10-11 ශ්‍රේණිවල වෙබ් ලිපින නාමාවලියක් සහිත ග්‍රන්ථයක් | දිනමිණ

10-11 ශ්‍රේණිවල වෙබ් ලිපින නාමාවලියක් සහිත ග්‍රන්ථයක්

ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය ජාතික අධ්‍යාපන ආයතනයේ ගණිත දෙපාර්තමේන්තුව 10 සහ 11 ශ්‍රේණි සඳහා සම්පාදනය කර ඇති වෙබ් ලිපින නාමාවලිය සහිත ග්‍රන්ථය සහ සංයුක්ත තැටිය පළාත් නවයට ලබා දුන් අයුරු.

ගණිතය විෂය හදාරන සිසුන්ට මෙන් ම ගණිතය උගන්වන ගුරුවරුන්ට සිය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් අර්ථවත් කිරීම සහ පහසු කිරීමේ අරමුණින් යුතු ව ජාතික අධ්‍යාපන ආයතනයේ ගණිත දෙපාර්තමේන්තුවෙන් 10 සහ 11 ශ්‍රේණි සඳහා වෙබ් ලිපින නාමාවලියක් සහිත ග්‍රන්ථයක් පසුගිය දා (6) එළිදක්වනු ලැබිණි.

10 සහ 11 ශ්‍රේණිවල ගණිතයේ එක් එක් තේමාවලට, විෂය අරමුණුවලට සහ ඉගෙනුම් ඵලවලට ප්‍රයෝජනවත් වන වෙබ් ලිපින අන්තර්ජාලය ඔස්සේ හඳුනාගෙන, ඒවා ඒකරාශී කොට මේ ග්‍රන්ථය සම්පාදනය කර තිබේ. මේ ග්‍රන්ථයේ තිබෙන තේමා වෙබ් අඩවිවල විෂය අන්තර්ගත ද එක් කොට ගණිත දෙපාර්තමේන්තුවෙන් සංයුක්ත තැටියක් ද නිෂ්පාදනය කර, සිංහල හා දෙමළ මාධ්‍යයෙන් මේ ග්‍රන්ථය පළාත් නවයට බෙදාදීම ද ජාතික අධ්‍යාපන පරිශ්‍රයේ දී සිදු විය.

පන්ති කාමර ඉගෙනුම් සඳහා ඍජුව භාවිත කළ හැකි මෙන් ම, ශිෂ්‍ය ස්වයං ඉගෙනුම් සඳහා ද භාවිත කළ හැකි මේ ඉගෙනුම් සම්පත් ද්‍රව්‍යවලින් ගණිතය ඉගැන්වීම සහ ඉගෙනුම් තවත් දිරිගන්වනු ඇත.

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය පැවැසුවේ ගණිතය සංකල්ප සිසුන්ට පහසුවෙන් නිසි ලෙස අවබෝධ කරගැනීම දුෂ්කර වන්නේ නම් එය මඟහැරවීමට, ගණිත සංකල්ප ඉතා පහසුවෙන් සිසුන් තුළ වර්ධනය කිරීමට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය භාවිත කළ හැකි ආකාරයට මේ වෙබ් ලිපින නාමාවලිය 10 සහ 11 ශ්‍රේණි විෂය නිර්දේශවලට අනුකූලව සම්පාදනය කර ඇති බවයි.

ජාතික අධ්‍යාපන ආයතනයේ ගණිත දෙපාර්තමේන්තුව පසුගිය වසර කිහිපයේ ගණිත විෂය මැනවින් ඉගැන්වීමට විෂයමාලා සංවර්ධන කටයුතුවල යෙදුණු අතර ම 'අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප හඳුන්වා දීම', 'ගණිතය පහසුවෙන්' පොත් කට්ටලය හඳුන්වා දීම සහ ගණිතය ඉගැන්වීම පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාවක් ද ක්‍රියාත්මක කර තිබේ.

මෙ වෙබ් ලිපින නාමාවලි ග්‍රන්ථය සහ සංයුක්ත තැටිය ජාතික අධ්‍යාපන ආයතනයේ ගණිත දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ බාහිර සම්පත් දායකයන්ගේ සහභාගිත්වයෙන් සම්පාදනය කර එළිදක්වා තිබේ.

නව අදහස දක්වන්න