විවිධ වෙසින් එන ආක්‍රමණිකයෝ | දිනමිණ

විවිධ වෙසින් එන ආක්‍රමණිකයෝ

ආක්‍රමණශීලී ආගන්තුක ශාක හා සත්ව විශේෂවල බලපෑම අතිමහත්ය. මෙම ජීවීන් රටක පරිසර පද්ධති වෙනස් කරන අතර ජෛව විවිධත්වය අඩු කරයි. එමඟින් ස්වභාවික පරිසර පද්ධතිවල පාරිසරික අගය අඩු වේ. දේශීය විශේෂ සමඟ මුහුම් වීමේ හැකියාව මොවුන් සතු නිසා දේශීය ජාන සංයුතිය විකෘති වීමක්ද සිදුවේ. එපමණක් නොව මොවුන් රෝග වාහකයන් ලෙස ක්‍රියාකරන අතර, සමහර ආගන්තුක ආක්‍රමණශීලී ජීවීන් මිනිසාගේ ජීවිතයටද දැඩි තර්ජනයකි.

දේශීය නොවන ශාක හා සත්ව විශේෂ ගණනාවක් ඕනෑම රටක ව්‍යාප්ත වී තිබේ. මේවායෙන් ඇතැම් ශාක සහ සත්ව විශේෂ එක් රටකින් තවත් රටකට අනවසරෙන් ගෙන්වා, ව්‍යාප්ත කරන ලද ජීවී විශේෂ වේ. ආක්‍රමණික හෝ ආගන්තුක හෝ නීත්‍යානුකූල නොවන ආකාරයට ගෙන්වන අනවසර ජිවී විශේෂ ලෙස මේවා හැඳින්විය හැකිය. වර්තමානයේ මෙලෙස නීත්‍යානුකූල නොවන ආකාරයට මෙරටට ශාක සත්ව විශේෂ ගෙන්වීමෙහි යම් වර්ධනයක් දක්නට ලැබේ.

ආක්‍රමණශීලී ආගන්තුක විශේෂ ලෙස හඳුන්වන්නේ ආර්ථිකයට, පරිසරයට හා සමාජ ජීවිතයට අහිතකර ‍බලපෑම් එල්ල කරන, වෙනත් භූගෝලීය ප්‍රදේශවලින් පැමිණි ජීවී විශේෂ වේ. නැතහොත් හඳුන්වාදීමකින් හෝ අහම්බෙන් හෝ තම ස්වභාවික වාසස්ථානයෙන් බැහැර ප්‍රදේශයක ව්‍යාප්ත වී, එහි ජෛව විවිධත්වයට තර්ජනයක් ඇති කරන ජීවී විශේෂ ලෙස ඒවා දැක්විය හැකිය. මේවා විශාල ගස්, පැළෑටි, පඳුරු, වැල්, පක්ෂීන්, මත්ස්‍ය විශේෂ, කෘමි සතුන්, ක්ෂූද්‍ර ජීවින් හෝ ඕනෑම වර්ගීකරණ මට්ටමකට අයත් විය හැකියි. කෘෂිකාර්මික ඉඩම්, වන වගා, ස්වභාවික වනාන්තර, අතහැර දැමූ ප්‍රදේශ, මාර්ග දෙපස මෙන්ම අභ්‍යන්තර ජලාශ, දිය පහරවල්, ඇළ වේලිවලද සමහර විට කරදිය ප්‍රදේශවලද මේ විශේෂ පැතිරි යා හැකිය.

අහිතකර බලපෑම්

ශ්‍රී ලංකාව කුඩා දිවයිනක් වුවද ජෛව විවිධත්වයෙන් ඉතාමත් පොහොසත්ය. එහෙත් මෙම ස්වභාවික සම්පත ආක්‍රමණශීලි ආගන්තුක ජීවි විශේෂ ඇතුළු විවිධ ප්‍රභවයන් හේතුවෙන් තර්ජනයට ලක්වෙමින් පවතී. මෙම ජීව විශේෂ වේගයෙන් වර්ධනය වන අතර, තරගකාරී ලෙස දේශීය විශේෂ ආක්‍රමණය කරයි. ස්වභාවික විලෝපිකයකු නොමැති අවස්ථාවලදී, දේශීය විශේෂ ඉවත් කරමින් පරිසර පද්ධතිය වෙනස් කිරීමකට ලක්කරයි. මොවුන්ගේ බලපෑම අතිවිශාල වන අතර, මෙම විශේෂ මඟින් පරිසර හානිය, මානව සෞඛ්‍ය පරිහානිය මෙන්ම මිනිසාගේ ජීවනෝපායන්ට සහ ආර්ථිකයටද බලපෑම් එල්ල වේ.

