අම්පාරේ උක් වගාකරුවන්ගේ ගැටලු විසඳීමට විශේෂ කමිටුවක් | දිනමිණ

අම්පාරේ උක් වගාකරුවන්ගේ ගැටලු විසඳීමට විශේෂ කමිටුවක්

අම්පාර දිස්ත්‍රික්කයේ උක් වගාකරුවන් මුහුණ දී තිබෙන ගැටලු සම්බන්ධව පූර්ණ අධීක්ෂණයක් සිදු කර ඊට නිසි විසඳුම් ලබාදීමට විශේෂ කමිටුවක් පත් කිරීමට එකඟතාව පළ කෙරේ.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මේ විශේෂ කමිටුව පත් කිරීමට යෝජනා වී ඇති අතර උක් වගාකරුවන්ගේ නියෝජිතයන් ද එම කමිටුවට ඇතුළත් කර ගැනීමට නියමිතය. එම කමිටුව මාස එකහමාරක දී අදාළ ගැටලුවලට ස්ථිරසාර විසඳුම් ලබා දිය යුතු බවට ඇමැතිවරුන් වන රවුෆ් හකීම් සහ නවීන් දිසානායක මහත්වරුන් අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එමෙන්ම ගොවීන්ට සිදු ව ඇති අලාභ ගැන ගණන් බලා ඊට වන්දි ගෙවීමට සලකා බලන ලෙස ද උපදෙස් දී තිබේ.

නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන ඇමැති රවුෆ් හකීම් මහතා සහ අම්පාර දිස්ත්‍රික්කයේ උක් වගාකරුවන්ගේ නියෝජිතයන් පිරිසක් මෙන්ම ගල්ඹය වැවිලි (පුද්ගලික) සමාගමේ නියෝජිතයන් පිරිසක් වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා හමුවීමෙන් අනතුරුව මේ තීරණවලට එළැඹ තිබේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ දී පැවති අතර උක් වගාකරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

උක් වගාවෙන් ආර්ථික වශයෙන් පාඩු ලබන්නට සිදු වීමත්, එම ඉඩම්වල වී වගාවට අවසර ලැබෙන්නේ නම් ඔවුන්ගේ ආදායම් තත්ත්වය ඉහළ දමා ගත හැකි බවත්, ඊට අවශ්‍ය අවසරය ලබාගැනීමත් සම්බන්ධයෙන් මෙහි දී දෙපාර්ශ්වයන් අතර අදහස් හුවමාරු කෙරිණි. ඊට අමතරව දිගින් දිගට ම ගල්ඔය වැවිලි (පුද්ගලික) සමාගම විසින් උක් වගාව සිදු කිරීමට පමණක් එම ගොවීන්ට බලපෑම් සිදු කිරීම පිළිබඳ ව ද සාකච්ඡා විය.

1965 වර්ෂයේ එම උක් වගාකරුවන්ට රජයෙන් අක්කර 06ක් ලබා දී ඇත. 1968 වර්ෂයේ එම අක්කර සංඛ්‍යාව අක්කර 04 දක්වා අඩු කිරීමෙන් පසුව එම ඉඩම්වල ඔවුහු උක් වගා කළහ. නමුත් 1990 සිට 2012 වර්ෂය වන තෙක් යුද සමයේ වී වගාව සඳහා ඔවුන්ට අවසර ලැබී තිබිණි. එයින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දමා ගැනීමට ඔවුන්ට අවස්ථාව උදා විය. නමුත් මේ ඉඩම් වෙන් කොට දී තිබෙන්නේ ම උක් වගාවට බැවින් වී වගාව සඳහා අවසර ලබාගැනීම ඔවුන්ගේ ඉල්ලීම විය. එසේ නොමැතිවීමෙන් ගල්ඔය වැවිලි (පුද්ගලික) සමාගම විසින් සිදු කරන බලපෑම්වලට අනුව කටයුතු කළහොත් තමන් ආර්ථික වශයෙන් අන්ත දිළිඳු බවට පත්වන බව ද ඔවුන් විසින් මතු කරන ලද ගැටලුවකි.

එමෙන්ම ගල් ඔය වැවිලි සමාගම විසින් මේ ගොවීන්ගේ ඉඩම්වල උක් වගා කිරීම් කටයුතු දිගින් දිගට ම සිදු කිරීම නිසා වී වගාවට ඔවුන්ට අවස්ථාවක් නොලැබීම ගොවීන්ගේ කණස්සල්ලට හේතුවක් බව ද මෙහි දී අවධාරණය කෙරිණි.

මේ අවස්ථාවට රාජ්‍ය ඇමැති ෆයිසල් කාසිම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. නසීම් මහත්වරු ද එක් වූහ.

 


නව අදහස දක්වන්න