පීලි දිගේ ගැටලු සොයා | දිනමිණ

පීලි දිගේ ගැටලු සොයා

උදිත ගුණවර්ධන

පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ජලය සපයන ළිඳ සහ ජල ටැංකි පිරිසුදු නොකිරීම නිසා පානීය ජලය අපිරිසුදු තත්ත්වයක පවතින බව මගීහු කියති.. කසළ රඳවන මුණින් අතට නවා තිබෙන්නේ ඇයිද යන්න ගැටලුවකි. ඒ ගැන විමසු වීට මගීන් කියන්නේ දුම්රිය සේවකයන් කම්මැළිකමට මෙසේ වැඩකරන අතර මගින්ට තැන තැන කසළ දමන්නට සිදුව වී ඇති බවය.

කොළඹ කොටුවෙන් මුලින්ම දුම්රියක් පිටත් වුයේ 1860 දශකයේ මැද කාලයේදිය. එදා පළමු දුම්රිය පිටත් වූයේ කොළඹ කොටුවේ සිට අඹේපුස්ස දුම්රිය ස්ථානය වෙතය. ඒ අතර තුර ගොඩනගෛන ප්‍රධාන දුම්රිය ස්ථාන රැසක් වූ අතර ඒ අතරින් මහර ලෙස එදා හැඳින් වූ වර්තමාන රාගම හන්දිය දුම්රිය ස්ථානයත් ගම්පහ ලෙස අද හඳුන්වන පැරැණි හෙනරත්ගොඩ දුම්රිය ස්ථානයත් වේයන්ගොඩ මීරිගම වැනි දුම්රිය ස්ථානද තිබේ. එදා පැවැති සමාජ සවභාවය සහ මගී ගහණයට සාපේක්ෂව දියුණු සහ ආකර්ශණීය දුම්රිය ස්ථාන වූ මේවා කාලයේ වේගයන් දියුණු වූවාද යන්න ගැන සලකා බැලිය යුතුය. අඹේපුස්සෙන් නැවතුන රේල්ලුව කලක් යද්දි පොල්ගහවෙල දක්වාත් පසුව උතුරටත් කඳුරටටත් දීර්ග වු අතර ඒ සමග දුම්රිය ස්ථාන සහ නැවතුම්පොළ ප්‍රමාණයද ඉහළ ගියේය. මේ දුම්රිය ස්ථාන අතර වැඩිම මගී ප්‍රමාණයක් පරිහරණය කරන දුම්රිය ස්ථාන ලෙස කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා දුම්රිය ස්ථාන සඳහන් කළ හැකිය. විශාල මගී සංඛ්‍යාවක් විසින් භාවිතයට ගැණුනද මෙම දුම්රිය ස්ථානවල මගි ප්‍රමාණයට සාපේක්ෂව සනීපාරක්ෂක පහසුකම් සහ අනෙක් පහසුකම් ප්‍රමාණය ඉහළ ගියේද යන්න ගැන විමසා බැලුවහොත් අපට ලබා දිය හැකි උත්තරය වන්නේ "නැත" යන්න පමණි. දුම්රිය ස්ථානවල අලංකාරය සහ සනීපාරක්ෂක පහසුකම් ඒ ආකාරයට විනාශ වීම සම්බන්ධයෙන් බලධාරීන්ට පමණක් දොස් නැගීම නුසුදුසුවන අතර මගීන්ගේ පාර්ශ්වයෙන්ද වගකීම් හරිහැටි ඉටු කළාද යන්න සලකා බැලිය යුතුය.

