ශ්‍රී ලංකා පිලට ලකුණු 304ක ඉලක්කයක් | දිනමිණ

ශ්‍රී ලංකා පිලට ලකුණු 304ක ඉලක්කයක්

ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට් තරගය

කඩුලු 5ක් ලකුණු 8ක් තුළ දවා ගනිමින් ලසිත් ඇඹුල්දෙණිය සහ විශ්ව ප්‍රනාන්දු පන්දුවෙන් දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් කිංස්මීඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී සත්කාරක දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 259කට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ සමත් වූහ. සිය මංගල ටෙස්ට් තරගයට එක්වූ ඇඹුල්දෙණිය ලකුණු 66කට කඩුලු 5ක් දවාගත් අතර අනගි සහයක් ලබාදුන් විශ්ව ප්‍රනාන්දු ලකුණු 71කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

දකුණු අප්‍රිකාවට පළමු ඉනිමට ලකුණු 235ක් රැස්කළ අතර ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස්කළේ ලකුණු 191ක් පමණි. මේ හේතුවෙන් තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලකුණු 304ක ඉලක්කයක් හිමිවිය.

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිමේ නැංගුරම බවට පත්වූ නායක ෆෆ් ඩු ප්ලෙසි මුළු ලකුණු 255දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට සමත්වූ විශ්ව ප්‍රනාන්දු, ඇඹුල්දෙණිය සමග එක්ව තවත් ලකුණු 4ක් තුළ ඉතිරි පිතිකරුවන් තිදෙනා දවා ගනිමින් දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම ලකණු 259කට සීමා කළේය.

ඩු ප්ලෙසි දැවී යනවිට පන්දු 182කදී හතරේ පහර 11ක් සමගින් ලකුණු 90ක් රැස්කර තිබුණේ සිය 18 වැනි අර්ධ ශතකය රැස් කරමිනි.

ඊයේ උදෑසන සිට දිවා විවේකය අතර කාලය තුළ දකුණු අප්‍රිකාව ලකුණු 51ක් එක්කර ගනිද්දි ශ්‍රී ලංකා පන්දු යවන්නට බිඳ ගත හැකිවූයේ කඩුල්ලක් පමණි.

ඊයේ දිනය ආරම්භ වනවිට ලකුණු 31ක නොබිඳුණු සබඳතාවක් ගොඩනගා සිටි ඩු ප්ලෙසි සහ කුවින්ටන් ඩි කොක් එම ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 65ක් එක්කර ගනිමින් සිටියදී ඩි කොක්, කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට නවක ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සමත් විය. පිටියේ විනිසුරු අලීම් ඩාර් එය දැවී යෑමක් ලෙස සංඥා කළ අතර ඩි කොක් එම තීරණයට අභියෝග කරමින් තෙවැනි විනිසුරුගේ සහය පැතුවද ඔහුගේ තීරණයත් එයම විය. ඩු ප්ලෙසි-ඩි කොක් අතර 5 වැනි කඩුල්ලට ගොඩනැගුණු සබඳතාව ලකුණු 96ක සබඳතාව බිඳ වැටෙන විට මුළු ලකුණු සංඛ්‍යාව 191ක් විය. මෙය ඇඹුල්දෙණියගේ තෙවැනි කඩුල්ල වූ අතර ඔහු පෙරේදා දිනයේ ආරම්භක පිතිකරු ඩීන් එල්ගාර් සහ ටෙම්බා බවුමා දවාගෙන තිබිණි.

දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ සාර්ථකම පිතිකරු වෙමින් ලකුණු 80ක් රැස්කළ ඩි කොක් ඊයේ ලකුණු 55ක් රැස් කළේ පන්දු 62කට පමණක් මුහුණ දෙමිනි. ඊට හතරේ පහර 6ක් ඇතුළත් විය. ඔහු ඊයේ රැස්කළේ 16 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි. අනතුරුව 6 වැනි කඩුල්ලට නායකයා සමග එක්වූ වර්නන් ෆිලෙන්ඩර් ලකුණු 60ක සබඳතාවක් ගොඩනගමින් සිටියදී ඇඹුල්දෙණියගේ සිවුවැනි කඩුල්ල ලෙස පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. ඔහු, මුළු ලකුණු 251දී දැවී ගිය අතර තවත් ලකුණු 4ක් එක්වෙද්දී විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ ඩු ප්ලෙසි (90) දැවී ගියේය. තම පස්වැනි කඩුල්ල ලෙස කගීසෝ රබඩා ලකුණු ලබාගැනීමට පෙර දවාගැනීමට ඇඹුල්දෙණිය සමත් වෙද්දී පිට පිට ඕවර 2කදී අවසන් පිතිකරු යුගලය පිටියෙන් ඉවත් කිරීමට විශ්ව ප්‍රනාන්දුට හැකිවිය.

අද තරගයේ සිවුවැනි දිනයයි.

 

නව අදහස දක්වන්න