පළාත් සභා ඡන්දය මුලින් තියන්න ඕන | දිනමිණ

පළාත් සභා ඡන්දය මුලින් තියන්න ඕන

දුමින්ද සම්පත්
පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරල

මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාල මර්දනය, සිරකරුවන්ගේ මානව අයිතින්, බන්ධනාගාර දූෂණ සහ ඊළඟ මැතිවරණය ආදිය ඔස්සේ මෙවර අදහස් දෙක දිගහැරේ

මත්ද්‍රව්‍ය ජාවාරම වගේම පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවීම වැඩිපුර වෙන්නෙ බන්ධනාගාරය ඇතුළෙදි බවයි කියන්නෙ?

බන්ධනාගාර නිලධාරීන් වැඩි ප්‍රමාණයක් දූෂිතයි. මේ හින්ද අපරාධකාරයන්ට බන්ධනාගාරය ඇතුළත වඩාත් ආරක්ෂිතයි. අපරාධකාරයන්ට වඩා මේ නිලධාරීන් රටට අනර්ථකාරීයි. මේ සියලුදෙනා ආරක්ෂාවෙන්නෙ දේශපාලනඥයන්ගෙන්; අනෙක් පැත්තෙන් පොලීසියෙන්. පාතාල කල්ලියක්, කුඩු කල්ලියක් මාස තුනකට වඩා රටේ තියෙනව කියන්නෙ, ඒ අයගෙ රැකවරණයට දූෂිත දේශපාලනඥයන් හරි උසස් පොලිස් නිලධාරීන් හරි ඉන්නවා. දේශපාලනඥයොයි පොලිසියයි මේවට උදව් කරන්නෙ නැත්නම් මේ රට මෙච්චර භයානක තත්ත්වයකට පත්වෙන්නෙ නැහැ.

බන්ධනාගාරය ඇතුළෙ සිදුවන ක්‍රියා නතරකරන්න නිසි ක්‍රමවේදයක් සැකසෙන්නෙ නැත්තෙ ඇයි?

විශ්වාසවන්ත නිලධාරීන් තෝරල බන්ධනාගාරය ඇතුළෙ වෙනම බුද්ධි ඒකකයක් හැදුවෙ මම. ඒ නිලධාරීන්ට විදේශීය රටවල විශේෂඥයින් ගෙන්වල පුහුණුවීම් දුන්න. බන්ධනාගාරය ඇතුළෙ හැම තොරතුරක්ම ගන්න වැඩපිළිවෙළක් හැදුවා. ඒ ක්‍රමය ක්‍රියාත්මක වුණානම් ඔය අපරාධ 90% ක්ම පාලනය වෙලා. මගෙන් පස්සෙ ඒකට වෙච්ච දෙයක් නැහැ.

ඔබෙන් පස්සෙ ඒ ක්‍රියාවලිය ඉදිරියට නොගියෙ ඇයි?

ඒක හරියට පවත්වාගෙන යන්න ඕන. එහෙම නැත්නම් ඒ බුද්ධි අංශයෙන් වැඩක් නැහැ. බන්ධනාගාරයෙ ඉන්න බරපතළ අපරාධකාරයෙක් කොයිවෙලාවේ පරීක්ෂාකළත් ඔහු ළඟින් ජංගම දුරකථන තුනහතරක් හොයාගන්න පුළුවන්. මේව පිටින් ගේන්න බැහැ. බන්ධනාගාර නිලධාරීන් මේවයෙන් මුදල් හොයනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සිරකරුවන්ගෙ වාර්තාවක් ජනාධිපතිවරයා ඉල්ලා තිබුණා....?

ඔව්, ඒව ඉල්ලල තිබුණා කියලත්, බාරදුන්නා කියලත් මාධ්‍ය වාර්තාවල තිබුණා.

ඒ වාර්තා ලබාදීම ප්‍රමාද වෙච්ච බවටත‍් චෝදනා එල්ලවුණා?

එතුමා එවැනි චෝදනාවක් කළා. ඒව ප්‍රමාද වුණේ කාගේ වුවමනාවට ද කියන්න මම දන්නෙ නැහැ.

පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එක්ක දේශපාලන නායකයන් සම්බන්ධ බව ඔබ කිව්වා. මහජන නියෝජිතයන් මෙවැනි ක්‍රියා පිටුපස සිටීම බරපතළ තත්ත්වයක් නේද?

