හෙල්මට් එකෙන් ගසා බිරිය මැරූ සැමියා දැලේ | දිනමිණ

හෙල්මට් එකෙන් ගසා බිරිය මැරූ සැමියා දැලේ

යතුරුපැදි හිස් වැසුමකින් පහරදී සිය බිරිය ඝාතනය කළ බවට සැකපිට සැමියෙක් මාතලේ යටවත්ත පොලිසියෙන් ඊයේ (15) අලුයම අත්අඩංගුවට ගත් බව යටවත්ත පොලිසිය කියයි.

ඇදවැටීමකින් තුවාල වූ බව පවසා කාන්තාවක මාතලේ යටවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයේ පසුවීමත් සමඟ ඇය මාතලේ රෝහලටත් ඉන් පසුව මහනුවර මහ රෝහලටත් මාරු කර යවා තිබුණු බවත් පසුව 13 වැනි දින රාත්‍රී මේ කාන්තාව මහනුවර රෝහලේ දී සැත්කමකට ද භාජනය කොට සිටියදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

අසාධ්‍ය තත්ත්වයේ සිටි මේ කාන්තාවගේ සැත්කම කළ වෛද්‍යවරුන් ‍ප්‍රකාශ කොට ඇත්තේ ඇදවැටීම කින් නොව තදබල පහරදීමකින් ඇයගේ සුසුම්නාව ප්‍රදේශයේට බරපතළ හානි සිදුව තිබෙන බවයි.

පසුව මියගිය කාන්තාවගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තම බිරියට යතුරුපැදි හිස් වැසුමකින් පහරදුන් බව හෙළිවීයයි යටවත්ත පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. වල්පොල මහතා පැවසීය.

සැමියාගේ පහරදීමෙන් මෙසේ මියගොස් ඇත්තේ යටවත්ත ප්‍රදේශයේ පදිංචි කේ .ජී. ලාලනී සෙනෙවිරත්න (37) හැවිරිදි තිදරු මවකි. මියගිය කාන්තාව මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති කාර්යාලයේ සහකාර කළමනාකාරවරියක් ලෙස සේවය කළ බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් සැමියා ජල හා ජලාපවාහන මණ්ඩලයේ රියැදුරකු බව පොලිසිය කියයි.

මියගිය කාන්තාවට වයස අවුරුදු 12ක වයස අවුරුදු නමයක, සහ වයස අවුරුදු එකහමාරක් වූ දරුවන් තිදෙනකු සිටින බව පොලීසිය සඳහන් කළේය. මේ අඹුසැමි යුවළ අතර නිරන්තරයෙන්ම ගැටුම්කාරී තත්ත්වයන් සහ අඩදබර සිදු වූ බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

සිද්ධිය වූ දිනද දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් මියගිය කාන්තාව සිය මවගේ නිවසට ගොස් සිටියදී එම නිවසට පැමිණි සැමියා යතුරුපැදි හිස් වැසුමකින් පහරදී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි ස්ථානාධිපති ඩබ්ලිව්. එම්. වල්පොල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මියගිය කාන්තාවගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ(15) පෙරවරුවේ මහනුවර මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකාර සැමියා 15 දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මාතලේ සහකාර පොලිස් අධිකාරී අජිත් වංශනාත මහතාගේ උපදෙස් පරිදි යටවත්ත පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව් .එම් .වල්පොල මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි මෙන්ම උප පොලිස් පරීක්ෂක විජේරත්න බණ්ඩාර නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

සීගිරිය විශේෂ


නව අදහස දක්වන්න