පින්බිමක පෙරහර | දිනමිණ

පින්බිමක පෙරහර

දෙනෙතට දැකිය හැකි, සවනට ඇසිය හැකි, මනසින් රස විඳිය හැකි අවස්ථාවක් නවම් පුන් පොහෝ දිනයේදී එළඹෙන්නේය. එක ඉරියව්වකින් හිඳ කොළොම් පුර නවම් මහ පෙරහර පෙළහරක්ව මතකයේ රැ‍ඳෙමින් සිත නැවත නැවතත් ආවර්ජනය සඳහා යොමුකළ හෙයින් ලිවීමට සිත්විය. මුලින්ම පෙරහර පුරාවෘතය සඳහන් කිරීම අමතක කළා ‍නොවේ.

බුදු සසුනේ අඩිතාලම නවම් පොහෝ දින සැකසිණ. සැරියුත් මුගලන් දෙනම අගසව් පදවි සඳහා පත්වූයේද නවම් පොහෝ දිනයකදීය. රජගහනුවර වේළුවනාරාමයේදී එක්දහස් දෙසිය පනහක් භික්ෂූන්වහන්සේ අග්‍රශාවක තනතුරු ප්‍රදානයට සහභාගිවූ සේක. බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පානා බව තෙමසකට පෙරාතුව අධිෂ්ඨාන කළේද මෙවන් දිනයකදීය.

එදා කොළොම්පුර හුණුපිටියේ බේරේ වැව අද්දර කුඩා ආවාසයකි. දෙවුන්දර ශ්‍රී ජිනරතන නාහිමි එහි වැඩම කළ සේක. ඒ 1885 වසරේදීය. ගංගාරාම පුරාවෘතය ඇරඹෙන්නේ එතැන් සිටය. එදා එහි පැවතියේ මඩ වගුරකි. එම භූමිය පින්බිමක් බවට පත් කිරීමට උන්වහන්සේ මහත්වූ කැපවීමක් කළ සේක. උන්වහන්සේ ජීවත්ව සිටියදීම ගංගාරාම විහාරයේ කාර්යභාරය උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය පණ්ඩිත දෙවුන්දර වාචිස්සර නාහිමිපාණන් වෙත පැවරූ සේක. එසේම උන්වහන්සේ ජීවත්ව සිටියදීම විහාරස්ථ සංවර්ධන ක්‍රියාදාමය පවත්වාගෙන යාමට ගලබොඩ ඤාණිස්සර (පොඩි හාමුදුරුවන්ට) පැවරූ සේක. වර්තමාන ශ්‍රී විභූතිය උන්වහන්සේගේ විස්කම් දස්කම්හි අග්‍ර ඵලයකි.

පූර්ව ආදි කතුවරයන්වහන්සේලා ගංගාරාමයට වැඩමකරන අවස්ථාවේ කුඩා කුටියකට සීමාවූ පන්සල වත්මන මෙසේ සමලංකෘතය. බුදුමැදුර, චෛත්‍යය, බෝධීන්වහන්සේ, අටවිසි බුද්ධප්‍රතිමා මන්දිරය, ධර්මශාලා, සංඝාවාස, පුස්තකාලය, විහාර ගෙය, බෝමළුව, සක්මන් මළුව ආදියෙන් සර්ව සම්පූර්ණ විහාරයකි. එහි පහස ලබන අපට හැ‍ඟෙන්නේ දැනෙන්නේ පොළොන්නරු අවධියේ මහා විහාරයක ස්වරූපයකි. බේරේ වැව මැද පිහිටියාවූ සීමා මාලකය අනෙකුත් කිසිදු තැනක දක්නට නොලැබෙන සුවිශේෂ විහාරාංගයකි. එය විවෘත කරන ලද්දේ 1979 පෙබරවාරි 10 දිනදීය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සන්තකයේ පැවති සර්වඥධාතුන්වහන්සේලා, කැලණි විශාඛාව යනුවෙන් හඳුන්වන හෙලේනා විජයවර්ධන ළමාතැනී එම විහාරස්ථානයට පරිත්‍යාගයක් ලෙස පූජාකළ සර්වඥධාතුන් වහන්සේලා සහ බංගලාදේශය, ඉන්දුනීසියාව සහ චීනයෙන් පරිත්‍යාග වශයෙන් ලැබුණු ධාතුන් වහන්සේලා ගංගාරාම විහාරස්ථානයේ වැඩ සිටිති. එම සීවලී රහතන්වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාගේ ධාතුන්වහන්සේ ද මෙහි තැන්පත් කර ඇත.