තක්කඩි පත්කරන‍්නෙ මහජනතාව නම් ඒ වගකීමත් ඔවුන් භාරගන්න ඕන. උගත්, වැදගත් මිනිහෙකුට ඡන්දයක් දෙන්න ජනතාව කැමති නැහැ. පාතාලයට සම්බන්ධනම්, මිනීමරල තියෙනවනම්, ස්ත්‍රී දූෂණ කරල තියෙනවනම්, හොරකම් කරනවනම්, ඒක තමයි ජනතාවගෙ පළවෙනි අභිමතය. ජනතාව ඉල්ලන දේ තමයි දේශපාලනඥය දෙන්නෙ.

සිරකරුවන් සමාජගත කරන්න නිසි වැඩපිළිවෙළක් තවමත් හැදිල නැහැ. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

පුනරුත්ථාපනය හරියට කෙරෙන්නෙ නැහැ. කන්දකාඩුවෙ එළිමහන් පුනරුත්ථාපන කඳවුරෙදි යම් වැඩකොටසක් වුණා. අඹේපුස්ස පුනරුත්ථාපන කඳවුර ආරම්භ කළේ මම. කැබිනට් පත්‍රිකාවක් හරහා බූස්ස හමුදා කඳවුර සිරකරු පුනරුත්ථාපන කඳවුරක් බවට පත්කළේ මගෙ කාලෙ.

රටේ අපරාධ අඩුකරන්න, මරණ දඬුවම උත්තරයක් හැටියට ඔබ දකිනවද?

තමන්ගෙ ජීවිත ආරක්ෂා කරගන්න හොඳම දේ මොකක්ද කියන එක රටේ ජනතාවයි තීරණය කරන්න ඕන. දෙපැත්තටම තර්ක කරන්න පුළුවන්. රටේ සමස්තයම කුණුවෙලා. ජරාජීර්ණ තත්ත්වයට ආවම බරපතළ දඬුවම් නැතුව රටක් බේරගන්න බැහැ. රටේ බලය තියෙන්නෙ ජනාධිපතිට. ජනතාවගෙ ජීවිතවල වගකීම තියෙන්නෙ එතුමට. වෙන විකල්පයක් නැත්නම් සුදුසු තීරණයක් ගන්න ඕන.

වැලිකඩ බන්ධනාගාරයෙදි වගේම අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයෙදිත් රැඳවියන්ට පහර දෙනවා. බන්ධනාගාර තුළ මෙවැනි තත්ත්ව ඇතිවෙන්නෙ ඇයි?

බන්ධනාගාරවල ඉන්නෙ සිල් රකින්න ආපු අය නෙවෙයි. නිලධාරීන්ට බලය පාවිච්චි කරන්න වෙන වෙලාවල් තියෙනවා. විනය ක්‍රියාමාර්ග ගන්න ඕන.

මේ පහරදී‍ම් විනය ක්‍රියාමාර්ග හැටියටද දකින්නෙ?

මම දකින්නෙ විනය ක්‍රියාමාර්ග හැටියට. හිරේ ඉඳගෙනත් තමන්ගෙ පුරුදු ගති අතහරින්නෙ නැහැ.

පළාත් සභා මැතිවරණය මුලින්ම තියන්න ඕන කියලයි ජනාධිපතිවරය කියන්නෙ?

ඒක තමයි රටේ නීතිය. රටේ නීතියට පයින් ගහනවනම් ඔහු ද්‍රෝහියෙක්. ඇයි මහජනතාවට තියෙන ඡන්ද අයිතිය අහිමිකරන්නෙ.

පළාත් සභා මැතිවරණයට නීතිමය කරුණු ගණනාවක් හරස්වන බවයි කියන්නෙ?

කවුද නීති හදන්නෙ. ඒරොප්පෙ අයද නැත්නම් අපායෙ යම රජ්ජුරුවොද? නීති හදන්නෙ පාර්ලිමේන්තුවයි අගමැතියි අගමැතිට ඕන දේ තමයි පාර්ලිමේන්තුවෙ කෙරෙන්නෙ. ඡන්ද ක්‍රමේ හදපු අය ඉන්නෙ පාර්ලිමේන්තුවෙ. 19 සති දෙකෙන් තුනෙන් සම්මත කරගත්ත නම්, මැතිවරණ ක්‍රමය හදාගන්න බැරිද? ආණ්ඩුවට ඡන්ද ඕන නැහැ. ඒකයි ප්‍රශ්නෙ.