ආක්‍රමණශීලී ආගන්තුක විශේෂ සහ ආක්‍රමණශීලී විභවයක් සහිත ආගන්තුක විශේෂ ලෙස ශ්‍රී ලංකාවේ දැනට ශාක විශේෂ 32ක් හඳුනාගෙන තිබේ. මෙයට ප්‍රමුඛ ආක්‍රමණික විශේෂ සහ ආක්‍රමණශීලි විභවයක් ඇති විශේෂ ද ඇතුළත්ය. මේවා විවිධ හේතූන් මත මෙරටට හඳුන්වා දී ඇත. විසිතුරු පැළෑටි ලෙසින්, රාජකීය උද්භිද උද්‍යානයට හඳුන්වාදෙන ලද ශාක විශේෂ ඉන් සමහරකි. සමහර විශේෂ පර්යේෂණ කටයුතු සඳහාත්, පාංශු ඛාදනය වැළැක්වීමටත්, සත්ත්ව ආහාර ලෙසත් හඳුන්වා දී ඇත. අනෙකුත් හඳුන්වාදීම් සිදුව ඇත්තේ අහඹු ලෙසින් ය. එනම් බීජ සහ ශාක අතු කැබලි සමඟ මිශ්‍ර වී හෝ වෙනත් ද්‍රව්‍ය මත වැටී අහඹු ලෙස පැමිණීමෙනි.

නරි වලිග, ගඳ පාන, වෙල් ආත්තා, ජපන් ජබර, කටු පතොක්, සැල්වීනියා, යෝධ නිදිකුම්බා, ගිනිතණ, මල් බටු, ඉපිල් ඉපිල් ශ්‍රී ලංකාවේ ආක්‍රමණශීලී ආගන්තුක ශාක විශේෂ කිහිපයකි.

ශ්‍රී ලංකාවේ සත්ත්ව විශේෂ 8ක් ආගන්තුක ආක්‍රමණශීලී ජීවීන් ලෙස දැනට හඳුනාගෙන ඇත. ඒ ගොළුබෙලි විශේෂ 2ක්, මත්ස්‍ය විශේෂ 5ක්, එක් උරග විශේෂයක් වශයෙනි. මේ මත්ස්‍ය විශේෂ බොහොමයක් හඳුන්වා දී ඇත්තේ අභ්‍යන්තර ධීවර කර්මාන්තය දියුණු කිරීම උදෙසාය. අනෙකුත් සතුන් හඳුන්වා දී ඇත්තේ සුරතල් සතුන් වශයෙනි. මෙරට ප්‍රමුඛ ආගන්තුක ආක්‍රමණශීලී සත්ත්වයෙක් ලෙස ‘ටැංකි සුද්දා’ නැමැති මත්ස්‍යා දැක්විය හැකිය. විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා ආනයනය කරන ලද මොවුන් මේ වන විට පහතරට තෙත් බිම් සහ මහවැලි ගං ද්‍රෝණියේ ව්‍යාප්ත වී සිටී. පතුල්වාසී ජීවියකු වන ටැංකි සුද්දා, දේශීය විශේෂවල බිත්තර සහ ආහාර බුදියි. මේ මත්ස්‍ය විශේෂය මේ වන විට විශාල ලෙස ව්‍යාප්තව පවතී.

දේදුනු ට්‍රවුට් 1889 වර්ෂයේදී මධ්‍යම කඳුකරයේ ඉහළ තැනිතලා ඔස්සේ ගලා බසින ඇළ මාර්ගවල මසුන් බිලී බෑමේ ක්‍රීඩාවට හඳුන්වා දුන් තවත් ආක්‍රමණශීලී ආගන්තුක මත්ස්‍ය විශේෂයකි. මොවුන් දේශීය කූනිස්සන් විශේෂ ආහාරයට ගනී. අප්‍රිකානු යෝධ ගොළුබෙල්ලාද මෙරට නිරිතදිග ප්‍රදේශයේ තේ වගා ප්‍රදේශවලට හිතාමතාම හඳුන්වා දුන් සත්වයෙකි. මොවුන් රට පුරාම බෝග සහ දේශීය ශාක ආහාරයට ගනී. මන්නයා, ඇපල් ගොළුබෙල්ලා, රතු කන් ඉබ්බා, පුල්ලි මගුරා එවැනි අනෙක් සත්ව විශේෂ කිහිපයකි.