මේ ගැන අප විමසා බැලිමට කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා විමසුම් චාරිකාවක නියැලුනෙමු.කොළඹ කොටුව එම දුම්රිය ස්ථානයක් ලෙස සැලකුම් ලැබුවද එය පළමු පෙළ තැන කෙතෙක් දුරට ආරක්ෂා කර ගෙන තිබේද යන්න ගැටලු සහගතය. දුම්රිය විදෙස් සංචාරකයන් දහස් ගණනින් හුවමාරුවන තැනක් වුවද එහි අන්තර් ජාතික ප්‍රමිතිය ගැන ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

සංචාරකයන් සඳහා වෙනම වැසිකිළි කැසිකිළි තිබුණද ඒවා ගැනද සම්පුර්ණ සෑහීමකට පත්විය නොහැකි තරම්ය. පොදු වැසිකිළිය ගැන නම් කතා කිරිමෙන් ප්‍රතිඵලයක් නැත. ඒ තරමටම එහි තත්ත්වය අපුලය. අප මෙම පොදු වැසිකළියේ ඇතුළතට මිහිපිට අපායකි අඩියක් තබා යාමට නොහැකි සේ අප ජලය වැසිකිලය පුරා රැඳී තිබුණි. දුම්රියේ ගමන් ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා මගියකුගේ මූලික අයිතියක් වන මෙම පහසුකම නිසි ලෙස සපුරා ගැනීමට බලධාරීන් අසමත් වන්නේ නම් එය කනගාටුවට කාරණයකි.

එමෙන්ම මරදාන දුම්රිය ස්ථානයේද තත්ත්වය එයට වෙනස් නැත.එහි දුම්රිය ස්ථානයේ අලංකාරය ගැන කිසිදු අවධානයක් යොමු නොකර නැති අතර වැසිකලිවල තත්ත්වය කොටුවට නොදෙවෙනිය. වැසිකිලි ප්‍රමාණය පැමිණෙන මගී ප්‍රමාණයට සාපේක්ෂව අඩුය. එනිසා බොහෝ විට මෙහිදි ඇතිවන්නේ අධික තදබදයකි. පිරිසුදු බව ගැනද කිව යුත්තේ එයමය. මෙහිදී බලධාරීන්ට පමණක් චෝදනා එල්ල කිරිම නිවැරැදි නොවන අතර මගීන්ටද එහිදී විශාල වගකීමක් තිබේ.

මරදාන

මෙහිදී අපට හමුවූයේ මහින්ද අමරසූරිය සහ ඥානසේකර යන මහත්වරුය. "අපිට මිට වඩා පහසුකම් ටිකක් තියෙනවා නම් හොඳයි.හදිසියකදී අපිට විවේකයක් ගන්න තැනක් නැහැ. දුම්රිය ස්ථානයේ ප්‍රසන්න බවක් නැහැ.ඒ ගැන අපිට කියන්න කෙනෙක් නැහැ කිව්වත් වැඩක් නැහැ." මරදාන වැනි දුම්රිය ස්ථානයක් මෙයට වඩා අගනා ලෙස ගොඩනැගිය හැකිය. විදෙස් චිත්‍රපට පවා තම දර්ශන පසුතලයට මෙම දුම්රිය ස්ථානය යොදා ගෙන ඇත. දුම්රිය මුලස්ථානය කේන්ද්‍ර කරගෙන ගොඩනැගුණු මරදාන දුම්රිය ස්ථානය මීට වඩා අලංකාරවත් කිරීම අදාළ බලධාරින්ගේ යුතුකමකි. වැසිකිළි කිහිපයක් තිබුණද ඒවා ඉතා අපිරිසුදුය. මගීන් ඒ බවට චෝදනා කරන්නේ අප්‍රසන්න බව මුහුණටද ආරූඪ කර ගනිමිනි.