පාතාල නායක මදූෂ් සම්බන්ධයෙන් මෙරට අධිකරණයකින් තවමත් රතු වරෙන්තුවක් නිකුත් නොකිරීම ගැනත් ගැටලු මතුවෙලා ඇති බවයි කියන්නෙ?

පාතාලය අල්ලන්න අධිකරණ රතු වරෙන්තු අවශ්‍ය නැහැ. අපරාධ කාරණාවලදි ඩුබායි රාජ්‍යයයි අපියි අතර අන්‍යෝන්‍ය සහයෝගය දැක්වීමේ ගිවිසුමක් තියෙනවා. ඒ ගිවිසුම පාර්ලිමේන්තුවෙ සම්මත කරල තියෙන්නෙ. ඒ රටේ අපරාධයක් තියෙද්දි ඒ රටේ නීතිය ක්‍රියාත්මක නොවී අපරාධකාරයන්ව මෙහෙට භාරදෙන්න ඒ රාජ්‍යය බැඳිල නැහැ.

ඩුබායි රාජ්‍යය සමඟ ලංකා ආණ්ඩුව උදර්පන නීතියට අදාළ ගිවිසුම් අත්සන් කළත් එහි පවතින අඩුපාඩු නිසා මදූෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීම ගැටලු සහගත බවයි කියන්නෙ?

උදර්පන නීතිය, ජාත්‍යන්තර නීතියෙ පිළිගත් මූලධර්මයක්. ඒකෙන් රටවල්වලට ඇතුල්වෙන්න අවසරයක් තියෙනවා. මේ ගිවිසුමට අනුව, ඒකපාක්ෂිකව අපි විතරයි ඩුබායි රාජ්‍යයට වගකියන්න ඕන. ඩුබායි රාජ්‍යයෙන් කාවත්, මෙහෙට දෙන්න බැඳිල නැහැ. ඒක තමයි අපේ රට ඇතිකරගත්තු ගිවිසුම. අපේ රටේ ඉන්නෙ අමුතුම දක්ෂ පාලකයො හා නිලධාරීන් ටිකක්නෙ. මේක පාර්ලිමේන්තුවෙ සම්මත වෙන්න ඕන. ඔය මොනවත් ඕන නැහැ. අන්‍යෝන්‍ය සහයෝගය යටතේ රටවල් දෙකට කතාකරල ඕන දෙයක් කරන්න පුළුවන්.

අභියාචනාධිකරණයට සභාපතිවරයෙක් පත්කරගන්න තවමත් හැකිවෙලා නැහැ. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

විනිවිදභාවය වැඩි කරන්න, යහපාලනය ඇතිකරන්න ගෙනාපු 19 වෙනි සංශෝධනයෙන් හදපු ව්‍යවස්ථාදායක සභාව ජනාධිපති පත්කිරීම්වලට අනුමැතිය දෙන්නෙ නැහැ. ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිතුමා චෝදනා එල්ල කළා. මම අවුරුදු දෙකක් ව්‍යවස්ථාදායක සභාවෙ හිටියා. අද රටේ තියෙන දූෂිතම ආයතනවලින් එකක් තමයි ව්‍යවස්ථාදායක සභාව. මේ ව්‍යවස්ථා සභාවට කිසිම දැක්මක්, විචක්ෂණ ඥානයක් නැහැ. ඒකෙන් ගන්න තීන්දු වැරදියි. ඒකෙ සම්පූර්ණයෙන් කරන්නෙ දේශපාලනය. ගමේ කෝපිකඩේ තීන්දු එතනින් ගන්නෙ. එක් පුද්ගලයෙක්ගෙ වුවමනාවට ව්‍යවස්ථාදායක සභාවම දේශපාලනීකරණය වෙලා. විනිශ්චයකාරවරු දැඩි පීඩනයකින් ඉන්නෙ.

ව්‍යවස්ථාදායක සභාව ගැන ජනාධිපතිවරයගෙ කරුණු දැක්වීමට කතානායකවරය පිළිතුරු සැපයුවා?

