අපනයනය-ඇඟලුම්-මත්ස්‍ය අංශවලින් ආර්ථිකය ශක්තිමත් වී තිබෙනවා | දිනමිණ

අපනයනය-ඇඟලුම්-මත්ස්‍ය අංශවලින් ආර්ථිකය ශක්තිමත් වී තිබෙනවා

2015 දී රජය භාර ගත්තේ රටේ ආර්ථිකය ඇඳ වැටෙමින් තිබෙන අවස්ථාවක බවත්, මේ වන විට අපනයනය-ඇඟලුම් කර්මාන්තය-මත්ස්‍ය කර්මාන්තය ආදී අංශවලින් ආර්ථිකය ශක්තිමත් කරගැනීමට හැකි වී තිබෙන බවත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ (කැබිනට් නොවන) ඇමැති සුජීව සේනසිංහ මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ බත්තරමුල්ල, සෙත්සිරිපාය විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ දී පෙරේදා (14) පැවති ආයතන කිහිපයක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් චින්තක ලොකුහෙට්ටි මහතා ද සහභාගී විය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේ ද කීවේය.

විද්‍යාව සහ තාක්ෂණයට රටේ සියලු දේවල් ඇතුළත් වෙනවා. සියලු අමාත්‍යාංශවල සිදු කරන කාර්යයන් ගැන අපට වගකීමක් තිබෙනවා. ෙම් අමාත්‍යාංශය රටේ ප්‍රධාන අමාත්‍යාංශය බවට පත් වුණොත් තමයි රට දියුණු කරන්න පුළුවන් කියලා අගමැතිවරයාත් කිව්වා. නමුත් තවම මේ අමාත්‍යාංශය රටේ ප්‍රධාන අමාත්‍යාංශයක් බවට පත් වී නෑ. ඒ වෙනුවෙන් අපි මහන්සි වී කටයුතු කරන්න අවශ්‍යයි.

2015 දී රජය භාර ගත්තේ රටේ ආර්ථිකය ඇඳ වැටෙමින් තිබෙන අවස්ථාවක. අපේ ජනාධිපතිවරයා G7 ලෝක බලවතුන්ගේ කමිටුවේ ආරාධිතයා ලෙස සහභාගී වූ අවස්ථාවේ දී එම රටවල්වලින් ශ්‍රී ලංකාව champions of democracy කියා හැඳින්වූවා. එය අපේ රට ඉදිරියට යෑමට වැදගත් වුණා. සංචාරකයන්ට හොඳම රට බවට ශ්‍රී ලංකාව නම් වීමටත් මේ කරුණු වැදගත් වුණා.

අපනයනය, ඇඟලුම් කර්මාන්තය, මත්ස්‍ය කර්මාන්තය ඉහළ ගොස් තිබෙනවා. රාජ්‍ය ආයතන පරිගණකගත කිරීමේ කටයුතු ඉදිරියේ දී අවසන් වෙනවා. මේ වන විට 80%ක් පමණ සිදු කර අවසන්. ඒ හරහා දූෂණය වළක්වාගැනීමට හැකි වෙනවා. එමඟින් සියලු දේම ඔන්ලයින් පරිගණකය හරහා සිදු කරගැනීමට හැකි වෙනවා.

රටේ ආර්ථිකයට උදව් කිරීමට විද්‍යා හා තාක්ෂණය සම්බන්ධ නව නිපැයුම් හා පර්යේෂණ සිදු කිරීමට අවශ්‍යයි. මේවා මූල්‍යමය බවට පත් කිරීමට අවශ්‍යයි. දියුණු වූ රටවල යහපත් පැත්ත ලබාගෙන අපේ රටේ සංවර්ධන ක්‍රියාදාමය කරන්න පුළුවන්. ලංකාව හොඳ තැනක ඉන්නවා. නව නිර්මාණකරුවන්ට ඔවුන්ගේ හැකියාවන් දියුණු කිරිමට උදව් ලබා දිය යුතුයි. එමඟින් ලෝකයේ ඉල්ලුම සහ සැපයුමට අනුව නව නිපැයුම් නිර්මාණය වන්න අවශ්‍යයි. ලෝකයේ තාක්ෂණය සමඟ කටයුතු කළහොත් අපට සාර්ථකත්වය ලබා ගැනීමට පුළුවන්.

චන්දිමා කරුණාරත්න


නව අදහස දක්වන්න