රාගම

ප්‍රධාන මාර්ගයේ හමුවන පළමු දුම්රිය මංසංධිය රාගම දුම්රිය ස්ථානයයි. පුත්තලම දෙසට දුම්රිය මග සහ ප්‍රධාන දුම්රිය මග බෙදෙන තැන පිහිටි රාගම පළමු ශ්‍රේණියේ දුම්රිය ස්ථානයකි. එහෙත් මෙහි තිබෙන්නේ පළමු පෙළ තැනක් නොව දෙවන පෙළ හෝ තෙවන පෙළ තැනකි. ප්‍රධාන මාර්ගයේ ඇති අපිළිවෙලම සහ අපිරිසුදුම දුම්රිය ස්ථානයක් ලෙස මගින් මේ ස්ථානයේ හඳුන්වා දෙති ඔවුන්ගේ මෙම හඳුන්වා දීමේ වරදක් නැති බව අප එහි කළ සංචාරයේදි දක්නට ලැබුණි.පසුගිය කාලයේදී එය යම් නවීකරණයකට ලක් කිරීමට තැත් කළද එම ප්‍රයත්නය අසාර්ථක වී තිබේ. මෙහි ඇති ආසන සහ මගී රැඳවුම් ස්ථාන තිබෙන්නේ ඉතාමත් දුබල තැනකය. ඒ ගැන අවධානය යොමු කිරීමක් මෙතෙක් බලධාරීන් විසින් සිදු කර නැත.රාගම දුම්රිය ස්ථානයේ වැසිකිළිය අතිශය අපිරිසුදුය.කැසිකිළියේ මුත්‍රා කරන්නට හැකියාවක් නැත.නිතර ජලයෙන් පිරී තිබෙන්නේ නිසි නඩත්තුවක් හා පිරිසුදු කිරීමක් නොමැති බැවිනි. විවේකාගාරවල තත්ත්වයද එසේමය.

ගණේමුල්ල

ප්‍රධාන මාර්ගයේ ගණේමුල්ල මගීන් විශාල ප්‍රමාණයක් හුවමාරුවන දුම්රිය ස්ථානයක් වන අතර පසුගිය කාලයේදී මගී වේදිකාව නවීකරණය කරමින් විශාල ප්‍රතිසංස්කරණයක් සිදුකර තිබීම අගය කළ යුතුය.එසේ වුවද එම හොඳ අතර නොහොඳද අපට දැක ගැනීමට ලැබුණි. එනම් මගි පාලම් සහ පිටවන ස්ථානවල රාත්‍රී කාලයේදී නිසි ආලෝකයක් නොමැති වීම වැනි කරුණු ප්‍රධානය. එමෙන්ම වැසිකිලි දෙකක් ගැහැණු පිරිමි ලෙස පැවතුනද ඒවායේ පිරිසුදුකමක් නැත. නිසි පිරිසුදු කිරීමක් නොව කිසිදා පිරිසුදු කරන බවක් දැක ගැනීමට නොහැකිය.

ගම්පහ

ගණේමුල්ල පසුකර ගම්පහට යන විට එම දුම්රිය ස්ථානයේ වේදිකාවේ විශාල සංවර්ධනයක් සිදුව තිබීම අගය කළ යුතුය. දුම්රිය ස්ථාන අලංකාරය කිරීම ගැන හොඳම උදාහරණයක් ලෙස ගම්පහ දුම්රිය ස්ථානය ගත හැකි වුවද මෙම ප්‍රතිසංස්කරණ සමග එතෙක් පැවැති දුම්රිය වේදිකාවේ ආපන ශාලාව වසා දැමීම විශ්මය ජනකය. දිනකට දහස් සංඛ්‍යාත මගීන් පිරිසක් පරිහරණයට ගන්නා කොළඹ කොටුවට පමණක් දෙවන වන ගම්පහ දුම්රිය ස්ථානයේ ආපනශාලවක් නොමැති කම සැමට ගැටලුවකි. එසේම ගම්පහ දුම්රිය ස්ථානයේ දෙවන තුන්වන වේදිකාවේ වැසිකිළි කැසිකිළි පහසුකම් නැත. රාත්‍රී කාලයේ දී දුම්රිය වේදිකාවේ තානායම අන්තයේ මුත්‍රා කරන පිරිමින් සුලභ දසුනකි.කතකට ඒ පහසුකමවත් නැත නවීකරණයේදී වැසිකිළි අමතක විම පුදුමයකි.

වේයන්ගොඩ

ගම්පහින් වේයන්ගොඩ දුම්රිය ස්ථානය වෙත යන විට එහි යම් ප්‍රතිසංස්කරණ සිදුව තිබුණද එහි තිබූ සුපුරුදු අපිරිසුදුකමේ වෙනසක් නොතිබුණි එය ප්‍රතිසංස්කරණය කෙරෙමින් තිබීම කැපී පෙනුණි.