අපේ රටේ වැරදි කරපු අය කවදද වැරදි භාරගත්තෙ. එහෙම ඉතිහාසයක් අපිට තියෙනව ද?

ඕන ඡන්දෙකට අපි සූදානම්

තලතා අතුකෝරල
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි

අපරාධකරුවන්ට පිටතට වඩා බන්ධනාගාරය වඩාත්ම සුරක්ෂිත යි කියලයි කියන්නෙ. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

ඒ කතාව මම බැහැර කරන්නෙ නැහැ. මේ තත්ත්වය කාලයක් තිස්සෙ ගොඩනැඟුනු එකක්. ගෙවීගිය දශකයෙ මේ තත්ත්වය වැඩියෙන්ම දකින්න ලැබුණා. මේ වෙනකොට යම් පාලනයකට ලක්කරන්න අපි කටයුතු යොදමින් ඉන්නවා.

මේ සම්බන්ධයෙන් වැඩිම ‍ දෝෂාරෝපණය එල්ලවෙන්නෙ බන්ධනාගාර නිලධාරීන්ට.

විවිධ ආයතනවල ඒ වගේ නිලධාරීන් ඉන්නවා. ඔය කතාවත් බැහැර කරන්න බැහැ. යම්තාක් දුරකට අපිට මේ දෝෂාරෝපණය පිළිගන්න වෙනවා.

රටේ සිදුවෙන අපරාධවලට දේශපාලනඥයොයි පොලීසියයි උදව් කරන්නෙ නැත්නම් මෙච්චර භයානක තත්ත්ව ඇතිවෙන්නෙ නැහැ කියලයි කියන්නෙ?

දේශපාලනඥයන් අපරාධවලින් ඉවත්විය යුතුයි. අපරාධකරුවන් එක්ක දේශපාලන සම්බන්ධතා කාලයක් තිස්සෙ පත්වාගෙන ගිහින් තියෙනවා. 2005න් පස්සෙ තමයි මේ තත්ත්වය වැඩි වුණේ. ඒ වෙලාවෙ රටේ හරියට නීතියක් ක්‍රියාත්මක වුණේ නැහැ. තමන්ගෙ මතය නීතිය බවට පත්වෙච්ච යුගයක් ති‍බුණෙ. දැන් ඒ තත්ත්වය යම්තාක් දුරකට පාලනය වෙලා තියෙනවා. හැම දේශපාලනඥයවම ඔය ගොඩට දාන්න බැහැ. ජනතාවගෙ විශ්වාසය ආරක්ෂාකරගෙන වැඩ කරන අයත් ඉන්නවා. එක කණ්ඩායමක් විතරයි වැරදි පාරට ගිහින් තියෙන්නෙ. තමන්ගෙ බලය මොන ක්‍රමයකින් හරි තහවුරු කරගන්නයි ඒ අයට ඕන.

බන්ධනාගාර ඇතුළෙ බුද්ධි අංශ හරියට ක්‍රියාත්මක වෙනවනම් බොහොමයක් අපරාධ පාලනය කරගන්න පුළුවන් නේද?

ඔය සම්බන්ධව අපි ලොකු වෙනසක් කළා. ඔක්තෝබර් 26 ඇති වෙච්ච දේශපාලන කුමන්ත්‍රණයක් එක්ක ඒ තත්ත්වය කඩා වැටුණා. මේ තනතුරුවල අපි ඉදිරියටත් හිටියොත් බන්ධනාගාර පද්ධතිය හොඳ තැනකට ගන්න පුළුවන්.

සිරකරුවන් සමාජගත කරන වැඩ පිළිවෙළ නිසියාකාරව වෙන්නෙ නැහැ කියල චෝදනා එල්ල වෙනවා?

ඒ කටයුත්ත ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. තව දියුණු වෙන්න ඕන. සිරකරුවෝද මනුෂ්‍යයෝ කියන පදනමෙන් ඔවුන් දිහාබලන්න අවශ්‍යයි. නීතිය නොදැනුවත්කම නිසා හිරගෙදරට ආපු අයත් ඉන්නවා. නොදැන කරපු වැරදි, ආවේගයට කරපු වැරදි නිසා හිරගෙදරට ආපු අයත් ඉන්නවා. මේ මිනිස්සු සමාජගත කරන්න අලුතෙන්ම වැඩපිළිවෙළක් හදන්න ඕන.