ආක්‍රමණික හෝ ආගන්තුක ශාක හා සත්ව විශේෂ රටෙන් රටට වෙනස් විය හැකිය. අපේ රටට මේවා ආගන්තුක ආක්‍රමණශීලි වුවද, වෙනත් රටවලට එසේ නොවිය හැකිය. එක් එක් රටවල පවතින දේශගුණ, පාරිසරික තත්ත්වයන් ආදිය සමඟ ඒවා වෙනස් විය හැකි බැවිනි.

වෙනත් රටවලින් මෙරටට ශාක ගෙන්වීම ‘ ශාක ආරක්ෂණ පනත (Plants Protection Act) නැමැති නීතිය යටතේ සිදුවේ. මෙය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වේ. ශාකයක් මෙරටට ගෙන්වීමට අවසර ඇත්තේ මේ පනත යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන බලපත්‍රයක් ඇත්නම් පමණි. එලෙස ශාක ආනයනය කළත්, ඒ සඳහා කොන්දේසි ගණනාවක්ද පනවා තිබේ. එහිදී ඒවා අනිවාර්යයෙන් අනුගමනය කළ යුතුය. ගුවන් තොටුපොළේදී ගුවන් භාණ්ඩ ගෙන්වන පර්යන්තයේදී ජාත්‍යන්තර නිරෝධායන කොන්දේසිවලට යටත්ව මේවා පරීක්ෂාවට ලක්කරනු ලබයි. එතැනදී අනුමැතිය ලබාදීම හෝ නොදීම, අනවසරෙන් ගෙන්වන ශාක අත්අඩංගුවට ගැනීම ආදිය සිදු කෙරේ. මෙලෙස අවස්ථා කිහිපයකදීම පරීක්ෂාවට ලක්කර, අදාළ කොන්දේසිවලට යටත්ව අනුමැතිය ලබාගැනීමෙන් පසුව ශාක ගෙන්විය හැකිය. ශාකයක් ගෙන්වන විට එම ශාක සමඟ පස් වැනි කිසිදු අමුද්‍රව්‍යක් ගෙන්විය නොහැකිය. මේ සෑම දෙයක්ම සිදුවන්නේ ඉහත සඳහන් කළ ‘පැළෑටි ආරක්ෂක පනත’ යටතේය.

සතුන්ටත් මෙකී නීතිය පොදුය. සතුන් ගෙන්වීමේදී සෞඛ්‍ය තත්ත්ව සහතිකයක් ලබාගැනීම අනිවාර්ය වේ. මෙයට අදාළ වන්නේ ‘සත්ව නිරෝධායන පනත’ යි. මෙය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ සිදුවේ. ගෘහාශ්‍රිත සතුන් හැර අනෙක් සතුන් ගෙන්වනවා නම් ‘වන සත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගත යුතුයි. ගෘහාශ්‍රිත සතුන් නම් ‘සුරතල් සතුන්’ නාමාවලිය යටතේ වෙනම අවසර පත්‍රයක් ලබාගත යුතු වේ. ගුවන් තොටුපළේ ශාක නිරෝධායන මෙන්ම සත්ව නිරෝධායන ඒකකයේ නිලධාරීහු සිටිති. රේගුව විසින් සහ මේ ඒකකය විසින් එවැනි දේ පරීක්ෂාව ලක් කෙරේ.

ශාක හෝ සත්ව ඕනෑම ආනයනයකදී පෙර සිටම අවසර පත්‍ර ලබාගෙන තිබිය යුතුයි. එහි සඳහන් වන්නේ මෙරට ගෙන ආ පසුව අවසර හෝ බලපත්‍ර ලබාගත නොහැකි බවයි. පැළෑටි ආරක්ෂණ පනත යටතේ නිරෝධායන සහතික ලබාගැනීම අනිවාර්ය වේ. කෘෂිකර්ම නිරෝධායන නිලධාරීන් (Quarantine) විසින් ගුවන් තොටුපොළේදී පරීක්ෂා කර අනවසර ශාක සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබේ. අනවසරෙන් ශාක හෝ සතුන් ආනයනය කර ඇති විටෙක රේගුව ඒවා පරීක්ෂා කර නිරෝධායන නිලධාරීන් වෙත භාර දෙනු ලැබේ. ඒ අනුව නීතිමය කටයුතු කෙරේ.