එහිදි අපට අපූරු පුද්ගලයකු මුණගැසුණි ඔහු ප්‍රංශයේ අවුරුදු හතළිහක සිට සිට වාසය කරන අශෝක ජයසිංහ මහතාය. ඔහු පාරම්පරිකව දුම්රිය දෙපාර්තමේන්තුව සමග බැඳුණු පුද්ගලයකි.

"මම අවුරුදු ගාණකින් ලංකාවට ආවේ දුම්රියට ආදරේ නිසා දුම්රියෙන් ආව. දැන් එදාට වඩා දුම්රිය ස්ථාන බිඳ වැටිලා. දුම්රිය තිබ්බට මගීන්ට පහසුව නැහැ. අපි ඉස්සර දුම්රියේ ගියේ ලොකු විනෝදයකින් ආසාවකින් ඒත් දැන් තත්ත්වය ගොඩක් පිරිහිලා. ඒක අපරාධයක් සුද්ද අපිට ලොකු තෑග්ගක් දීල ගියේ ඒ තෑග්ග අපි ආරක්ෂා කර ගන්න ඕනෑ. ඒක එක පැත්තකට විතරක් කරන්න පුළුවන් දෙයක් නොවෙයි මගීන් නිලධාරීන් දෙපැත්තම එකතු වෙලා කරන්න ඕනැ දෙයක්."

අඹේපුස්ස

මීරිගමට යාබද අඹේපුස්ස දුම්රිය ස්ථානය මුලින්ම දුම්රියක් පැමිණි ගමනාන්තයක් වුවද එම දුම්රිය ස්ථානයේ නිසි පහසුකම් නොලැබී යාම කනගාටුවට කරුණකි. අඹේපුස්ස දුම්රිය ස්ථානයේ අප නිරීක්ෂණය කරද්දි දුටු ප්‍රධාන අඩුපාඩුව වූයේ පානීය ජල ප්‍රශ්නයයි. අඹේපුස්ස හමුදා කඳවුරේ විසිර යාම තිබෙන දිනවල අධික ලෙස කාර්යබහුල වන මෙම දුම්රිය පොළේ ජල බිඳක් නොමැතිව අසල්වැසි නිවෙස් සහ කඩ වෙත යාමට මගීන්ට සිදුව තිබීම කනගාටුවට හේතුවකි.

කාන්තා පිරිමි ලෙස වෙන් නොකළ වැසිකිලියක් ඇති එකම දුම්රිය ස්ථානය වන්නේද දුම්රිය පොළයි. කාන්තාවනට ශරීර අවශ්‍යතා ඉටුකර ගැනීම මේ නිසා අතිශය අපහසු වී තිබේ. අනෙක් කරුණ බවට පත්ව වන්නේ ප්‍රධාන මාර්ගයේ උප දුම්රිය ස්ථානවල මගී වේදිකා පවා උස්සා සකස් කළද අඹේපුස්ස දුම්රිය ස්ථානයේ මෙතෙක් මෙහි එම මූලික සංවර්ධන කාර්ය හෝ ඉටු නොවීමය. ඒ නිසා දුම්රියේ පැමිණෙන කාන්තාවන් දරුවන් සහ වියපත් වූවන් දැඩි අපහසුතාවට පත්වෙති. අඹේපුස්සේ දුම්රිය පොළේ ඇති ආපනශාලවද විශ්මය උපදවන එකකි එනම් ලැලි මඩුවක ඇති එකම දුම්රිය ආපනශාලාව මෙයයි. අනෙක් කරුණ වන්නේ දුම්රිය ස්ථානයේ තෙවන මගී වේදිකාවක් ඉදිකළද එම මගි වේදිකාවට වහලක් නොමැති වීමය. එනිසා වැසි දිනවලදී මෙම වේදිකාවට දුම්රිය පැමිණෙද්දී මගීන්ට සිදුවන්නේ වැස්සට තෙමෙමින් සිටීමටය.

අලව්ව

අලව්ව දුම්රිය ස්ථානයේදි අප ඉහත සඳහන් කළ පොදු අඩුපාඩු සියල්ල ඉහළින්ම තිබෙන අතර වැසිකිළියේ තත්ත්වය දුක්බරය. කැසිකිළි අවශ්‍යතා ඉටුකර ගැනීමට ස්ථාන ඇතත් ඒවායේ සිට එම අවශ්‍යතා නිසි ලෙස සිදුකිරීමට හැකියාවක් නැත්තේ මුත්‍රාකරන පොච්ච් කැඩී බිඳී ඇති බැවිනි.