මත්ද්‍රව්‍යවලට සම්බන්ධ රැඳවියන් ගැන ජනාධිපතිවරයා තොරතුරු ඉල්ලා සිටියත් ඒ තොරතුරු ලබාදීමේදී අඩුපාඩුකම් සිදුවුණු බවට ජනාධිපතිවරයාගෙන් චෝදනා එල්ල වුණා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

එහෙම චෝදනා කරන්න මොනව හරි හේතුකාරණා තියෙන්න ඇති. ඒ ගැන මම හරියට දන්නෙ නැහැ. මම නොදන්න කරුණු එතුමා දන්නවද? අපි දීපු වාර්තාවලට වැඩිදෙයක් එතුමා දැනන් හිටියද කියන එක මම දන්නෙ නැහැ. දෙපාර්තමේන්තුවෙන් අපිට ලබාදුන්නු තොරතුරු නියම වෙලාවට ඉදිරිපත් කළා.

රටේ අපරාධ අඩුකරන්න එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම, උත්තරයක් හැටියට ඔබ දකිනවද?

එල්ලුම් ගහ අපේ රටේ තිබුණු දෙයක්. ජේ.ආර්.ජයවර්ධන මහත්තයගෙ ධර්මිෂ්ට රාජ්‍ය සංකල්පයත් එක්ක එල්ලුම් ගහ නැති වුණා. මෑත කාලයෙ ඇතිවෙච්ච අපරාධත් එක්ක නැවත එල්ලුම් ගහ අවශ්‍යයි කියන කතිකා වත ඇති වුණා. කොහොම වුණත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන මීට වඩා වගකීමකින් කටයුතු කරන්න ඕන. සමහර දෙපාර්තමේන්තුවල විවිධ අක්‍රමිකතා ගැනත් කතා වෙනවා. නීතිවිරෝධී මත්පැන් ගැන නීතිය ක්‍රියාත්මක කරන්නවත් අද බැරි වෙලා.

පහුගිය කාලෙ බන්ධනාගාර ඇතුළෙදි රැඳවියන්ට පහරදීම්, ඝාතනය කිරීම් ගැනත් කතා වුණා. අලුත්ම සිද්ධිය අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයෙ ඇතිවුණු තත්ත්වය. මේ ගැන මොකද කියන්නෙ?

අවම බලතල පාවිච්චි කරන්න බන්ධනාගාර නිලධාරීන්ට පනතෙන්ම අවසර දීලයි තියෙන්නෙ. විශේෂ කාර්ය බළකාය බන්ධනාගාර ආරක්ෂාවට දැම්මා. පුද්ගල පරීක්ෂාවත් ඔවුන්ට පැවරුවා. ඒකත් එක්ක තමයි මේ තත්ත්වය ඇති වුණේ. දූෂිත නිලධාරීනුත් මේකට සම්බන්ධයි. මත්ද්‍රව්‍යවලට සිරගත වෙච්ච රැඳවියන්ගෙ ගෙවල්වලින් මුදල් ගන්න නිලධාරීන් තවමත් ඉන්නවා. ඒ ගැනත් අපි සොයා බලනවා. මේ සිද්ධිය වෙන්නෙ නොවැම්බර් 22, ඒ දවස්වල රටේ ආණ්ඩුවක් තිබුණේ නැහැ. නොවැම්බර් 16 වෙනිදා ඒ බන්ධනාගාරයෙ රැඳවියෙක් ඝාතනය වෙනවා. ඒ ගැන කවුරුවත් කතා කළේ නැහැ. නැවත එවැනි දේවල් බන්ධනාගාර ඇතුළෙ වෙන්න බැහැ.

පාතාල නායක මදුෂ් සම්බන්ධයෙන් මෙරට අධිකරණයකින් තවමත් රතු වරෙන්තුවක් නිකුත් නොකිරීම ගැන ඔබ මොකද කියන්නෙ?

පරීක්ෂණ කරන කණ්ඩායම් උසාවියට කරුණු ඉදිරිපත් කරල වරෙන්තු ගන්න ඕන. අපිට ඒව කරන්න බැහැ.

