව මා විශ්වාස කරනවා.”‍ බ්‍රැන්ඩික්ස් සමූහයේ සමාජ සත්කාර ප්‍රධානී අනුෂා අලස් මහත්මිය පැවසුවාය.

මෙම වසරේ දී දිවයින පුරා විසිරී ඇති බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලා 22 ක සේවය කරන සාමාජික සාමාජිකාවන් 5, 000 කට අධික පිරිසකගේ දරු දැරියෝ රන් දරු තිළිණ සඳහා සුදුසුකම් ලැබූහ. මීට අමතරවබ්‍රැන්ඩික්ස් සමාගම ‘රන් දරු ශිෂ්‍යත්ව‘ නමින් වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන අතර මේ යටතේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ දී සහ සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉහළම ලකුණු ලබන සහ විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන දරු දැරියන්ට මූල්‍ය අත්වැලක් හිමි වේ.

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ වැඩිම පිරිසක් සේවය කරන සමාගම වන බ්‍රැන්ඩික්ස්, 2018 වසරේ දී පැවැති ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී ‘ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන, වැඩිම විදේශ විනිමය උපයන සමාගම’ ලෙස සම්මානයට පාත්‍ර විය. එහි කර්මාන්තශාලා මේ වනවිට ශ්‍රී ලංකාව, ඉන්දියාව (අක්කර 1000 ක ස්වයං පෝෂිත කර්මාන්ත උද්‍යානයක්) සහ බංග්ලාදේශය යන රටවල ක්‍රියාත්මක වන අතර හයිටි, කාම්බෝජය සහ එක්සත් රාජධානිය යන රටවලද ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු සිදුවේ. ලොව සුප්‍රකට සන්නාම වෙනුවෙන් ඇඟලූ‍ම් සැලසුම් කිරීම, නිෂ්පාදනය සහ අලෙවිකරණය සිදුකරන එම සමාගම, අදාළ රටවල ජනතාවගේ තිරසාර සංවර්ධනය සඳහාද කැපී පෙනෙන දායකත්වයක් දක්වමින් සිටී.


නව අදහස දක්වන්න