විශේෂ ලක්ෂණ

ඔවුන් ස්වභාවික පරිසරයෙන් පිටතදී ආක්‍රමණශීලී වන බවට දිගු ඉතිහාසයක් ඇති අතර, විවිධ පරිසර පද්ධතිවල විශාල ලෙස ව්‍යාප්ත වී ඇත. පුළුල් පරාසයක ආහාර ලබා ගනී. විශේෂිත වූ ආහාර සඳහා හැඩගැසී නැත. ඉතාමත් වේගයෙන් වර්ධනය වන අතර, දිගු කාලයක් ජීවත්වීමේ හැකියාවක් ද ඇත. ප්‍රජනනය ඉතාමත් ඵලදායි කාර්යක්ෂම ලෙස සිදු කරන අතර, සාර්ථක ව්‍යාප්තියක්ද සිදුවේ. දුෂ්කර තත්ත්වයන් එනම් ජලය සහ ආහාර නොමැතිව ජීවත්වීමේ හැකියාවක් ඇති අතර, එම තත්ත්වයන් දරා ගැනීම සඳහා අනුවර්තන බොහෝමයක් තිබේ.

විශේෂම ලක්ෂණයක් නම් මේ ශාක හා සත්වවලට දේශීය විශේෂ අතික්‍රමණය කිරීමේ හැකියාව තිබීමයි. මේ නිසා දේශීය විශේෂ වඳ වී යාමේ තර්ජනයට මුහුණපානු ලැබේ.

ඉහත ශාක හා සත්ව විශේෂ ක්‍රම කිහිපයකින් මෙරටට ආනයනය කර ඇත. හිතාමතාම මෙරටට හඳුන්වා දීම් ලෙස එනම් සුරතල් සතුන් කර්මාන්ත සඳහා, අභ්‍යන්තර ධීවර කර්මාන්තය සඳහා, විනෝදයට මසුන් ඇල්ලීම සඳහා, කෘෂිකාර්මික පළිබෝධක මර්දනයේදී ජෛව මර්ධක ලෙස සහ හොර ජාවාරම් මඟින් මෙරටට අනවසරෙන් සතුන් ගෙන එම ලෙසිනි. එසේම ගුවන් යානා සහ නැව්වල ඇති භාණ්ඩ අතර, ඉදිකිරීම් උපකරණ අතර සහ සංචාරකයන්ගේ ඇඳුම් පැළඳුම් අතර ඇමිණී හෝ සැඟවී අහඹු ලෙස පැමිණීම ද සිදුවේ. ඊට අමතරව බොහෝ සෙයින් අනවසරෙන් ශාක සතුන් ගෙනෙන්නේ වෙළෙඳාම පිණිසය. බලපත්‍ර ලබාගැනීම ඉතාම ලෙහෙසියෙන් පහසුවෙන් සිදුකළ නොහැකි බැවින්ද ඒ සඳහා කොන්දේසි නීති රෙගුලාසි ගණනාවකට යටත් වීමටද සිදුවන හෙයින්ද හොර රහසේ නීතියේ දෑස් වසා ශාක සත්තු ගෙන්වන ප්‍රමාණය වැඩි වී ඇත.

ආක්‍රමණශීලී ආගන්තුක ශාක හා සත්ව විශේෂවල බලපෑම අතිමහත්ය. මෙම ජීවීන් රටක පරිසර පද්ධති වෙනස් කරන අතර ජෛව විවිධත්වය අඩු කරයි. එමඟින් ස්වභාවික පරිසර පද්ධතිවල පාරිසරික අගය අඩු වේ. දේශීය විශේෂ සමඟ මුහුම් වීමේ හැකියාව මොවුන් සතු නිසා දේශීය ජාන සංයුතිය විකෘති වීමක්ද සිදුවේ. එපමණක් නොව මොවුන් රෝග වාහකයන් ලෙස ක්‍රියාකරන අතර, සමහර ආගන්තුක ආක්‍රමණශීලී ජීවීන් මිනිසාගේ ජීවිතයටද දැඩි තර්ජනයකි. මෙම ශාක වනාන්තර තුළ ගිනි ගැනීම් හට ගැනීමටද හේතු වේ. ජලාශ, අමුණු, ඇළවල්වල ජල බැස්ම අවහිර කිරීමද සිදුවේ. මේ ආදී ලෙස ශාක සත්තු ආගන්තුක හෝ ආක්‍රමණශීලි ලෙස හෝ අනවසරෙන් මෙරටට ගෙන්වීම මඟින් විශාල බලපෑමක් සිදුවන අතර, මොවුන් මෙරට ස්ථාපනය වූ පසු පාලනය කිරීම හා කළමනාකරණය දුෂ්කර වනවා මෙන්ම විශාල පිරිවැයක් දැරීමට ද සිදුවේ.