පොල්ගහවෙල

ප්‍රධාන මාර්ගයේ ඇති ප්‍රධානම මංසංධියක් වන්නේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයි.එහෙත් මෙහිද අඩුපාඩු එමටය දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු විශාල මගී ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගන්නා පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ජලය සපයන ළිඳ සහ ජල ටැංකි පිරිසුදු නොකිරීම නිසා පානීය ජලය අපිරිසුදු තත්ත්වයක පවතින බව මගීහු කියති. එහෙත් මෙයට විසඳුමක් දීමට වගකිවයුත්තන් කටයුතු කර නැත. කසළ රඳවනයන් තිබුණද කසළ රඳවනයන් මුණින් අතට නවා තිබෙන්නේ ඇයිද යන්න ගැටලුවකි. ඒ ගැන විමසු වීට මගීන් කියන්නේ දුම්රිය සේවකයන් කම්මැළිකමට මෙසේ වැඩකරන අතර මගින්ට තැන තැන කසළ දමන්නට සිදුව වී ඇති බවය. පොල්ගහවෙල යනුවෙන් හැඳින්වෙන මහා දුම්රිය පොළට ඇත්තේ වැසිකිළි දෙකකි. ඒවායේහිද මුත්‍ර කිරීමට කැසිකිළි පහසුකම් නැත.යමකු වැසිකිළියේ සිටින අතර කැසිකිළියාමට තව මගියකුට සිදු වුවහොත් දෙවන මගියාට සිදුවනු ඇත්තේ ඇඳුමේ මුත්‍රා පහකර ගැනීමටය. මගී සංඛ්‍යාවට ගැලපෙන පරිදි වැසිකිළි තැනීමට උනන්දුවක් අවබෝධයක් දුම්රිය ඉංජිනේරුවන්ට සහ සැලසුම් ශිල්පීන්ට නැති වීම පුදුමයකි. ගුවන්පාලම තැනීමේදී හතරවන වේදිකාවේ වැසිකිළි කැඩී ගියද නැවත එම කැඩී ගිය වැසිකිළි ඉදිකර නැත.

මේ අතර දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයද කඩතොළු තාර ඇතිරූ මාර්ගයකි වැසි දිනවල මෙම මාර්ගයද මගීන්ට පාවිච්චි කිරීම දුෂ්කරය. එහි ආරක්ෂාවද ඇත්තේ පහළ තැනකය. කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා අප කළ නිරීක්ෂණයේදී අපට ප්‍රත්‍යක්ෂ වූයේ අඩුපාඩු වැඩිම දුම්රිය ස්ථානය පොල්ගහවෙල දුම්රිය ස්ථානය බවය.

පොදුවේ ගත කළ දුම්රිය ස්ථාන නඩත්තුවෙදී විශේෂ අවශ්‍යතා ඇති පිරිස් සම්පූර්ණයෙන්ම අමතක කර තිබේ. එවැන්නෙකුට ශරීර අවශ්‍යතාවයක් ඉටුකර ගත හැකි වැසිකිළි හෝ කැසිකිළි නොමැත. රාගම දුම්රිය ස්ථානයේ පමණක් සංකේතාත්මකව මෙම අවශ්‍යතාවය සපුරා ඇතත් එය ප්‍රමාණවත්ද යන්න ගැටලු සහගතය.

ටිකට්පතක් හෝ මාසික ප්‍රවේශපත්‍රයක් රැගෙන දුම්රියේ ගමන් බිමන් යන මගියාට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සපිරිය යුතු මූලික අවශ්‍යතා කිහිපයක් තිබේ. එම මූලික අවශ්‍යතාවය හෝ සපිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම මගීනට කරන බලවත් අසාධාරණයකි.

ඡායාරූප - සිරිපාල හල්වල

නව අදහස දක්වන්න