උතුරට යන නායකයෝ...! | දිනමිණ

උතුරට යන නායකයෝ...!

උතුරේ දේශපාලකයන් දකුණට ප්‍රවේශ වීම අරුමයට කාරණයක් නොවේ. ඔවුන්ගේ බොහෝ කටයුතු සිදුවන්නේ කොළඹ කේන්ද්‍රීය කරගෙන බැවින් ඔව්හු කොළඹ ආසන්නයෙහි නවාතැන් ගෙන සිය කටයුතුවල නිරත වෙති. එහෙත් දකුණේ දේශපාලකයන් උතුරට යෑම තුළ විශේෂයක් තිබේ. එය කලාතුරෙකින් දැකගත හැකි විශේෂ සිද්ධියකි. දකුණේ නායකයන් උතුරට සම්ප්‍රාප්ත වීම තුළ ඇත්තේ ඊටත් වඩා සුවිශේෂ තත්ත්වයකි. උතුරේ ජනතාව දකුණේ දේශපාලකයන් උණුසුම් ලෙස පිළිගැනීමට කැමැත්තක් දක්වන අතර ම ස්වකීය සමාජ - ආර්ථික ගැටලු ගැන ඔවුන් හා සාකච්ඡා කිරීමට වඩාත් උනන්දු වෙති.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උතුරේ සංචාරය මේ අතින් බලන විට සුවිශේෂී දේශපාලන සංසිද්ධියකි. අගමැතිවරයා ඇතුළු නියෝජිත පිරිස විවෘත කිරීම් ගණනාවකට ද සාකච්ඡා සභා ගණනාවකට ද සහභාගි වෙති. මෙය දේශපාලනික වශයෙන් ගත් කල වැදගත් සංවාදයකි. දකුණෙන් - උතුරට හා උතුරෙන් - දකුණට සාමය හා සංහිඳියාව තේමා කරගත් සංචාර වරින්වර සිදුවෙයි. දුම්රියෙන්, බස්රථවලින් පමණක් නොව, පාපැදියෙන් හා පා ගමනින් ද මේ සංචාර සිදු වී ඇත. අගමැතිවරයකු උතුරට ගොස් සාමාන්‍ය ජනතාව මුණගැසීම ඒ සියල්ලට ම වඩා වැදගත් ය.

Òඅගමැතිවරයා මෙන් ම ජනාධිපතිවරයා ද වරින්-වර උතුරට යති. ඒ සෑම සංචාරයකදීම උතුරේ සංවර්ධනයට අදාළ වැදගත් කටයුත්තක් සිදුවන අතර සාමය හා සංහිඳියාව පිළිබඳ සංවාදය ද අලුත් වෙයි. මෙය අලුත් දේශපාලන ප්‍රවණතාවක් ලෙස හඳුන්වා දීම වඩා නිවැරැදි ය. නායකයන්ට රටේ සංවර්ධනය ගැන පමණක් නො ව; සාමය හා සංහිඳියාව ගැන ද නිවැරැදි දෘෂ්ටියක් හා වැඩපිළිවෙළක් ද තිබිය යුතුය. ජනාධිපතිවරයා හා අගමැතිවරයා චරිත දෙකක් ලෙස ගත් කල; ඉහත සඳහන් දෘෂ්ටියෙන් සමන්විත ය. ඔව්හු එක අතෙකින් උතුරේ සංවර්ධනයට ජවයක් ලබා දෙන අතර සාමය හා සංහිඳියාව වෙත ජනතාව රැගෙන යති.

උතුර යනු බොහෝ සාධකවලින් පසුබෑමට ලක් වූ කලාපයකි. තිස් අවුරුදු සිවිල් යුද්ධය නිසා ද, තරුණයන්ගේ කැරැල්ල නිසා ද එම පළාත සෙසු පළාත්වලින් වෙන් ව පැවැතියේ ය. දීර්ඝ කාලයක් තිස්සේ මධ්‍යම රජයේ අවධානයෙන් ගිලිහී ගිය කලාපයක් ලෙස ද එය හැඳින්විය හැකි ය. තව අතෙකින් මෙහි සාමාන්‍ය ජනතාවට ර‍ටේ අගනුවර සමඟ සබඳතා නො තිබිණි. මේ අනුව රටේ යථාව හෝ ඉදිරි ගමන්මඟ පිළිබඳ හෝ අවබෝධයක් එහි ජනතාව සතු නො වී ය. මෙය බලවත් ඛේදවාචකයකි. යුද්ධය නිමා වී සැලැකිය යුතු කාලයක් ගත වුව; උතුර - දකුණ සැබෑ ලෙසින් යා වුණේ නැත. දැන් එය ටිකෙන් - ටික ඇතිවෙමින් තිබීම යහපත් ප්‍රවණතාවකි.