ඩුබායි රාජ්‍යය සමඟ ලංකාව අත්සන් කළ උදර්පන නීති ගිවිසුම ඒකපාර්ශ්වික බවයි කියන්නෙ. ඒ ගිවිසුම ලංකාවට අවාසි බවත් කියනවා?

ඕනම රටක්, ගිවිසුමක් අත්සන් කරන්නෙ තමන්ගෙ අයිතිය තියාගෙන. ඒ අයිතිය අපිටත් තියෙනවා. ඩුබායි ජාතිකයෙක් මෙහෙ වරදක් කරල අහුවුණොත් ඒක අපේ රටේ නීතිය හැටියටයි කටයුතු කරන්නෙ. ඔය ගිවිසුම අත්සන් කළේ විදේශ කටයුතු අමාත්‍යංශය ගිවිසුමේ හැටියට අපිට ඉල්ලීම් කරන්න පුළුවන්.

මේ ගිවිසුම තවමත් පාර්ලිමේන්තුවෙ සම්මත වෙලා නැහැ කියලත් චෝදනා එල්ල වෙනවා?

සම්මත වෙලා තියෙන්නෙ.

අභියාචනාධිකරණයට සභාපති වරයෙක් පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අකුල් හෙළන බවයි කියන්නෙ. ව්‍යවස්ථාදායක සභාව තනිකරම දේශපාලනීකරණය වෙලා නේද?

ව්‍යවස්ථාදායක සභාවෙ සභාපති කතානායක තුමා , අගමැතිතුමා, විපක්ෂ නායක තුමා, අගමැතිතුමාගෙ නියෝජිතය හැටියට මමත් නියෝජනය කරනවා. විපක්ෂනායක තුමාගෙ නියෝජිතයා, ජනාධිපතිතුමාගෙ නියෝජිතයා, සුළු පක්ෂවලින් ජනතා විමුක්ති පෙරමුණු නියෝජිතයා ඉන්නවා. මේ හැමෝම එතන දේශපාලනය කරනව නම් එක මතයක්නෙ රටේ තියෙන්නෙ. මේ ඔක්කොම එක දේශපාලනයක්ද කරන්නෙ.

ව්‍යවස්ථාදායක සභාව, රටේ පවතින දූෂිතම ආයතනය බව, විජේදාස රාජපක්ෂ මහත්තය කියනවා. එතුමත් වසර දෙකක් ව්‍යවස්ථාදයක සභාව නියෝජනය කළා...?

දූෂිතයි කියල එතුමට හිතුනනම් ඇයි අවුරුදු දෙකක් හිටියෙ. ඇමැතිකම අහිමි වෙච්ච නිසා ව්‍යවස්ථාදායක සභාවත් එතුමට අහිමි වුණා.

පළාත් සභා මැතිවරණයට කලින් එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයක් ඉල්ලන්නෙ රටේ නීතියට පිටින් ගිහින් කියලයි කියන්නෙ?

කවුද එහෙම ඉල්ලුවෙ.

එක්සත් ජාතික පක්ෂය?

නැහැ, කවුරුවත් එහෙම ඉල්ලුවෙ නැහැ.

එක්සත් ජාතික පක්ෂයෙ මැති ඇමැතිවරු මාධ්‍ය හමුවෙදි ජනාධිපතිවරණය ඉල්ලන බවට වාර්තා පළ වෙනවා?

ඒ, එක එක්කෙනාගෙ මත. දැන් මට හිතෙන දේ මම කිව්වම ඒක එක්සත් ජාතික පක්ෂයෙ මතය වෙන්නෙ නැහැ. පක්ෂය හැටියට ප්‍රකාශයක් කරන්න ඕන.

ඔබ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙත් ඉන්නවා. ඉදිරි මැතිවරණ ගැන පක්ෂයෙ මතය මොකක්ද?

මොන ඡන්දෙ ආවත් අපි කරනවා, ඕනම දේකට මුහුණ දෙන්න අපි සූදානම්. බලය රඳා පවත්වාගෙන යන්න, අහිංසක මිනිස්සුන්ව අපි පාවිච්චි කරන්නෙ නැහැ. රටේ දුප්පත්කම නැති කරලා ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් ලබාදීම තමයි අපේ අරමුණ.

නව අදහස දක්වන්න