ගංගාරාම විහාරස්ථ කෞතුකාගාරයේ පෞරාණික මැණික් වර්ග සේම ඉතා දුර්ලභ ගජමුතු රැසක්ම, දක්ෂිණාවෘත පුරාණ සංඛයක්ද, ස්කොට්ලන්ත ජාතිකයකු විසින් පරිත්‍යාග කරන ලද පැරණි මුද්‍රණ යන්ත්‍රයක කොටසක් ද එහිදී දැකගත හැකිය. එසේම පැරණි කාසි වර්ග, නෝට්ටු සහ විවිධ විෂයානුබද්ධ පැරණි පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් ද එහි තැන්පත් කර ඇත.

අපේ පොඩි හාමුදුරුවන්ට අපූරු අදහසක් පහළ විය. තනිකර ගලක නිමවූ සමාධි පිළිරුවක් පෙර‍‍හරේ වැඩමකරවීමයි ඒ. මේ සඳහා චීන ජාතිකයෙකුගේ සහාය ලැබීය. හෙළ මූර්ති කලාවට අනුව ගලින් නිර්මිත මෙම බුද්ධ ප්‍රතිමාව තැන්පත් කිරීමට කළුගලින් කැටයම් කරන ලද අගනා බුද්ධ මන්දිරයක්ද චීනයේදී තනවා (ටොන් 48ක් බරැති) කොටස් වශයෙන් ගංගාරාම විහාරස්ථානයට එවිය. මෙම මනරම් බුදුමැදුර දෙසැම්බර් 14 දින (පොඩි හාමුදුරුවන්ගෙ ජන්මදින) ධාතුන්වහන්සේ නිධන් කර විවෘත කරන ලදී. අපේ පොඩි හාදුමුදුරුවො ස්වකීය ජන්ම දිනය ලෙස පැවිදි වූ දිනය සැළකීමද විශේෂත්වයකි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වැඩවසන නාහිමිවරු ප්‍රධාන ගෝලනමක් විහාර කටයුතු සඳහා පුහුණු කරති. දායක කාරකාදීන් එම ගෝලනම හඳුන්වන්නේ පොඩි හාමුදුරුවො යනුවෙනි. උන්වහන්සේ විහාරස්ථානය භාර ගැනීමෙන් පසුව ලොකු හාමුදුරුවො වන සේක. නමුත් ගංගාරාමයේ පොඩි හාමුදුරුවො පමණක් එදා මෙන්ම අදත් පොඩිහාමුදුරුවෝමය. ගංගාරාමාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය ගලබොඩ ඥාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ තේජෝබල පරාක්‍රමය මුළු ලොව ප්‍රචලිතය. ඕනෑම පක්ෂයක ඕනෑම නායකයකු උන්වහන්සේට අවනතය. උන්වහන්සේ ගංගාරාමය බබළවන සේක.

ගංගාරාමය නම් අසිරිමත් පුදබිම මූලික කරගෙන කොළොම්පුර පැවැත්වෙන සංස්කෘතික මහා සංදර්ශනය නවම් මහ පෙරහරයි. අගනුවර සංස්කෘතික වේදිකාවද මෙයයි. 1979 වසරේ එවකට අගමැති ධුරය දැරූ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පූර්ණ දායකත්වයෙන් පොඩිහාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් නිර්මිත මෙම පෙරහරට මෙවර නර්තන ශිල්පීන් පන්දහසකට අධික ප්‍රමාණයක්ද, අලි ඇතුන් හැත්තෑවකට වැඩි ප්‍රමාණයක් ද, නිලමේවරු බොහොමයක්ද සමගින් සමලංකෘතව නවම් පුන් පොහොදින කොළොම්පුර චන්ද්‍රාලෝකයෙන් සහ පෙරහරාලෝකයෙන් ඒකාලෝක වන්නේමය.

ආචාර්ය පියසිරි පී. මීගොඩ


නව අදහස දක්වන්න