අනවසරෙන් ගෙන්වන ශාක සතුන් හසු කර ගැනීමට රේගුව සතුව බලය පවතී. මෙලෙස ගෙන්වන ශාක සතුන් රේගුව මඟින් පරීක්ෂා කර ඔවුන් ශාක හා සත්ව නිරෝධායන නිලධාරීන් වෙත යවනු ලැබේ.‍ ඔවුන් ඒවා පරීක්ෂා කර බලා නිදහස් කිරීමට සුදුසුද නැද්ද යන්න තීරණය කරයි. නුසුදුසු හෝ අනවසරෙන් ගෙන්වන ශාක විනාශ කරන අතර, ඇතැම් ඒවා ප්‍රතිඅපනයනය (Re-export) කරයි.

නව පනතක්

ඉදිරියේදී මේ සම්බන්ධ නීති රීති පද්ධතිය තවත් වැඩි කිරීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට මේ වනවිටත් ඉදිරිපත් කර තිබේ. පවතින නීති ප්‍රමාණවත් නොවීම නිසා නව පනතක් සම්මත කර, තවත් නීතිය දැඩි කිරීමට හේතුවයි. දැනට පවතින නීතියේ අඩුපාඩු මඟ හැරීමට මේ පනතට හැකි වනු ඇත. මේ පනත මඟින් ආක්‍රමණශීලී ආගන්තුක හෝ අනවසර ශාක සතුන් වෙන වෙනම ලැයිස්තු ගත කර , අදාළ ආයතන හරහා විධිමත්ව නීතිය ක්‍රියාත්මක කිරීමක් සිදුවනු ඇත.

දැනටමත් රේගුව මඟින් නීති විරෝධී ආනයනයන් අත්අඩංගුවට ගෙන වරදකරුවන්ට දඬුවම් දීම සිදුකළත් මේ වන විටත් මහා පරිමාණ පරිසර හානි සිදු වී හමාර බව මෑතකාලීන රේගු දත්ත හා වාර්තා අනුව පෙනී යයි. මේවා වැළැක්වීමට ක්‍රියාකිරීම බලධාරීන් සතු වගකීමයි‍. සතුන් සහ පැළෑටි ආනයනය සහ අපනයන පාලනය කරන්නාවූ නීති කිහිපයක් ඇත. ආනයන සහ අපනයන පාලක පනත, රේගු ආඥා පනත, වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක පනත, ධීවර ආඥා පනත, පැළෑටි ආරක්ෂක පනත, සත්ත්ව නිරෝධායන පනත, වන ආඥා පනත එම නීති වේ.

ආරක්ෂිත ජීවීන් ඇල්ලීම , ළඟ තබාගැනීම, ප්‍රවාහනය, වෙළෙඳාම නීතියෙන් තහනම් කර ඇත. ආනයනය හෝ අපනයනය සීමාකරන ලද සහ තහනම් කරන ලද ජීවීන් ආනයනය සහ ආපනයනය කිරීම සහ එසේ කිරීමට උත්සාහ කිරීමද බරපතළ වරදකි. මෙම නීති උල්ලංඝනය කරන්නන් සිර දඬුවම්, දඩ, අමතර අහිමි කිරීම්වලට යටත්වන අතර අදාළ භාණ්ඩ විනාශ කිරීම, රාජ සන්තක කිරීම සිදු කෙරේ.

ඉහත ආක්‍රමණ වළක්වා ගැනීමට නම් අදාළ බලයලත් ආයතන හරහා මූලික පරීක්ෂා කිරීමකින් තොරව විසිතුරු සතුන් සුරතලුන් ලෙස විදේශ රටවලින් ගෙන ඒම, ආක්‍රමණශීලි ආගන්තුක සත්ත්ව විශේෂ ළඟ තබා ගැනීම, ප්‍රවාහනය හා බෝ කිරීම ආදිය නොකළ යුතුය. ශාක හා සතුන් ආනයනය කරන නිසි ක්‍රමවේද හා නීතිරීතිවලට එකඟව බලපත්‍ර ඇතිව සිදුකළ යුතුය. නීත්‍යානුකූලව සිදුකිරීම මඟින් අනවශ්‍ය තර්ජනයන්ට, දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු නොවනු ඇත.

යශෝදා ඉන්දීවරී


නව අදහස දක්වන්න