උතුරට ගිය අගමැතිවරයා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය දැන් ඇති බව ය. නිදහස දැන් පවතින බව ය. තමන්ගේ හා රජයේ ඉලක්කය සාමය හා සංහිඳියාව සැබෑ ලෙසින් ම උදාකිරීම බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේ ය. උතුරේ ජනතාවගේ විශ්වාසය දිනාගත් කතාවක් ලෙස එය හැඳින්විය හැකි ය. සාමය ගොඩනැඟීමේ දී මෙන් ම සංහිඳියාව තහවුරු කිරීමේදී ද වඩාත් වැදගත් වන්නේ එකිනෙක පාර්ශ්ව අතර විශ්වාසයක් පැවැතීම ය. පසුගිය කාලය පුරාවට විවිධ හේතු නිසා එම විශ්වාසය බිඳ වැටිණි. සාමයේ සංකේතයක් ලෙස සලකනු ලබන දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා සුදු ජාතිකයන් හා කළු ජාතිකයන් අතර විශ්වාසය තහවුරු කිරීමට අප්‍රමාණ කැපවීමක් කළේ ය.

මේ සංචාරයේ දී සිදු වු වැදගත් හා කැපී පෙනෙන කටයුතු ගණනාවක් තිබේ. ඒ අතරින් අපගේ අවධානය දිනාගත් ප්‍රධාන කටයුත්තක් ගැන සටහනක් තැබිය යුතුය. එනම්; උතුරේ කාන්තාවන් ලබාගත් ක්ෂූද්‍ර ණය කපාහැරීම සඳහා රජය මැදිහත් වීම ය. කපාහැරීමක් කියූව ද රජය එම ණය ‍හා පොලී ගෙවීමට මැදිහත් වීම සිදු කරයි. කාන්තාවන් මෙලෙස විවිධ වූ මූල්‍යා’යතන වෙතින් ණය ලබාගෙන ඇත්තේ වගා කටයුතු ස්වයං රැකියා හා තවත් අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා ය. එහෙත් පසුගිය කාලය තුළ පැවැති නියඟය, ගංවතුර හා වගා පාළුවීම් ආදිය නිසා ණය ගෙවාගත නො හැකි ව විශාල පිරිසක් අමාරුවේ වැටී සිටියහ. කෙනකු ණය ගෙවාගත නො හැකිව දිවි නසාගෙන ඇති බව ද හෙළිදරව් වී ඇත. මේ ණය නිකුත් කර ඇත්තේ අධික පොලියක් ද සමඟ ය.

කුඩා මූල්‍යා’යතන රට පුරා ව්‍යාප්ත ව පවතී. මේවායෙහි ඉලක්කය අධික ලාභයක් උපයා ගැනීම ය. අනෙක් අතින් ණය හිමියාගෙන් කෙසේ හෝ පොලිය උදුරා ගැනීමට සෑම මූල්‍යා’යතනයක් ම උනන්දු වෙයි. ඒ සඳහා පාතාලයේ හෝ මැරයන්ගේ හෝ සේවය ලබාගැනීම ද එම ආයතනවල ක්‍රමය වී ඇත. අසරණ කාන්තාවන් බියගන්වා මුදල් පැහැරගෙන ගිය අවස්ථා ද වාර්තා වී ඇත. මේ තත්ත්වය උතුරේ ජනතාවට හිසරදයක් බව වරින්-වර ප්‍රකාශයට පත් වී තිබිණි. මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන අන්දමට රජයේ මුදලින් ණය ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන අතර ම අවිධිමත් මූල්‍යා’යතන සඳහා නීතිමය පියවර ගැනීමට ද ඉදිරියේ දී ක්‍රියා කරනු ලැබේ. ගැමි ජනතාව ණය උගුලෙන් බේරාගැනීම රටේ සංවර්ධනයට ලබා දෙන විශාල තල්ලුවකි.

අප දන්නා පරිදි උතුර යනු අගනා කෘෂිකාර්මික කලාපයකි. එහෙත් එහි කෘෂිකර්මය සිදුවන්නේ බලවත් දුෂ්කරතා මධ්‍යයේ ය. ජල හිඟය, පසෙහි තත්ත්වය, කාලගුණය හා තවත් දේවල් වගාවට එරෙහි බාධා ලෙස පවතී. ආඬි ළි‍ඳෙන් වතුර ඇද ස්වකීය වගා කටයුතු කරගෙන යන ගොවියෝ අදත් එහි සිටිති. උතුරේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන හුණුගල් මිශ්‍රිත පස වගාවට යෝග්‍ය ලෙස සකස් කිරීමට ගොවියෝ සැලැකිය යුතු පරිශ්‍රමයක් දරති. මේ කලාපයේ වගාව සඳහා ගොවියා මහත් කැපවීමක් කළ යුතුය. මෙලෙස ලබාගන්නා අස්වැන්නට පවා නියම මිලක් ලැබෙන්නේ නැත. වෙළෙඳපොළ ගැටලු එහි ද පවතී. රජය මැදිහත් වී ඊට විසැඳුම් ලබාදිය යුතුය.

රටේ නායකයන් දෙපළ උතුර ගැන අවධානය යොමු කිරීමත්, එහි සංචාරවල නිරතවීමත් සාධනීය දේශපාලන සංසිද්ධියක් සේ සලකන්නට පුළුවන. නිදහස ලබා ගැනීමෙන් පසු ගෙවී ගිය වසර හැත්තෑ එක තුළදී උතුර හා දකුණ සැබෑ ලෙසින් යා- කරන්නට අපට බැරි විය. දැන්වත් එය කළ හැකි නම්; රටේ සංවර්ධනයේ ප්‍රධාන අඩිතාලම එය වනු ඇත.

 


නව අදහස දක්වන්න